කටට ‘ඉබ්බෙක්’ දමා උකුස්සා පුලතිසිපුරයට පටවයි | සිළුමිණ

කටට ‘ඉබ්බෙක්’ දමා උකුස්සා පුලතිසිපුරයට පටවයි

ගිය සතියේ දී අගමැති මහින්ද රාජපක්ෂ ඉපලෝගම රතනසාර හිමියන්ගේ ආරාධනයෙන් ඉපලෝගම ටැම්පිට විහාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් විය. එදින අගමැතිතුමාට දහවල් ආහාරය සුදානම් කර තිබුණේ ඩී. බී. හේරත්ගේ නිවසේය. දිවා ආහාරයෙන් පසු ඩී.බී හේරත්ගේ නිවස ආසන්නයේ පිහිටි වාරියපොළ සුමංගල පිරිවෙනේ සූදානම් කර තිබූ සුමංගල හිමියන්ගේ ගුණසමරු උත්සවයක් සඳහා අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතව තිබිණි.

අග්‍රාමාත්‍යවරයා පැමිණෙන හෙලිකොප්ටරය ගොඩබැස්වීමට ඩි. බී. හේරත් මහතාගේ නිවස ආසන්නයේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සුදුසු බව තීරණය කළ ආරක්ෂක අංශ ඒ බැව් විදුහල්පතිවරයාට දැනුම් දුන්නේය.

ආරක්ෂක අංශ පැමිණ ක්‍රීඩා පිටිය පරික්ෂා කරන අයුරු දුටු පාසල් සිසුන්ට දැන ගන්නට ලැබෙන්නේ සිය විදුහල් ක්‍රීඩාංගණයට තවත් සුළු මොහොතකින් අග්‍රාමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරය ගොඩබැස්වීමට නියමිතව ඇති බවයි.

ඒ ආරංචියත් සමඟ සිසුන්ගේ මුහුණු සතුටින් පිරිණි. පාසල් වේලාව අවසන් බවට සීනුව නාද වූවත් නිවෙස්වලට යෑමේ වුවමනාවක් සිසුන්ට නොතිබුණේ අගමැතිවරයා සැබැවින් දැකගැනීමේ ආශාව නිසයි.

හෙලිකොප්ටරයෙන් ආ අගමැති බලන්න සිසුහු පොරකති

හෙලිකොප්ටරය ගොඩබෑමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා හෙලිකොප්ටරයෙන් බැස එනවා දුටු සැණින් පාසල් සිසුන් අග්‍රාමාත්‍යවරයා වෙත දිව ගියේ ආරක්ෂක අංශ පවා අසීරුතාවට ලක්කරමිනි. ආරක්ෂක අංශ දරුවන් වළකාලීමට කෙතෙක් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

“ඔය දරුවන්ට එන්න දෙන්න. දරුවන්ගෙන් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ” යි කියමින් ආරක්ෂක අංශ වළකාලන්නට අගමැතිවරයා උත්සහ කළත් එම අවස්ථාව පාලනය කරගැනීමට ආරක්ෂක අංශ මැදිහත් නොවූයේ නම් අගමැතිවරයා බිම වැටෙන්නට පවා ඉඩ තිබිණි. ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියා සහ දරුවෝ කිහිපදෙනෙක් බිම ඇද වැටුණාහ. අග්‍රාමාත්‍යවරයා වෙත දිව ආ පාසල් සිසුහු අග්‍රාමාත්‍යවරයා වට කරගෙන අත්පොළසන් දෙමින් සිය සතුට පළ කළහ. '' ජනාධිපති මාමා ” ආදී ලෙස දරුවන් අතරින් නොයෙක් ආමන්ත්‍රණයන් ඇසිණි.

වර්තමානයේ පවතින බඩු මිල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ගිය සතියේ අරලිය ගහ මන්දිරයේ දී අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බන්දුල ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, විදුර වික්‍රමනායක, සෙහාන් සේමසිංහ, චමල් රාජපක්ෂ යන මැතිඇමැතිවරුද අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල සහ ව්‍යාපාරිකයෝ පිරිසක්ද ඊට එක්ව සිටියහ.

