
මේ දිනවල දේශපාලන පක්ෂ සියල්ලම කැලඹිලා නේද? කොහොමද ඔබ මෙය දකින්නේ?
මැතිවරණයක් සඳහා පක්ෂ විපක්ෂ සියල්ල සූදානම් වෙමින් සිටින අවස්ථාවක් තමයි මේක. මත ගැටුම්, දේශපාලන අරමුණු, බලය ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධව තමයි මෙලෙස ක්‍රියා කරන්නේ. ඇත්තටම මෙය කැලඹිල්ලක් නොවෙයි මැතිවරණයක් කැදෙව්වාම සියලුම පක්ෂ උත්සාහ දරන්නේ තමන්ගේ පක්ෂයෙන් රජයක් බිහි කිරීමටයි.
ජයග්‍රහණය වගේම පරාජයත් තිබෙනවා. අප මැතිවරණයකින් පරාජයට පත්වෙලා ඉන්න මොහොතකයි මහ මැතිවරණයට මුහුණ දෙන්නේ. මෙහිදී ජයග්‍රහණය වගේ නොවෙයි පරාජය කියන්නේ අපවාද, අවලාද , අපහාස මෙන්න මේ කරුණු වලට සෘජුව මුහුණ දෙන්නට සිදු වෙනවා.
මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළත් මෙවැනි ගැටුම් විවිධ මත ඇතිවෙලා තිබෙනවා. අප උත්සහ කරමින් සිටින්නේ මේවා නිරාකරණය කරමින් ඉදිරියට යන්න.
මෙහිදී අපට අභියෝග රැසක් තිබෙනවා. විශේෂයෙන් පක්ෂය ආරක්ෂා කරමින්, පක්ෂයේ නායකයන් ආරක්ෂා කරමින් අපේ පාක්ෂිකයින් රැක ගනිමින් තමයි මේ ගමන යන්න අප උපරිම අයුරින් කටයුතු කරන්නේ.
ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී නොමැති බවද?
ඇත්තටම ඔය කියන ආකාරයේ දෙකඩවීමක් නැහැ. වෙනත් වාසි ලබා ගැනීම සඳහා අපගේ ගැටලුව විවිධ අයුරින් ප්‍රචාරය කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම පුද්ගලයන් ක්‍රියා කරනවා.
රණසිංහ ප්‍රේමදාස මහත්මා පක්ෂයේ නායකයා වෙලා හිටි සමයේ ගාමිණී දිසානායක ,ලලිත් ඇතුළත් මුදලි යන මහත්වරු පක්ෂයෙන් ඉවත් වී කටයුතු කළ කාලයේදී මේ පක්ෂය කඩා වැටීමකට ලක්වුණා. එහිදී පක්ෂයට විශාල හානියක් සිදු වුණා. මේ නිසා වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයෙන් පක්ෂය මුදා ගැනීම සඳහා අප එකතුවෙලා ක්‍රියා කළ යුතුයි. අපගේ මතයන් කුමක් වුවත් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීමට අප සූදානම්.
මේ ගැටලු තත්ත්වය නිරාකරණය කිරීම සඳහා මම පක්ෂයේ මහ ලේකම් දූරයෙන් ද ඉවත් වීමට උත්සාහ කළේ මේ නිසයි මොකද පක්ෂය දෙකඩ වෙලා අපි තනතුරුවල ඉදලා වැඩක් නැහැ. අපිට ඕන පක්ෂය රැකගන්න. තනතුරු තාවකාලිකයි. පක්ෂයේ සමගිය වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කිරීමට සූදානම්. අපි පෞද්ගලික න්‍යාය පත්‍රයට නොවෙයි ක්‍රියා කළ යුත්තේ.
මේ ගැටුම් සියල්ල මැද්දේ ඔබලා මහ මැතිවරණයට සූදානම් වෙන්නේ කෙසේද?
