කෝවිඩ් -19 ලෝකය කලඹයි | Page 2 | සිළුමිණ

කෝවිඩ් -19 ලෝකය කලඹයි

මාර්තු 13 වන විට

ආසාදිතයන් 134,869යි.

මරණ 5,183යි. සුවපත් වූවන් 70,488යි.

ය පැමිණෙන්නේ වියළි කැස්සක් ලෙසිනි. දින තුනක් පමණ පවතින මේ කැස්ස සමග ශරීරයේ උෂ්ණත්වය ඉහළ යයි. ඒ සමග සිරුරේ අස්ථිවල වේදනා සමග හිසරදයද ඇති වේ. මේ වන විට දින හයක් පමණ ගතවිය හැකිය. මේ දක්නා නිසි ප්‍රතිකාරවලට එළඹ නොසිටියේ නම් අන්වීක්ෂයකින් බැලූ විට ඔටුන්නක හැඩයට දිස්වන වයිරසය පෙනහළුද ආක්‍රමණය කිරීමට කටයුතු කරණු ඇත. ආසාදනය වූ පෙනහළු සමග දුර්වල ප්‍රතිශක්තියකින් යුතු සිරුරකින් රෝගියා සමන්විය වන්නේ නම් ලොවවටා කෝවිඩ් - 19 හෙවත් කොරෝනා මරණ සංඛ්‍යාව තවත් එකකින් ඉහළ යනු ඇත.

විසි එක්වෙනි සියවසේ මිනිසා පරාජය කිරීමට කිසිවකුටත් නොහැකිය. අභ්‍යවකාශය ජයගැනීම පමණක් නොව හඳට සංචාරකයන් රැගෙන යෑම සම්බන්ධයෙන් කතා අසන්නට ලැබුණේ මීට මාස කිහිපයකට පෙරදීය. එහෙත් මේ වන විට මුළු ලොවම එක වයිරසයක් හමුවේ අසරණව සිටින්නේය. තත්ත්වය පාලනය නොවුවහොත් මුළු ලෝකයේම සියලු රටවල් හුදකලා කොට වයිරසය ජය ගැනීමට කටයුතු කළ යුතු වනු ඇත. එය විශ්ව ගම්මානයේ සිට සියවසක් පමණ අතීතයට යෑමක් හා සමාන වනු ඇත. කෙසේ වුවද මේ ගෙවී යන මොහොත වන විට මිනිසා කෝවිඩ් - 19 රෝගය හමුවේ පරාජිතය.

රෝගයේ ව්‍යප්තිය සටහන් වූ චීනය මේ වන විට යෝධයකු සේ යළි නැගිටිමින් සිටින්නේය. මේ වන විට චීනයෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 20ටත් අඩුය. මේ තත්ත්වය මත තවත් සතියක් හෝ දෙකක් ඇතුළත සම්පූර්ණයෙන් කෝවිඩ් ජය ගැනීමට චීනයට හැකිවනු නොඅනුමානය. ඉදින් එතැන් සිට චීනයට සිදු වනු ඇත්තේ ලෝකයේ සෙසු රටවල රෝග වාහකයන්ගෙන් ආරක්ෂා වීමටය. සැබවින්ම කෝවිඩ් චීනය හැර සෙසු අන් ඕනෑම රටකින් ආරම්භ වූයේ නම් එම රටේ ජනතාව සම්පූර්ණයෙන් මිය යෑමට වුවද ඉඩ තිබූ බව මේ විද්‍යමාන සාක්ෂි අනුව පෙනී යන්නේය. චීනය නම් චීනයමය. එය ලෝකයටම ලොක්කා වන දවස නම් ඈත නොවන්නේය.

දකුණු කොරියාව මේ වන විට රෝගය පාලනය කිරීමට සමත්ව ඇති බව පෙනී යන්නේය. ඊට චීනයේ සහාය ලැබුණේ මුහුණු ආවරණ තොගයක් හා චීන වෛද්‍යවරුන් ද සමඟිනි. මේ වන විට දකුණු කොරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ.

