
ප්‍රථම වතාවට සමස්ත ලෝකයේ ජනගහනයෙන් තරුණ වයස් සීමාව ඉක්මවා මහලු වයස් සීමාවට අයත් වන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඒ අනුව පෘථිවියේ දැනට ජීවත් වන වැඩි පිරිසක් මහල්ලන් බව පැවසීම වරදක් නොවේ.
අදින් වසර සියයකට ඉහතදී ලොව ජනගහන පිරමිඩයේ මුදුන වූ මහල්ලන්ගේ සංඛ්‍යාව අවම වූ අතර ළමයින් සහ තරුණයන් මෙන්ම මැදිවියේ වූවන්ද සංඛ්‍යාවෙන් විශාල විය. එවිට ජනගහන පිරමිඩය සැබෑම පිරමිඩයක ස්වරූපයට සමාන විය. එහෙත් දියුණු තාක්ෂණය විසින් විවිධ රෝග සඳහා ඖෂධ, සැත්කම් සහ වෛද්‍ය උපකරණ බිහි කරන අතර එක් පුද්ගලයකුට සෞඛ්‍ය පහසුකම් සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණයද ඉහළ යෑමෙන් ඒක පුද්ගල ආයු අපේක්ෂාව පොදුවේ ඉහළ යන්නට විය. එහි ප්‍රතිඵල ලෙස මේ වන විට සමස්ත ලෝක ජනගහනයේ මහල්ලන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
මේ වන විට පොදුවේ මිහිතලය මත මිනිසකුගේ ආයු අපේක්ෂාව ලෙස සැලකෙන මධ්‍ය අගය වන්නේ අවුරුදු 80කි. ඒ අනුව සමස්ත ලෝක ජනගහනයේ මහල්ලන්ගේ සංඛ්‍යාව ප්‍රථම වතාවට තරුණයන්ගේ ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ. සමස්ත ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් අවුරුදු තිහට වඩා වැඩි වන අතර වයස අවුරුදු 30ට වඩා අඩු පිරිස සංඛ්‍යාවෙන් අඩු බව සංඛ්‍යා ලේඛන තහවුරු කර තිබේ. ඒ හේතුවෙන් ලෝක ජනගහන පිරමිඩය දැන් පිරමිඩයකට වඩා ඍජුකෝණාස්‍රයක හැඩය ගන්නා බව විචාරකයන් පෙන්වා දී තිබේ.
මීට අමතරව ලෝක ජනගහනයෙන් අර්ධයකට වඩා මධ්‍යම පන්තියට අයත්වන තරමේ ආදායම් උපදවා ගැනීමට සමත්කම් දක්වා ඇතැයිද දත්ත වාර්තා අනුව තහවුරු වී තිබේ. මෙලෙස දූගී ජනතාව සංඛ්‍යාවෙන් අඩුවීම තවදුරටත් ආයු අපේක්ෂාව ඉහළ යෑමට හේතු වන බවත් එය යළිත් චක්‍රාකාරව මහල්ලන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමට සමත් වන බවත් විචරකයන් පෙන්වා දී තිබේ. මේ තත්ත්වයට තවත් හේතුවක් ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ තරුණ පිරිස දරුවන් සෑදීමට වඩා අධ්‍යාපනයට සහ රැකියා සඳහා වැඩි අවධානයක් ලබා දීමයි. ඒ අනුව එළඹෙන දශකයේදී ලෝකයේ අවුරුදු 30ට අඩු ජනගහණය තවදුරටත් අඩුවනු ඇති බව විචාරකයන්ගේ මතයයි.
මේ වන විට ලෝක ජනගහනය තත්ත්පරයට උපත් හතරක් ලෙසත් තත්ත්පරයට මරණ දෙකක් ලෙසත් වර්ධනය වෙමින් තිබේ. විචාරකයන් පෙන්වා දෙන්නේ 2030 වන විට එතෙක් මෙතෙක් ලෝකයේ ජීවත් වූ ධනවත්ම සහ මහලුම මිනිසුන් පෘථිවිය මත ජීවත් වනු ඇති බවයි.