මුඛ ආවරණ පැලඳීම අවශ්‍යද නැද්ද? | Page 5 | සිළුමිණ

මුඛ ආවරණ පැලඳීම අවශ්‍යද නැද්ද?

මුඛ ආවරණ පැලඳිය යුතුද නැද්ද යන්න ගැන විවිධ මතවාද සමාජයෙන් නැගෙනු පෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය එය අනිවාර්ය නොවන බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනු ලැබීය.

මෙය සමාජය පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. මේ මුඛ ආවරණ පැලඳිය  යුතුද නැද්ද යන්න පිළිබඳ කළ විමසුමකි.

හොඳ ගති සිරිත් පිළිපදිනවා නම්  රෝග වළකාගන්න පුළුවන්

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි  එක්සත් හෙද සංගමයේ සභාපති

මුඛ ආවරණයක් මේවගේ අවස්ථාවලදී ඉතාම අවශ්‍යයි. මේ වගේ වෙලාවක අපේ මුඛය ආවරණය කරගෙන ඉන්නවා නම් අපිට ලෙඩ වලින් වැළකී සිටින්න පුළුවන්. ආචාරධර්ම හොඳ ගති සිරිත් හරියට පිළිපදිනවා නම් මෙවැනි දරුණු රෝගයක් වළකා ගන්න පුළුවන්. අපි මාධ්‍යයෙන් දැක්කා ඉන්දියාව දඬුවම් දෙනවා ආරක්ෂිත පියවර අනුගමනය නොකරන අයට. අපේ ආරක්ෂාවටයි මේ සියල්ල කරන්නේ රජය දෙන සියලුම විධිවිධාන අනුගමනය කරමින් අපි මේ දේවල් හරියට කරනවා නම් කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ. අපිට මෙයින් බේරෙන්න පුළුවන් වගේම බාහිරින් අපට ආරක්ෂාව වෙන්න පුළුවන් මේ වගේ දේවල් පාවිච්චි කරනවා නම්. ආණ්ඩුවට, පොලිසියට, හමුදාවට සෞඛ්‍ය අංශ වලට අපි සහාය දිය යුතුයි. රජය පුළුවන් උපරිම මට්ටමින් තීරණ අරගෙන තියෙනවා. රජයට මීට වඩා ගන්න පියවරක් ඇත්තෙ නැහැ. ජනතාව රජයේ නීතිරීති උපදෙස් පිළිපැදිය යුතුයි.

 

 


මුඛ ආවරණ පැලඳීම කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතුයි

 

හරිත් අලුත්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්

ලෝක සෞඛ්‍ය සංවිධානය COVID 19 මේ මාරාන්තික කොරෝනා රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ දී ඉතා පැහැදිලිව මේ අයුරින් උපදෙස් දෙනු ලබනවා.

COVID 19 වෛරසය අදියර හතරකින් ක්‍රියාත්මක වෙන අතර අපේ රටේ එය මේ වන විට ක්‍රියාත්මකව ඇත්තේ 3 වැනි අදියරේ මුල් අවස්ථාවයි. 4 වැනි අදියරට යන එක වළක්වා ගන්න මෙහිදී ශ්‍රී ලාංකික අපි සියලු දෙනාගේම ඇප කැපවීම අත්‍යවශ්‍ය වෙනවා.

මෙහිදී පළමුවැනි අදියර කියන්නේ කුමක්ද යන්න අප සඳහන් කළ යුතුයි. ඒ කියන්නේ රෝගීන් වාර්තා නොවන අදියර පළමුවැනි අදියරයි. අපි පසු කරමින් ඉන්නා දෙවැනි අදියර කියන්නේ අහඹු ලෙස තැන් තැන්වලින් රෝගියෙක් වාර්තාවන අදියරයි.

තුන්වැනි අදියර මුල් අවස්ථාවේ තමයි රෝගීන් වාර්තා වෙන්න පටන් ගන්නෙ. නමුත් ඒ සමාජයක් ලෙස පොදුවේ නොවේ. ගමක, නගරයක, ගෙවල් කිහිපයක් ආශ්‍රිතව කෙනෙක් වාර්තාවී ඉන්පසුව ගම ඇතුළත රෝගීන් වාර්තා වන්නට පටන් ගන්නවා.

හතරවැනි අදියරේ සමාජය තුළින් රෝගීන් එන්න පටන් ගන්නවා. අපට සොයා ගන්න බෑ කොහෙන්ද මේ රෝගය බෝ වෙන්නේ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ මේ හතරනි අදියරේදී මුඛ ආවරණ පැළදීය යුතු බවයි. පොදුවේ මහජනතාව කිසිඳු ආවරණයක් නැතුව එළියට බහින්න එපා කියන අදියර ලෙස මේ හතරවැනි අදියර නිර්දේශ කර තියෙනවා. හතරවැනි අදියරෙහි දී බහුල ලෙස රෝගීන් වාර්තා වෙනවා.