එහෙත් කැඳ හැලියක් බවට පත්ව ඇත්තේ ලෝකයේ වලව්කාරයන් සේ හැසිරුණු යුරෝපයයි. යුරෝපයේ රටවල් බොහොමයක් මතුපිට තලයේ දක්නට තිබෙන ධනවත්, සංවිධානාත්මක සමාජ දේශපාලනික පැවැත්මකින් හෝ රටාවකින් සමන්විත නොවන බව කෝවිඩ් - 19 මේ වන විට ලෝකයට ඔප්පු කර අවසන් වේ. ඒ අතරින් ඉතාලිය ඉතා දරුණු අවස්ථාවකට මුහුණ දුන් අතර එයින් ගොඩඒමට මුළු රටම නිරෝධායනය කිරීමට සිදුවිය. එහෙත් ඉතාලියේ දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව චීනයේ දෛනික මරණ සංඛ්‍යාවද ඉක්මවීමට සමත්වීම ඛේදවාචකයක් බව පැවසිය යුතුමය.

කෙසේ වුවද රටම නිරෝධායන කළාපයක් බවට පත් කිරීමෙන් පසුව වුවද ඉතාලියේ රෝගීන් වාර්තා වීමේ කිසියම් අඩුවක් දක්නට නොමැති බව වාර්තා වේ. එරට කෝවිඩ් ව්‍යාප්තිය කොතරම් ද යත් මරණ අනුපාතය ජනගහණ අනුපාතය හා සසඳා බලන විට පෙනී යන්නේ චීනය හෝ එතරම් බරපතල අවස්ථාවකට මුහුණ නොදුන් බවයි. ඉතාලියට චෝදනා එල්ල වන්නේ ආරම්භයේදී රෝගය ව්‍යප්ත වීම නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි බරපතල අවස්ථාවකට මුහුණ දීමට සිදුවූ බවයි.

කෙසේ වුවද යුරෝපයේ රටවල් රාශියකින් මේ ලියන මොහොත දක්වාද කෝවිඩ් රෝගීන් වාර්තා වෙමින් තිබේ. ඒ අතරට ස්විස්ටර්ලන්තයද එක් වූයේ රෝගීන් 652ක් සහ මරණ හතරක් ද වාර්තා කරමිනි. ස්පාඤ්ඤයෙන් රෝගීන් 2000කට අධික සංඛ්‍යාවක්ද, ජර්මනියෙන් 1855ක් ද, ප්‍රංසයෙන් 1784ක් ද, නෙදර්ලන්තයෙන් රෝගීන් 503ක්ද, ස්වීඩනයෙන් 490ක් ද, නෝර්වේ 414ක්ද වාර්තා වී තිබේ. පෝලන්තයේ රෝගීන් වාර්තා වීමත් සමග රට පුරා කැළඹීම් ඇති වූ අතර නගර වසා දමනු ඇතැයි ජනතාව බියපත් වී තිබේ. මීට අමතරව යුරෝපයේ සෑම රටකින්ම එක් රටකින් රෝගීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් බැගින් වාර්තා වී තිබීමෙන් කෝවිඩ් -19 යුරෝපයට කර ඇති හානිය වටහා ගත හැකිය.