එහි දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මාළු අානයනය සම්බන්ධයෙන් පනවා ඇති බදු අඩු කිරීමෙන් මාළු මිල ගණන් ඉහළ යෑම වැළැක්වීමට හැකියාව ඇතැයි ව්‍යාපාරිකයන් අතරින් අදහසක් ඉදිරිපත් විය.

" දේශීය මාළු නිෂ්පාදකයන්ට පහර වදින විදියට කිසිම දෙයක් කරන්න බැහැ. අපි මොන දේ කළත් දේශීය ව්‍යාපාරිකයා ගැන සැලකිලිමත් වෙලා ඉන්න ඕනේ. ඔයාලා මාළු මොන තරම් ප්‍රමාණයක් ගේනවාද? ඒ ගේන මාළු කොහෙටද යවන්නේ ” පෙරළා අගමැතිවරයා විමසීය.

" අපි ගේන මාළු යන්නේ මාළු වෙළෙදපොළට නෙවෙයි සර්. කරවල මාර්කට් එකට.” ව්‍යාපාරිකයෙක් කීය

" එහෙම කරන්නේ කොහොමද” අගමැතිවරයා ව්‍යාපාරිකයන්ගේ විමසීමත් සමඟ ඊට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කළේ “සර්, මේ ගොල්ලෝ කෝටා එකෙන් මාළු ගෙනත් ඒ මාළු කරවල කරනවා.

“මාළු ආනයනයේ දී බදු අඩුයි. කරවල බදු වැඩියි” ව්‍යාපාරිකයෙක් කීය.

" එහෙම කරන්නේ කොහොමද? ඔයාලා මාළු ගේනවා නම් මාළුවලට අදාළ බදු ගෙවලා මාළු ගෙනත් මාළු වෙළෙඳ පොළට දාන්න. කරවල ගේනවා නම් කරවලවලට අදාළ බදු ගෙවලා ගේන කරවල කරවල වෙළෙඳපොළට දාන්න.” අගමැතිවරයා තරමක් නොසතුටෙන් පැවසීය.

යාපනයේ එළවළු වෙළෙන්දන්ට එරෙහිව මාෆියාවක්

එම සාකච්ඡාවේ දී වත්මන් එළවළු මිල ගණන් සම්බන්ධයෙන් විශේෂයෙන් කතාබහට ලක් විය. මේ දිනවල යාපනයේ එළවළු වෙළෙදපොළට පැමිණෙමින් තිබෙන නමුත් ව්‍යාපාරිකයන්ට ගැටලූ සහගත තත්ත්වයක් ඇතැයි එහි දී අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා සඳහන් කළේය.

"ඒ කියන්නේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවාද” අගමැතිවරයා විමසිය.

‍"ඔව් සර්. අර්ථික මධ්‍යස්ථානවලට යාපනයේ ඉඳන් එන එළවළු ලොරිවලට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. මේක පාලනය කර ගන්න වෙනවා.” යි අනුර ප්‍රියදර්ශන යාපා කීය.

ඒ මොහොතේම ආරක්ෂක අංශ දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන් අතර "මේ වගේ මාෆියා පාලනය කරනවාත් එක්කම රජයක් විදියට ජනතාවට පහසු මිලට එළවළු මිල දී ගැනීමේ යාන්ත්‍රණයකුත් හදන්න වෙනවා. සතොස වගේ රජයේ ආයතන මඟින් ඒ දේ කරන්න පුළුවන්. වැවිලි සමාගම් එක්ක සාකච්ඡා කරලා පොල් සම්බන්ධයෙනුත් ඒ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ ” අගමැතිවරයා කීවේය.