මේ අවස්ථාවේ දී මුඛ ආවරණ පැළඳීම රෝග ලක්ෂණ තිබේ නම් පමණක් විය යුතු වුවත් සියලු දෙනාම මුඛ ආවරණ බැඳිය යුතු නම් වඩාත් ආරක්ෂිත වෙනවා. තාක්ෂණික මාර්ගෝපදේශකයන් කියන්නෙ අවදානම් කණ්ඩායම් විශේෂයෙන් සෞඛ්‍ය අංශයේ සියලු දෙනාම සහ මහජනතාව වැඩිය ගැවසෙන ස්ථාන කරා යන ආරක්ෂක අංශයේ අය මුඛ ආවරණ පැළඳීම කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම මුඛ ආවරණ පැළඳීම මඟින් මේ රෝගයේ මාරාන්තික බව බරපතළකම වැඩි වශයෙන් සැමටම දැනෙනු ඇති.


රජය ගන්නා පොදු තීන්දු තීරණවලට එකඟව අපි කටයුතු කළ යුතුයි

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා

මා හිතන්නේ රෝගය වැලඳිලා තිබුණත් නැතත් මුඛ ආවරණ පළඳින්න ඕන; එයයි තමයි හොදම පියවර ලෙස මා දකින්නේ. විශේෂඥ වෛද්‍යවරුන් සහ මේ සම්බන්ධව කටයුතු කරන සියලු දෙනා අනාවරණ කරන තොරතුරු අනුව, අදහස් අනුව මුඛ ආවරණයක් පැලඳීම වඩාත් හොදයි කියලා මා හිතන්නේ; මෙම රෝගය සම්බන්ධව රෝග ලක්ෂණ තිබුණත් නැතත් මුඛ ආවරණය පැලදීමෙන් වඩා ආරක්ෂිතයි කියලා. ඒ වගේම ශාරීරිකව එකිනෙකාගෙන් දුරස්ථ වී නිවෙස්වල රැඳී සිටීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර ඒ සහ ලබාදී ඇති නියෝග වලට යටත්ව අපි මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුතුයි. රජයක් ලෙස ගෙන ඇති මේ පියවර සහ දී ඇති නියෝගවලට, උපදෙස් වලට අනුව මේ අවස්ථාවේ දී සියයට සියයක් නිවැරදිව එම නියෝග අනුව ක්‍රියාත්මක විය යුතුයි. මේ අවස්ථාවේදී රජයක් ලෙස නිවැරදිව කටයුතු කළේ ද නැද්ද කියන කාරණාව පසුවට කතා කළ යුතු මාතෘකාවක්. මේ අවස්ථාවේදී රජය විසින් ගන්නා පොදු තීන්දු තීරණ වලට එකඟව අපි කටයුතු කළ යුතුයි කියලයි මගේ අදහස.

 


බාහිරින් එන අය සියලු දෙනාම මුඛ ආවරණයක් පලඳින්න

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න

යම් පුද්ගලයෙක් මුඛ ආවරණයක් පැළදගෙන ප්‍රසිද්ධ ස්ථානවල සිටිනවා නම් එයට බාධා කරන්න එපා කියලා අපි කියනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ විසින් විසින් යම් ස්ථානවල මුඛ ආවරණය පැලදීමෙන් වැළකි සිටින අවස්ථාවලදී මුඛ ආවරණ පලදින්නෙ නැතුව ඉන්නවා නම් අපි ඒ වගේ අයට අවවාද කරනවා මුඛ ආවරණ පළඳින්න කියලා. විශේෂයෙන් රෝහල් වැනි ස්ථානවලට සෞඛ්‍ය අංශවල මුඛ ආවරණ පැලදිමට විශේෂ හේතුව රෝහල්වල ඉන්නා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු නිසා. බාහිරින් එන අය සියලු දෙනාට මුඛ ආවරණයක් පලඳින්න කියලා අපි අවවාද කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකාය හා ඊට අදාළ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ කමිටු හරහා අපට ලැබෙන උපදෙස් අනුව අපි ක්‍රියා කරන්නේ ජනතා සුබසිද්ධිය උදෙසායි.

 


 

ලෝකෙ වයිරසයට සූදානම් වෙද්දි අපි මැතිවරණයට සූදානම් වුණා

ජ වි පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත

 

අපි මුඛ ආවරණ පැලඳීමේදී වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපි සමහර තැන්වල ජනතා අවශ්‍යතා සඳහා ජනතාවට මුඛ ආවරණ මහනවා. දැන් පවතින තත්ත්වෙත් එක්ක සෞඛ්‍යාරක්ෂාව එය ඉතා හොඳ පියවරක්. සෞඛ්‍ය ආරක්ෂක අංශ එකඟතාවකට ආවහම එක දෙයක් ජනතාවට කියන්න ඕන.මෙයින් අපි ආරක්ෂා විය යුතුයි. මේ පියවර මුල සිටම කළා නම් මෙවැනි තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ලෝකෙ වසංගතයට සූදානම් වන අවස්ථාවේ මේ රටේ ජනතාව සූදානම් කළේ මැතිවරණයකට; එතනයි වරද. සෞඛ්‍ය ඇමති, පම්පෝරි ගැහුවා ඡන්දය දිනනවා කියලා. ජනතාවට ඉස්සරහට ගිහින් කිව්වා අපි නම් මහ මැතිවරණයක් කරනවා කියලා; එහෙම පාලකයෝ ඉන්නේ මේ රටේ. ඔය දේවල් කතා කරන්න මේ වෙලාව නෙවෙයි.

 

 

  

Comments