එහෙත් මේ රටවල් සියල්ලටම වඩා කෝවිඩ් වයිරසයේ පීඩාවට පත්ව සිටින්නේ අමෙරිකාව බව පැවසිය හැකිය. අමෙරිකාවෙන් මේ වන විටි රෝගීන් දහස ඉක්මවා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාවද 31කි. අමෙරිකාව ලෝකයේ ධනවත්ම සහ බලවත්ම රට වශයෙන් පිළිගැනීමට ලක්ව තිබුණද එරටේ ජනතාවට අපේ රටවල ලැබෙන තරමේ නොමිලේ සෞඛ්‍ය පහසුකම් නොලැබේ. ඒ අනුව කෝවිඩ් වැළඳී ඇතිදැයි තහවුරු කර ගැනීමට කරන පරීක්ෂාවකට එක් අමෙරිකානු වැසියකුගෙන් ඩොලර් 2000ක් පමණ අයකරන බව දැන ගැනීමට ලැබී තිබේ. යම් හෙයකින් වයිරසය වැළඳී ඇති බව තහවුරු වුවහොත් රෝගියා ගිලන් රිය මගින් රෝහල වෙත ගෙන යන අතර ගිලන්රියේ ගාස්තුවද සමග කෝවිඩ් පරීක්ෂණයේ ගාස්තුවට අදාළ බිල් නිවෙසට ලැබීමට සලස්වනු ලැබේ. ඒ අනුව රෝග ලක්ෂණ සහිත වුවද ඇතැම් අමෙරිකානුවෝ රෝග පරීක්ෂාවට ඉදිරිපත් නොවීමේ ඉඩක් පවතින බවට වාර්තා ලැබී තිබේ. කෙසේ වුවද ජනාධිපති ට්‍රම්ප් වඩා ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරමින් ඉදිරි මාසයක කාලයක් සඳහා යුරෝපා ජාතිකයන්ට අමෙරිකාවට වීසා ලබා දීම තහනම් කර තිබේ. මෙහිදී යුරෝපා මහාද්වීපයේ රටක් වුවද මහා බ්‍රිතාන්‍යයට මේ තහනම ක්‍රියාත්මක නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඉරාකයට, ඇෆ්ගනිස්ථානයට පහර දීමේ සිට සෑම මොහොතකම තමන් තනි නොකළ හිතෛශිවන්තයාට අමෙරිකාව කළ විශේෂ සැලකුම පුදුමයට කරුණක් නොවන්නේය.

කෙසේවුවද බ්‍රසීල ජනාධිපතිවරයා සමග පසුගියදා ජනාධිපති ට්‍රම්ප් භෝජන සංග්‍රහයක් ඇතුළු සාකච්ඡාවකටද සහභාගී වූ පසුව බ්‍රසීල ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා කොව්ඩ් - 19 වැළඳී ඇති බව තහවුරු වීම සම්බන්ධව නම් අමෙරිකාව සතුටු නොවනු ඇත. මෙයින් පසුව බ්‍රසීල ජනාධිපතිවරයාද කෝවිඩ් පරීක්ෂණය සඳහා පෙනී සිටි ඇත. ජාර් බොල්සෙනාරෝ ජනාධිපතිවරයාගේ කෝවිඩ් - 19 පරීක්ෂණයේ ප්‍රතිඵල තවමත් මාධ්‍ය වෙත නිකුත් කර නොමැති අතර එය එසේ වන්නේ නම් රටක නායකයකුට කොවිඩ් වැළඳුණු ප්‍රථම අවස්ථාව ලෙස එය ඉතිහාසගත වනු ඇත.

කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ මේ වාර්තාවට එක්වීමෙන් අනූනවයෙන් බේරුණු නමුදු ඔහුගේ බිරියට කෝවිඩ් වැළඳී ඇති බව තහවුරු වී තිබේ. මේ වන විට අගමැතිවරයා හුදකලාව සිටිමින් තමාගෙන්ද රෝග ලක්ෂණ විද්‍යමාන වන්නේද යන්න තහවුරු වන තුරු ස්වයං නිරෝධායනයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

ජනතාව ඒකරාශී වීම හැකිතාක් අඩු කිරීමට තීරණය කිරීමෙන් පසු මක්කම වන්දනා නවතා දැමීමට සෞදි අරාබිය තීරණය කළ පසු සෑම මොහොතකම වන්දනාකරුවන්ගෙන් පිරී තිබෙන මක්කම පූජා ස්ථානය හිස්ව තිබෙන දුර්ලභ දර්ශනද දැක ගත හැකි විය.