1980 වර්ෂයේ දී ශාක නිරෝධායන ප්‍රතිපත්තියක් ලෙස දකුණු ඇමරිකාවෙන් මුං ඇට, කවුපි වැනි දේ මෙරටට ගෙන්වීම තහනම් කර තිබේ. මේ සම්බන්ධයෙනුත් ව්‍යාපාරකයන් තුළ ඇති නොසතුට ගැන මෙහි දී අදහස් පළ විය. දකුණු ඇමරිකානු රටවල ශාකවල තිබෙන දිලීර රෝග මෙරට ශාකවලට බෝවීම වැළැක්වීමේ අදහසින් 1980 දී මෙවැනි තීන්දුවක් ගෙන තිබේ.

"මේ ගැන හොයලා බලලා 1980 පනවලා තියෙන නීතිය ගැනත් සමාලෝචනයක් කරන්න” යැයි එහි දී අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අතරමැදියන්ගේ බලපෑම් හේතුවෙන් බඩු මිල ඉහළ යෑම් ගැනද මෙහි දී සාකච්ඡා විණි. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිලිමත්ව සිට පාරිභෝගිකයා අසාධාරණයට ලක්වීම වැළැක්වීමට පියවර ගත යුතුව ඇතැයිද මෙහි දී අගමැතිවරයා නිලධාරීන්ට අවධාරණය කළේය.

ගිය සතියේ දී ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම පැවැත්විණි. දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, අතුරලියේ රතන හිමි, තිස්ස විතාරණ, කෙහෙලිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහාචාර්ය ජි. ඇල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්දා, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ඒ. එම්. එල් අතාවුල්ලා, ආරුමුගන් තොණ්ඩමන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පක්ෂ නායක රැස්වීම අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

අල ටැක්ස් එකෙන් වැඩේ අල වෙයිද?

පක්ෂ නායක රැස්වීම ආරම්භයේදීම පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැඟීය. “අලවලට ටැක්ස් එකක් ගහනවා. මේ වේලාවෙ ටැක්ස් එක ගැහුවාම දැන් වෙළෙඳපොළේ තියෙන අලවලත් මිල ඉහළ යනවා. ඒකෙන් වැඩේ තවත් අල වෙනවා. දේශිය ගොවියාට සහන දෙන්න ටැක්ස් එක දැම්මේ. අපිට පාරිභෝගිකයා ගැනත් හිතන්න වෙනවා” හිටපු ඇමැති බැසිල් කීය.

“ වෙළෙදපොළේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යනවා. කුළු බඩු මිල නම් ඉතාම නරක විදියට ඉහළ ගිහින්“ ඇමැති වාසුදේව නානායක්කාර කීය. මේ සමඟම බැසිල් රාජපක්ෂ මිල ඉහළ ගොස් තිබෙන භාණ්ඩවල නාම ලේඛනයක් එක දිගටම කියාගෙන යන අතරේ ලංකාවේ කුළුබඩු වර්ග මිල දී ගැනීමේ යාන්ත්‍රණය විධිමත් කළ යුතුව ඇතැයි ද කීවේය.

වෙනදා මෙන්ම වාසුදේව නානායක්කර මහතා මෙදිනත් පොහොර ප්‍රශ්නය ගැන කරුණු දැක්වීම ඇරඹීය. පොහොර හිඟය සම්බන්ධයෙන් තවමත් නිලධාරීන්ගේ ඇස් යොමුව නැතැයි වාසුදේව නානායක්කාර අගමැතිවරයාට කීවේය.

ඒ මොහොතේම මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත් අගමැතිවරයා “මම ගිය වතාවෙත් කිව්වා මේ පොහොර ප්‍රශ්නය ගැන බලන්න කියලා.” කීවේය. අගමැතිවරයාට පිළිතුරු දෙමින් ආටිගල මහතා පැවසුවේ “සර් පොහොර නැවක් ඇවිත් තියෙන්නේ. පොහොරවල ප්‍රමිතිය ගැන තවම අවසන් තීරණයකට ඇවිත් නැහැ.“

“ලේකම්තුමා, පොහොර ගේන්න කලින් ප්‍රමිතිය බලන්න. කොහොම හරි කමක් නැහැ මේ ගැටලුවට විසඳුමක් දෙන්න. එළවළු, තේ හැම අංශයකින්ම මට වාර්තා වෙන්නේ පොහොර හිඟයක් තියෙනවා කියලයි.” යැයි අග්‍රාමාත්‍යවරයා කීය.