අපගේ මත ගැටුම් තව දින දෙක තුනකදී අවසන් වේවි කියලා මම හිතනවා. කෙසේ වෙතත් අපි පක්ෂයක් හැටියට මැතිවරණයට සූදානම්. ගම් බිම් මට්ටමේ ඉදලා අපගේ පාක්ෂිකයන් අප සමඟ සම්බන්ධ වෙනවා. අප අතර මොන ගැටුම් තිබුණත් එක්සත් ජාතික පාක්ෂිකයා අපව දාලා යන්නේ නැහැ කියන එක අපට විශ්වාසයි. පක්ෂයේ සියලු දෙනා එක්ව අපි සන්ධානගත වෙලා මේ ගමන යන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඉදලම අප ග්‍රාමීය මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා.
ඔබලාගේ පක්ෂය කඩා වැටීම පාක්ෂිකයා ඉවත් වීමක් නොවේද?
දේශපාලන පක්ෂ නොයෙක් හැල හැප්පීම්වලට ලක් වෙනවා. ඒ තුළ කියන්නේ නැහැ පක්ෂයක් නැති වෙනවා කියන එක. අප මේ තිබෙන තත්ත්වය වෙනස් කර මැතිවරණ යාන්ත්‍රණය ලබන මාස දෙක තුළ ජයග්‍රහණයක් දක්වා ක්‍රියාත්මක කරනවා. පාවෙන ඡන්දවල තමයි වෙනස්කම් තිබෙන්නේ.
ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂ 64 ක ඡන්ද ලබා ගත්තා. මෙවර මහ මැතිවරණයේදී ඔබලා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද?
ගෝඨාභය ජනාධිපතිවරයාට මෙන්ම මහින්ද අගමැති ප්‍රමුඛ රජය ජනතාවට කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ. ජනතාව බඩු මිලෙන් මිරිකිලා. අත්‍යඅවශ්‍ය භාණ්ඩ දිනෙන් දින ඉහළ යනවා. රැකියා ලක්ෂයක් දෙනවා කිව්වා. කෝ ඒ රැකියා. අද ආණ්ඩුවට සල්ලි එන්න තැනක් නැහැ. සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවෙලා. මේ රටට සල්ලි එන්නේ නැහැ. ටැක්ස් අඩු කරලා රජයට කිසිම ආදායමක් නැහැ. ආණ්ඩුවට සල්ලි නැහැ. ආණ්ඩුවට යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
මේ කරුණු නිසා ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ජනතාව අපත් සමඟ එකතු වෙනවා කියල පැහැදිලියි. අපි යහපාලන රජය යටතේ නොයෙක් සහන ජනතාවට ලබා දුන්නා. ජනතාව තවදුරටත් සහන බලාගෙන ගෙනාපු ආණ්ඩුව කළ සේවයක් නැහැ. ඒ නිසා මේ මැතිවරණයේදී ජනතාව අප විශ්වාස කරයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා.
ආණ්ඩුව ඇයි තුනෙන් දෙකක් ගැන කතා කරන්නේ ඔවුන්ට හැකි වේද තුනෙන් දෙක ගන්න?
අපි පැහැදිලිව කියනවා පොහොට්ටුවට නොවෙයි කිසිම පක්ෂයකට තුනෙන් දෙක ගන්න බැහැ. ආණ්ඩුවට 113 ගන්න පුළුවන් කියලා හිතන්නවත් බැහැ. අපි පැහැදිලිව මන්ත්‍රීදූර 90 වකට වඩා ගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි ආසන ගණන එකතු කරගෙන රජයක් පිහිටු වන්න.
මේ අය තුනෙන් දෙකක් ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝදනයක් කරන්නලු ඒක නොමෙයි ඇත්ත රාජපක්ෂලාට දිගටම මේ රටේ බලය අල්ලගෙන ඉන්න තමයි ඔය තුනෙන් දෙක ඉල්ලන්නේ. ජනතාව මේ බැව් තේරුම් අරගෙන සිටින්නේ. ඔවුන් මැතිවරණයේදි මේ සඳහා උත්තරයක් ලබා දෙවී. ආණ්ඩුවට තුනෙන් දෙක තියා දෙකෙන්වන් ගන්න බෑ. ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගේ සන්ධානයේ සභාපති කිරීම තුළ එය පැහැදිලිව තේරුම් ගත හැකි කාරණයක්. එයින් පෙනෙනවා පොහොට්ටුවේ බංකොලොත් භාවය.
සංවාද මෙෙහයවීම - භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්