මීට අමතරව ලෝකයේ දේශපාලන නායකයන්ට කෝවිඩ් වැළඳුණු අවස්ථා රැසක් විවිධ රටවලින් වාර්තා වේ. ඉරානය මේ අතරින් ඉදිරියෙන්ම සිටියද ඔවුන්ගේ පුවත් වාරණය හේතුවෙන් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් වී නැත. යුරෝපයේ රටවල් බොහොමයක දේශපාලන නායකයන්ට කෝවිඩ් වැළඳී ඇති අතර ප්‍රංශයේ සමාජ සුභසාධන ඇමතිවරයා සහ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිවරිය ඒ අතරින් මූලික වේ. ඔවුන් තම වෘත්තියට අදාළව රෝගය වැළඳුණු නොවැළඳුණු පොදු මහජනතාව අතරට ගොස් ඔවුන්ගේ සුවදුක් සොයා බැලීම ඔවුන්ට රෝගය වැළඳීමට මූලික හේතුව වී තිබේ. ඒ අනුව තම ආරක්ෂාවට වඩා තම වෘත්තිය උසස් කොට සැලකූ මේ මිනිසුන් නියම දේශපාලඥයන් බව මෙහිලා සටහන් කළ යුතුමය.

පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් - 19 පිළිබඳව නිල වශයෙන් ලෝකයටම රතු නිවේදන නිකුත් කිරීමත් සමග දුර දිග කල්පනා කළ බොහෝ රටවල් තම රට තමන් විසින්ම හුදකලා කර ගනිමින් ආරක්ෂා වීමට කටයුතු කර තිබේ. ඩෙන්මාර්කයද තම නගර හුදකලා කිරීමට කටයුතු කරමින් සිටින අතර ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් පවසා සිටියේ ජර්මන් ජනතාවගෙන් සියයට 70කට පමණ වයිරසය ආසාදනය වීමට ඉඩක් පවතින බවයි. කුවේටය සියලු වානිජ ගුවන් ගමන් නවතා දැමූ අතර ඉන්දියාවද ගුවන් ගමන් සඳහා සීමාවන් පනවා තිබේ. මීට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ සියලුම අභ්‍යන්තර බස් රථ සේවා නවතා දැමීමටද කුවේටය කටයුතු කර තිබේ. තම රට සහ ලෝකයේ සෙසු රටවල් අතර සියලු සබඳතා නවතා දමමින් තම ජනතාවගේ ආරක්ෂාවට කටයුතු කළ ප්‍රථම රට බවට පත්වෙමින් ක්වේටය ගත් වැදගත් ආරක්ෂිත තීරණ ගැන යමක් ලියා තැබිය යුතුමය. යම් රටක පාලකයන් එම රටේ ජනතාවගේ ආරක්ෂාවට ගන්නා තීරණ අනුව ඔවුන් තුළ ජනතාව කෙරෙහි ඇති හැඟීම විද්‍යාමාන වේ. එමෙන්ම රටක් හුදකලා කොට පවත්වාගෙන යෑමට නම් එම රට සතුව පැවැත්මට ප්‍රමාණවත් වත්කම්ද තිබිය යුතුය. ක්වේටය මේ සියල්ලෙන් සමන්විත වෙමින් නිර්භයව තම රට හුදකලා කොට ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබේ. පවසන්නට ඇත්තේ එරටේ ජනතාව වාසනාවන්ත බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි කලාතුරකින් දක්නට ලැබෙන ලෝක මට්ටමේ ව්‍යසනයකදී ක්‍රියාත්මක වන අන්දම ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය මතු වන්නේ නිවේදන නිකුත් කිරීමට පමණක් ඔවුන්ගේ කාර්ය භාරය සීමා වන අන්දම දැකීමෙනි. ඔවුන් වයිරසය පිටු දැකීමට පර්යේෂණ කරමින් නිරන්තරව වයිරසය මැඩපැවැත්වීමට උත්සාහ දරමින් සිටියද සමස්ත ලෝක ජනතාවගේ විශ්වාසය දිනා ගත් නිර්පාක්ෂීක සංවිධානයක් ලෙස ඔවුන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට අදහසක් මතු වීම වැළැක්විය නොහැකිය.