පක්ෂ නායක හමුව පැවැත්වෙන අතරතුර ජොන්ස්ටන් ඇමැතිවරයා “සර් මේ දවස්වල උකුස්සෙක් කරළියට ඇවිත්”

“ඔව්. මමත් දැක්කා. දේශපාලනයට උකුස්සෙක් ඇවිත් ” කියමින් අගමැතිවරයා සිනාසුණේය.

දේශපාලනයට උකුස්සෙක් ඇවිත්

ඒ කතාවේ හැටියට උකුස්සා ඩැහැගෙන යන්නේ වෙන කෙනෙක් අල්ලපු ගොදුරක්. අපි ගන්න දේවල් කාටවත් උදුරගෙන යන්න දෙන්න බැහැ.” කතාවට සම්බන්ධ වෙමින් මහින්ද යාපා අබේවර්ධන ඇමැතිවරයාද පැවසීය.

“අපි මේ පාර ඒ වගේ කාටවත් අපේ ගොදුරු ඩැහැගෙන යන්න දෙන්නේ නැහැ නේද අමරවීර ” කියමින් අගමැතිවරයා මහින්ද අමරවීර මන්ත්‍රීවරයා දෙස බැලූවේය.

පක්ෂ නායක රැස්වීම අවසන් වීමත් සමඟ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා අගමැතිවරයාට කිට්ටු වී ආරාධනයක් කළේය. ඒ පසුගිය වසර හතරහමාරක කාලය තුළ සිදු වූ දේ ඇතුළත් කරමින් මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර විසින් රචිත“ ප්‍රසන්න පොදුජන අරගලයේ නොකී කතා “නම් ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට සහභාගි වන ලෙසයි.

“ඔයාගේ වැඩකට මම නෑවිත් පුළුවන්ද? අනිවාර්යයෙන්ම එනවා. ඔයා කියන දවසේ ඔයා කියන වේලාවට මම එන්නම්” කී අගමැතිවරයා "ප්‍රසන්නගේ වැඩේට මම අනිවාර්යයෙන්ම යනවා. 11 වැනිදා ප්‍රසන්නගේ වැඩේට වේලාව වෙන් කරන්න” යි උපදෙස් දුන්නේය.

ඒ සතුටු සාමිචිය අතරතුර “සර්, ගම්පහින් ආවා නම් තමයි හොඳ” කී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට

“බලමු. බලමු ප්‍රසන්න. ඔය ගොල්ලොත් ඉන්නවානේ.” කියමින් අගමැතිවරයා සිනාසුණේය.

ඉකුත් සතියේ බැසිල් රාජපක්ෂ මහතා වැඩි අවධානයක් යොමු කළේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාකාරීන් හමුවීමටත් අනුබද්ධ සංවිධාන නියෝජිතයන් හමුවීමටත්ය. අනුබද්ධ සංවිධාන නියෝජිතයන් හමුවක දී “සුදු ආප්පයක් මත නෙලුම් පොහොට්ටුවක් ඇති ඡායාරූපයක් පෙන්වමින් බැසිල් රාජපක්ෂ මහතා "ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සලකුණ වෙනස් කරලයි කියලා මහාචාර්යවරයෙක් මට පින්තූරයක් එවලානේ ” කීවේ සභාවේ සිටි සියලු දෙනා සිනාගන්වමිනි.

උකුස්සා ප්‍රකාශය සම්බන්ධයෙන් සිත් රිදුණු අය ඒ සම්බන්ධයෙන් ද මෙහි දී බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කළේය.“එක බිම් ඌරෙක් තව බිම් ඌරෙකුට අල හාරන්නේ නැහැ කියන න්‍යායෙයි මම ඉන්නේ. මට නම් එක පොහොට්ටුව” යැයි ඔවුන්ට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා කීය.

