
පසුගිය සතිය ආරම්භයේදී මුළු ලෝකයේම ජනමාධ්‍යවල ඉන්දියාව සම්බන්ධව පුවත් පළ වී තිබෙනු දැක ගත හැකි විය. ඊට හේතුව වූයේ අමෙරිකා ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමයි. දැන් සතිය ගෙවී යන විටද ඉන්දියාව සම්බන්ධයෙන් පුවත් වැඩි වැඩියෙන් පළ වනු දැක ගත හැකිවී තිබේ. ඊට හේතුව ට්‍රම්ප්ගේ සංචාරයත් සමගම ඉන්දියාවේ ආගම්වාදී ගැටලු උග්‍ර වීමෙන් අතිශය කණගාටුදායක වාතාවරණයක් උද්ගත වීමයි.
ඉන්දියාව යනු ජාති ආගම් රැසක ජනතාව සංහිදියාවෙන් යුතුව ජීවත් වන විශාල භූමි ප්‍රමාණයකින් මෙන්ම විශාල ජනගහනයකින්ද යුක්ත වූ දේශයකි. මෙතරම් වාර්ගික, ආගමික විවිධත්වයක් ඇති අන් රටක් ලොව නොමැති තරම්ය. ඉන්දියාව සැබවින්ම ඉතා සියුම්ව තත් සුසර කළ සංගීත භාණ්ඩයකට සම කළ හැකිය. මේ තත් ඉතා තදින් ඇදී ඇති බැවින් නැගෙන හඬ ඉතා මිහිරිය. සංවේදීය. එහෙත් එක තතක් හෝ අනවශ්‍ය ලෙස පිරිමදින්නේ නම් තත බිඳී ගොස් අවුල් ජාලාවක් ඇති විය හැකිය. සමබරතාව බිඳී යා හැකිය. ඉන්දියාවද එසේමය. එහි ජාති ආගම් අතර එකමුතුව, අනොන්‍ය බැඳියාව ඉතා සියුම්ය. ඒත් එක් සරල හැරවුමකින් ඒ සියුම් බැඳියාව බිදී ගොස් අර්බුද රැසක් ඇති විය හැකිය. දැන් ඉන්දියාවේ සිදුවෙමින් පවතින්නේද එයමය.
ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම් ඇති වූයේ මෑතකදී නොවේය. එහි අතීතය නිදහස් ඉන්දියාව දක්වාම ඈතට දිව යන්නකි. සමහර විට එහි මුල් ඊටත් ඈත අතීතය දක්වා විහිදී යන්නේය. මේ ආගමික ගැටුම් දඩමීමා කර ගනිමින් දේශපාලන වාසි ලැබූවන්ගේ අතීතයක්ද ඉන්දීය ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙන්නේය. ඒ රන් අකුරුවලින් වැසී ගොස් ඇති ලේ පැල්ලම් ද හොඳින් බැලූ විට දැකිය හැකිය. මේ වන විට ඉන්දියාවේ සිදුවෙමින් පවතින්නේද එවැනි ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීමක් යැයි සඳහන් කළද වරදක් නැත.
අගමැදි මෝදි දෙවැනි ධූර කාලය සඳහා ජනවරම ලබා ගන්නේ මුස්ලිම් විරෝධය ඉස්මතු කරමිනි. දෙවැනි වර බලයට පැමිණීමෙන් පසු අගමැතිවරයා මුස්ලිම් ජනතාව පීඩනයට පත්වන සහ හින්දුන් අතර ජනප්‍රියත්වයට පත් වන අන්දමේ තීරණ කිහිපයක් ක්‍රියාත්මක කළේය. ජම්මු කාශ්මීර් වෙන් කිරීම සහ පුරවැසි පණත ඒ අතර ප්‍රධාන වේ. මේ හේතුවෙන් හින්දු සහ මුස්ලිම් ජාතීන් අතර කිසියම් නොසන්සුන්කමක් වර්ධනය වෙමින් පැවති අතර කිනම් හෝ මොහොතක පුපුරා යා හැකි පීඩනයක් ඒ තුළ විය. අමෙරිකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සිදුවන්නේ ඒ අතරය. කෙසේ වුවද අහමදාබාද්හි පවත්වන්නට යෙදුණු මහා ජනහමුවේදීද රැස්ව සිටි ජනයා ඇමතූ නමුත් නව පුරවැසි නීති යනාදී විවාදයට බඳුන්ව ඇති කිසිවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට අමෙරිකා ජනාධිපතිවරයා කටයුතු කළේය. එහෙත් ඒ වන විටත් දිල්ලියේ හින්දු මුස්ලිම් ගැටුම් පැතිර යමින් තිබිණි.
