කොරෝනා හඳුනාගත හැකි P.C.R. පරීක්ෂණය | Page 3 | සිළුමිණ

කොරෝනා හඳුනාගත හැකි P.C.R. පරීක්ෂණය

නි‍ෙවසේ නිරෝධායනය වනවා නම් වෙනම කාමරයක සිටිය යුතුයි. ජනෙල්වලින් හිරුඑළිය, වාතය ආවාට වරදක් නැහැ. මොකද කොරෝනා වයිරසය සුළඟින් බෝ නොවන නිසා. නිතරම නි‍ෙවසේ සිටින අය මීටරයකට වඩා දුරින් සිටිය යුතුයි.

කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ලෝක වසංගතයක් ලෙස ජගත් සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ. මේ වන විට කොරෝනා ආසාදිතයන් ලංක‍ාවෙන් ද හමු වී ඇත. ආසාදිත බවට සැක කෙරෙන අය ද නිරෝධායනයට ලක් කෙරේ. මේ අතරේ කො‍රෝනා වයිසය ශරීරගත වී ඇතිදැයි සැකයෙන් පසු වන අය ද සිටිති. විශේෂයෙන් ඉතාලිය, ප්‍රංශය වැනි යුරෝපීය රටවලින් පැමිණෙන අය සැකයෙන් පසුවන පිරිසට අයත් වේ. එබැවින් වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ කොරෝනා පිළිබඳ වැඩි විස්තර දැනගැනීමටයි.

 

 

 

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද?

පී.සී.ආර්. පරීක්ෂණය මඟින් කොරෝනා වයිරසය ආසාදිත වූ අය හඳුනාගත හැකියි. මෙම පරීක්ෂණය සිදු කළේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පමණයි. එහෙත් දැන් එය තවත් රෝහල් 3කටත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් කළ හැකියි. එම රෝහල් 3 හැටියට මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහල දක්වන්න පුළුවන්.

 

මේ වන විට කොරෝනා අවදානම ඇති අය රෝහල්ගත කර සිටිනවා. කොරෝනා අවදානමක් ඇතිදැයි කියා දැනගන්නේ මොන ආකාරයටද?

විදෙස් සංචාරයක යෙදී ඇති නම් හෝ කොරෝනා ආසාදිතයකු සමීපව ඇසුරු කර තිබේ නම් එවැනි අය කොරෝනා අවදානමක් ඇති පිරිස වශයෙන් හඳුනාගන්නවා. ඒ අය අද රජය විසින් නිරෝධායනයට ලක් කරනවා. ඒ අයට උණ සහ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මතු වනවා නම් ඔවුන් රෝහල්ගත කරනවා. ඔවුන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වුණාම ‍ගොතටුව ජාතික වසංගත රෝග විද්‍යායතනය වෙත යොමු කරනවා. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔබ ප්‍රතිකාර ගත යුත්තේ රජයේ රෝහලකින්ම බවත් අමතක කරන්න එපා.

 

අද කොරෝනා රෝග ලක්ෂණ පළ නොවන අය පවා සැකය නිසා රෝහල් කරා පැමිණෙන ආකාරය දක්නට ලැබෙනවා නේද?

ඇත්තටම රෝග ලක්ෂණ මතු නොවී සැකය මත පමණක් රෝගය ති‍ෙබ්දැයි පරීක්ෂා කර බලන්න බැහැ. එහෙම නම් හොඳම දේ ගෙදරින් එළියට නොබැස නි‍ෙවසටම වී සිටීමයි.

ඇත්තටම නි‍ෙවසේ සිට නිරෝධායනය විය හැකිද?

ඔව්. හැබැයි ඒ අය අවංකවම නිරෝධායනය වන අය පිළිපැදිය යුතු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනිවාර්යයෙන් පිළිපැදිය යුතුයි. නි‍ෙවසේ නිරෝධායනය වනවා නම් වෙනම කාමරයක සිටිය යුතුයි. ජනෙල්වලින් හිරුඑළිය, වාතය ආවාට වරදක් නැහැ. මොකද කොරෝනා වෛරසය සුළඟින් බෝ නොවන නිසා. නිතරම නිවසේ සිටින අයට මීටරයකට වඩා දුරින් සිටිය යුතුයි. පවුලේ සියලුදෙනාම පොදුවේ වැසිකිළි, නාන කාමර පාවිච්චි කරනවා නම් ඒවා එක් පුද්ගලයාගෙන් එක් පුද්ගලයාට පිරිසුදු කර පාවිච්චි කිරීමට වග බලා ගත යුතුයි. එය පිරිසුදු කළ යුත්තේ මුලින් පාවිච්චි කළ පුද්ගලයා විසින්මයි.

 

නිරෝධායනය කිරීම යන්න පැහැදිලි කරනවා නම්?

සමහරු හිතාගෙන ඉන්නේ නිරෝධායනය කරනවා කියන්නේ ශල්‍යකර්මයක් කරනවා වගේ දෙයක් කියලා. නිරෝධායනය යනු කොරෝනා වයිරසය සැදේවී යැයි සැක කරන පිරිස එක ස්ථානයකට යොමු කර ආරක්ෂිතව සිටින්නට සැලැස්වීමයි.

ඒ පිරිස ඒ කාලය තුළ නිවෙස්වලට නොගොස් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් තබා ගන්නේ රෝග ලක්ෂණ පහළ වුණොත් වහාම රෝහල්ගත කිරීමටයි. දින 14ක් තුළ රෝග ලක්ෂණ මතු නොවුණොත් ඒ අයව ආපසු නිවෙස් කරා යවනවා.

 

කොරෝනා වයිරසයෙන් වැඩිපුරම අවදානම් ඇති කාණ්ඩ වශයෙන් හඳුනා ගත් පිරිස කවුරුද?

කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන්, අවු, 60ට වැඩි වයස්ගත අය සහ හෘදය, දියවැඩියාව, පිළිකා, වකුගඩු වැනි රෝගවලින් පීඩා විඳින පිරිස. ඔවුන් කොරෝනා වයිරසයට ගොදුරු වුවහොත් මරණය කරා යන්න පුළුවන්. තරුණ පිරිසගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉතා ඉහළ නිසා ඔවුන් සුවපත් වීමේ ප්‍රවණතාව වැඩියි.

 

මෙම අවදානම් කාණ්ඩවලට වයිරසය ශරීරගත වුවහොත් විශේෂිත ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරනවාද?

ඊට දැන්ම පිළිතුරු දෙන්න කල් වැඩියි. තවමත් කොරෝනා ශරීරගත වූ ගර්භිණී කාන්තාවන් අපට හමු වී නැහැ. ඒ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය සුරකිමින් ප්‍රතිකාර කිරීමේ අත්දැකීම අපට නැහැ. කොහොම වුණත් මෙම අවදානම් කාණ්ඩවලට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් විශේෂ අවධානය යොමු කරන බව නම් සඳහන් කළ යුතුයි.

 

Comments