මේ දිනවල කලාකරුවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් පවතියි. "කිසිම පක්ෂයකට නැති විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක කලාකරුවන් එකතු වුණා. විනයක් සහිත අයට අවස්ථාව දෙන්න අපි සූදානම්.” බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ පිළිතුර විය.

මාතර නගරයෙන් බැහැරව රාජකාරී සිදු කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීහු සිය රාජකාරීමය හා පෞද්ගලික අවශ්‍යතා සඳහා නිරතුරු නගරයට පැමිණෙති. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නගරයට පැමිණෙන්නේ තමන් සොයාගත් ප්‍රවෘත්තීය පුවත්පතකට, ගුවන්විදුලි නාළිකාවකට හෝ රූපවාහිනී නාළිකාවකට ඊමේල් කිරීමට වැනි කාර්යකටය. දෙණියාය, ඌරුබොක්ක වැනි මාතර නගරයෙන් දුර බැහැර සිටින ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නව තාක්ෂණික දැනුම ඇතැම් විට අල්පය. ඒ නිසා ඔවුන් තම ප්‍රවෘත්ති තම මාධ්‍ය ආයතන වෙත ලබාදීමට නගරයේ විද්‍යුත් තැපැල් පහසුකම් ඇති ස්ථානයකට ගියත් ඔවුන්ගේ කාර්ය කර ගැනීමට යම් කාලයක් ගත වේ. ඒ නිසා ඔවුන් පත් වී සිටින අපහසුව මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍ය සංගම් රැසක් තොරතුරු හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා වෙත දන්වා තිබිණි. ඒ ගැන ඇමැතිවරයා වැඩි අවධානයක් යොමු කර තිබිණි. ඒ ගැන අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැවට මේ ගැන දැනුම් දී සුදුසු ස්ථානයක් සොයා දෙන ලෙස දන්වා තිබිණි. ඒ අනුව මාතර බස්නැවතුම්පළ අසලින් ඒ සඳහා ස්ථානයක් වෙන් කර තිබිණි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ සියලුම විද්‍යුත්, මුද්‍රිත්, අන්තර්ජාල මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් විවෘත විය. එහි දී මාධ්‍යවේදීන්ට නොමිලේ තම ප්‍රවෘත්ති ෆැක්ස් කර ගැනීමට, අන්තර්ජාලය භාවිත කිරීම වැනි වෘත්තීමය අවශ්‍යතා ඒ ස්ථානයේ සිට සිදු කරගත හැකිය. ආහාර පාර්සලයක් රැගෙන විත් සප්පායම් වීමටද එහි බාධාවක් නැත.

මාධ්‍ය මධ්‍යස්ථානය මාධ්‍යවේදීන් සතු කිරීම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අතින් පසුගියදා සිදු විය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්.දයාරත්න, ලේක්හවුස් නීති සහ පාලන අධ්‍යක්ෂ රඛිත අබේගුණවර්ධන සහ මාතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

ලක්ෂ්මන් යාපාගෙන් මාධ්‍යවේදීන්ට පැකේජයක්

එහි දී මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ඇමැති ලක්ෂ්මන් යාපාට කීවේ “ ඇමතිතුමත් උකුස්සා වගේ තමයි ගොදුරක් දැක්කොත් ඩැහැගන්නවා. හැබැයි එයා ගිලින්නේ නෑ. ඔක්කෝම මාතරට තමයි ගෙනත් දෙන්නේ“ කියාය. එවිට ඇමැති ලක්ෂ්මන් යාපා කීවේ “මාතරට මොනවා හරි ගෙනාවා කියන්නේ මගේ හිතයි, බඩයි දෙකම පිරුණ වගේ තමයි“ කියාය. ඒ අතරතුර තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපාගෙන් විද්‍යුත් මාධ්‍යවේදීහු විශේෂ ඉල්ලීමක් කෙළේය. ඒ ඔවුන්ට ගැටලුවක්ව ඇති පටිගත කරන ලද දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානවලට යැවීමේ දී විශාල මුදලක් වැය වීමයි.