වඩාත් අවාසනාවන්ත පුවතක් වන්නේ ඕස්ට්‍රේලියාවේ සංචාරයකට එක්වූ අතිශය ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිය රෝගයට ගොදුරු වීමය. මේ වන විට ඔවුහු ඕස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මේ අතර අතට අත දීමෙන් රෝගය බෝ වන බව පැතිරෙන බව තහවුරු වීමෙන් ලෝකයේ විවිධ රාජ්‍ය නායකයෝ අතට අත දීම වෙනුවට පෙරදිග ක්‍රමයට ‘ආයුබෝවන්‘ කියනු දැකගත හැකි විය . මෙලෙස ආයුබෝවන් කීමට කටයුතු කළ රාජ්‍ය නායකයන් අතර චාල්ස් කුමාරයා සහ ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුද විය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිපීනයේ ක්‍රියාත්මක කණ්ඩායම ස්වකීය පර්යේෂණ ප්‍රතිඵලයක් නිකුත් කරමින් පවසා සිටියේ දැඩි උෂ්ණත්වයක් මධ්‍යයේ වුවද කෝවිඩ් - 19 වයිරසයට පැවතිය හැකි බවයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ප්‍රවෘත්තියක් ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට ලක් විය. එය අපේ රටද ඇතුළුව සමකාසන්න උෂ්ණ කලාපීය රටවලට දැඩි සිත්වේදනා ගෙන දෙන ප්‍රවෘත්තියක් විය. කෙසේ වුවද මේ දක්වා ශ්‍රී ලංකාව, ඉන්දියාව මෙන්ම උෂ්ණ කලාපීය කැරිබියන් දූපත්වලින්ද වාර්තා වී ඇත්තේ අවම කෝවිඩ් රෝගීන් පිරිසක් වීම නොසලකා හැරිය නොහැකිය. වර්ජින් ඇට්ලන්ටික් නම් වන ලෝක ප්‍රකට සංචාරක නියෝජිතායනය මගින් පසුගියදා මේ අවස්ථාවේ සංචාරයට සුදුසුම රටවල් ලෙස කැරිබියන් දූපත් සහ ශ්‍රී ලංකාව නම් කරන ලදී. සංචාරක ආකර්ෂණය සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් නම් එය ඉතා හිතකර තත්ත්වයක් වුවද මේ අවස්ථාවේ ලෝකයේ ඕනෑම රටකින් පැමිණෙන සංචාරකයන් මාර්ගයෙන් කෝවිඩ් වයිරසය ව්‍යප්ත විය හැකි බැවින් රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව නම් එම ප්‍රචාරය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අහිතකර බව කිව යුතුය.

මේ අතරම සිංගප්පූරුව ගැනද පැවසිය යුත්තේ එය එක්තරා අවස්ථාවක ඉතා බරපතල තත්ත්වයක පසුවී මේ වන විට තත්ත්වය හොඳින් පාලනය කර ගෙන ඇති නිසාමය. එසේ කිරීමට සිංගප්පූරුවට හැකියාව ලැබී ඇත්තේ එරට පාලකයන්ගේ විධිමත් වැඩපිළිවෙල සහ තීරණ ගැනීමේ හැකියාව සහ දක්ෂතාව මත බව සඳහන් කළ යුතුමය. ඒ අනුව සිංගප්පූරුව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි රටක් බව යළිත් තහවුරු කර තිබේ.

කෙසේ වුවද මේ වන විටත් කෝවිඩ් මුළු ලෝකයම කළඹමින් සිටී. චීනය තත්ත්වය පාලනය කළද කිව හැකි වන්නේ ලෝක මට්ටමේදී අනතුරුදායක බව වැඩිවෙමින් පවතිනවා මිස අඩු වීමක් දක්නට නොලැබෙන බවයි. සොබාදහමේ දඬුවම් හමුවේ මිනිසා තවමත් කුඩා දරුවකු හා සමාන බවට කෝවිඩ් අත්දැකීම ඉතා හොඳ උදාහරණයකි. එහෙත් මුළු මහත් මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් අපගේ ප්‍රාර්ථනාව වන්නේ දඬුවම ලිහිල් කිරීමට සොබාදහම් මාතාවට ඉක්මනින්ම සිත් පහළ වේවා යන්නයි.

Comments