ඒ සඳහා විසඳුමක් ලෙස මාධ්‍යවේදීන්ට ඩේටා සහන පැකේජයක් ලබාදෙන ලෙස මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරාට දන්වා තිබිණි. එවැනි සහන පැකේජයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක අනුමැතිය අවශ්‍ය බවත් ඒ සඳහා කාලයක් වැය වන බවත් මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇමතිවරයාට පැවසීය. “හරි මම ඒවා ගැන බලා ගන්නම්. ඔයා අවශ්‍ය කටයුතු සුදානම් කරන්න“ “යැයි ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව මාතර පැවැති මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව එදින පැමිණි සිටි සියලුම මාධ්‍යවේදීන්ට ඩේටා සහන පැකේජ ලබාදීම ඇමැති ලක්ෂ්මන් යාපා අතින් සිදු විය. රුපියල් දහසක් වටිනා සිම්පත එදින පැමිණි සිටි මාධ්‍යවේදීන්ට නොමිලේ ලබාදුන්නේය.

අනතුරුව ලක්ෂ්මන් යාපා රාජ්‍ය ඇමැතිවරයා පැමිණ සිටි මධ්‍ය වේදීන්ට කීවේ “ ඔයාලාගේ ඉල්ලීම අන්තිම මොහොතේ හරි ඉටු කළා. මොබිටෙල් ප්‍රධාන විධායක නලින් පෙරේරාට ස්තූතිවන්ත විය යුතුයි. ඔහු විශාල කාර්යක් ඉටු කළා. මේ වගේ නිලධාරීන් හැමතැනම ඉන්නවා නම් රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑම පහසුයි“ කියාය.

ඇමැති ප්‍රසන්න තාත්තාගේ ඔරලෝසුව දාගෙන ඇවිත්

ඇමැති ප්‍රසන්න රණතුංග පසුගිය බදාදා සිය මැතිවරණ ඡායාරූප ගන්නට ගියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ප්‍රසන්න හෙන්නායක ළඟටය. ප්‍රසන්නගේ පියා වන රෙජීගේත් මැතිවරණවලට පින්තූර ගත්තේ හෙන්නායකගෙනි.

ඡායාරූප ගැනීමට පෙර කතා කරමින් සිටිය දී ප්‍රසන්නගේ අතේ තිබු ඔරලෝසුව දුටු හෙන්නායක ඇසුවේ “ආ ඔය වගේ ඔරලෝසුවක් තාත්තාටත් තිබුණා නේද“ කියාය.

“ඔව්... මේක තාත්තාගේ ඔරලෝසුව තමයි අයියේ“ ප්‍රසන්න කීවේය. “තාත්තා අන්තිමට මෙයාට කතා කරලා තියෙන්නේත් ඔය ඔරලෝසුව නිසානේ“ ප්‍රසන්නගේ බිරිය මොරීන් කීවාය. “ඒ මොකක්ද ඒ කතාව“ හෙන්නායක ඇසුවේය. “නෑ අයියේ තාත්තා මේ ඔරලෝසුවට හරි ආසයි. දවසක් මම මැලේසියා යද්දි තාත්තා මට මේ ඔරලෝසුව දුන්නා සර්විස් කරන් එන්න කියලා “ ප්‍රසන්න කීවේය.

“ඉතිං ඉතිං. හෙන්නායක ඇසුවේ ප්‍රසන්නව තවත් උනන්දු කරමිනි.

“මැලේසියාවේ දී මේ ඔරලෝසුව සර්විස් කරන්න හෙණ ගානාක් ඉල්ලුවා. පස්සේ මම ඕක තාත්තාට කියන්න තමයි කතා කළේ. එතකොට තාත්තා ඉස්පිරිතාලේ. තාත්තා කිවුවා ඔරලෝසුව ආපහු ගේන්න කියලා“ප්‍රසන්න කීවේය. “ හැබැයි තාත්තා මට තව දෙයක් කිව්වා. ඉක්මනට ඇවිත් මේ මිනිස්සු ගැන බලන්න. මොකද ඒ අය අපි ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ කියලා “ඒක තමයි තාත්තා මා එක්ක කරපු අන්තිම කතාව“ ප්‍රසන්න කීවේය.

“මම මේ ඔරලෝසුව බඳින්නේ ඉතාම විශේෂ අවස්ථාවක. මම හොඳ වැඩක් කරන්න පටන් ගන්න හැම වේලාවකම මම බඳින්නේ තාත්තාගේ ඔරලෝසුව. තාත්තා මා එක්ක ඉන්නවා වගේ හැඟීමක් මට එතකොට තියෙනවා “ ප්‍රසන්න කීවේ හැඟීම්බරවය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උකුස්සා කතාව ද පසුගිය සතියේ දේශපාලන ලෝකය කලඹන්නට සමත් විය. මේ ගැන ප්‍රසන්න කට ඇරියේ මහර සහන් ප්‍රදීප්ගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේ දී ය. ඒ පසුගිය බ්‍රහස්පතින්දාය.

“මෛත්‍රීපාල කියලා තියෙනවා එයා දියකාවගේ කටේ තිබුණ මාළුවා ඩැහැ ගන්න උකුස්සා වගේ කියලා.“ මෛත්‍රීපාල ඔය වැඩේ තමයි 2015 දීත් කළේ. මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය උදුර ගත්තා.“ප්‍රසන්න කීවේය. 

කරූගේ සරල සමුගැනීම

මාර්තු දෙවැනි දින මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව පසුදින උදෑසනම සිය කාර්යාලය වෙත පැමිණි හිටපු කථානායකවරයා තමා වෙත පාර්ලිමේන්තුවෙන් ලබා දී තිබූ නිල රථය ආරක්ෂක අංශයේ ජිප්රථය ඇතුළු සියලුම වාහන හා උපකරණ පාර්ලිමේන්තුව වෙත භාර දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඒ ඒ අංශ වෙත ගොස් කාර්ය මණ්ඩලයට සමු දුන්නේය.

සිය සේවා කාලය තුළ පාර්ලිමේන්තුවේ කථානායකවරයකු මුහුණ දුන් පෙර නොවූ විරූ අන්දමේ දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වුව ද ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට එක් කණ්ඩායමක් ලෙස තමාට සහාය වීම පිළිබඳ හෙතෙම කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ස්තූති කළේය.

“සර් නිසා පාර්ලිමේන්තුව බැබළුණා. ඔබ වැනි කථානායකවරයෙක් සමඟ කටයුතු කිරීමට ලැබීම අපට ගෞරවයක්. මී ළඟ කථානායකතුමාගෙනුත් ඔබ තුළ තිබූ උතුම් ගුණාංග අප බලාපොරොත්තු වෙනවා” යැයි කාර්ය මණ්ඩල සාමාජිකයෝ කරු ජයසූරිය මහතාට සමුදෙමින් පැවසූහ.

මේ අතර රනිල් සජිත් පාර්ශ්වයන්හි ප්‍රකට කීප දෙනෙක්කම පැමිණ ඔහු හමු වූහ. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයට මැදහත් වී සමනය කරන්න යැයි ඉල්ලා සිටි එම පාර්ශ්ව‍ එහි දී කරු ජයසුරිය මහතාට විවිධ වගකීම් භාර ගන්නා ලෙස ද ඉල්ලීම් කළේය. නමුත් හිටපු කථානායකවරයා පැවසුවේ මුල සිට සමඟියේ වැදගත්කම පිළිබඳ පක්ෂයට පැහැදිලි කර දුන් නමුත් සමඟි මාවත වෙනුවට දෙපාර්ශ්වයම පෞද්ගලික න්‍යාය පත්‍ර සහිතව ආවේගශීලිව කටයුතු කිරීමෙන් පක්ෂය පත්ව ඇති තත්ත්වය ගැන තමා කනගාටු වන බවත් අවසන් මොහොතේ ද තමා එම ඉල්ලීම කිරිමට සුදානම් නමුත් දෙකට බෙදී මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් කිසිදු පාර්ශ්වයකට සිය සහාය නොලැබෙනු ඇති බවය.

Comments