මේ ගැටුම්වලින් සිකුරාදා වන විට මියගොස් තිබූ සංඛ්‍යාව 38ක් ලෙස සඳහන් විය. තුවාළ ලබා ඇති සංඛ්‍යාව සිය ගණනකි. ගැටුම් දිල්ලියෙන් ඔබ්බටද පැතිරෙනු ඇතැයි බිය පළ වී තිබේ. ආරම්භයේදී මේ ගැටුම් නව පනතට පක්ෂ සහ විපක්ෂ දෙපිරිස අතර විරෝධතා ලෙසින් ඇරඹි අතර පසුව එය ගැටුම් දක්වා වර්ධනය වී තිබේ. තත්ත්වය පාලනය කළ බවට අගමැතිවරයා ට්වීටර් පණිවිඩ නිකුත් කර තිබුණද දිල්ලි මහ ඇමති කෙජ්රිවාල් පවසා තිබුණේ තත්ත්වය බියජනක බවත් පාලනය කිරීමට හමුදාව කැඳවිය යුතු වන බවත්ය.
ගැටුම් මර්දනය කිරීමට රජය සහ පොලීසිය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු එස්. මුරලිධර් දැඩි විවේචන එල්ල කර තිබූ අතර පසුදාම ඔහු වෙනත් උසාවියකට මාරු කර යැවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ගැටුම්වලින් තුවාළ ලබා හෝ පීඩාවට පත්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛන අනුව හින්දු සහ මුස්ලිම් දෙපිරිසටම එකසේ හානි පැමිණ තිබේ. මේ අතරින් ඇතැම් දෙනාගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත අහිමි වී ඇති අතර බරපතල තුවාළ ලැබූවන්ද වේ. කඩ සාප්පු, රථ වාහන රාශියක් ගිනි තබා ඇති අතර ඒ හේතුවෙන් දේපළ අහිමි වූවන් සහ රැකියා අහිමි වූවන්ද ඉදිරියට තවත් සමාජ ගැටලු මතු කිරීමට නියමිතය.
මහතීර් යන්න යයි
මැලේසියාවේ අගමැති ධූරය හොබවමින් සිටි මහතීර් මොහොමඩ් පසුගියදා ස්වකීය ධූරයෙන් ඉල්ලා අස් විය. මැලේසියාවේ පාලක පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් මෙලෙස අගමැතිවරයා ඉල්ලා අස්වී ඇතැයි විශ්වාස කෙරේ.
අගමැතිවරයා ඉල්ලා අස් වූ පසු ඔහු වැඩබලන අගමැති ලෙස පත්වී තිබේ. එමෙන්ම ඔහු යම් හෙයකින් යළිත් අගමැති ධූරයේ වැඩ බාර ගන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ විශ්වාසය ලබා ගත යුතු වන බවද ප්‍රකාශ වේ. මහතීර් මොහොමඩ් මැලේසියාවේ සිව්වැනි අගමැතිවරයා ලෙස 1981 සිට 2003 දක්වා කටයුතු කළ අතර එරට සාර්ථකම පාලකයා ලෙසින්ද විරුදාවලි ලබා තිබේ.
කෙසේ වුවද මැලේසියාවේ රජු සුල්තාන් අහමඩ් ෂා පවසා ඇත්තේ මහතීර් යළිත් අගමැති ලෙස කටයුතු කරන්නේ නම් විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ ජයග්‍රහණය කර පෙන්වීම වඩා වැදගත් වනු ඇති බවයි.
මේ වන විට මහතීර් මොහොමඩ් ගෙවමින් සිටින්නේ ස්වකීය ජීවිතයේ 94වැනි සැතපුම් කණුවයි.
හොස්නි මුබාරක් සමුගනියි
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් පසුගිය 25වැනිදා ස්වකීය දිවිගමන අවසන් කළේය. ඒ සමගින් කලක් අරාබි ලෝකය කැළඹූ අවසාන බලවන්තයාද මෙලොවින් සමුගත්තේය. මහතීර් සේම මුබාරක්ද බලයට පැමිණෙන්නේ 1981දීය. එවකට ඊජිප්තු ගුවන් හමුදාවේ නිලධාරියකු වූ මුබාරක් දේශපාලනයට පිවිසි පසු ඉතා විශාල සාර්ථකත්වයක් අත් කර ගත්තේය. මුබාරක් ඊජිප්තුව බාර ගන්නා විට ජනාධිපතිවරුන් තිදෙනෙකු ඊට පෙර ඊජිප්තුව පාලනය කර තිබිණි. එහෙත් ඔහු බලයට පැමිණි පසු 2011 බලයෙන් පහ කර දමන තුරුම වෙනත් කිසිවකුට හෝ ඊජිප්තුවේ නායකත්වයට පත්වීමට ඔහුගෙන් ඉඩ ලැබුණේ නැත. ඔහුට සමාගාමීව අසල්වැසි රටවල් කිහිපයකම දීර්ඝ කාලීන පාලකයන් වූ අතර ලිබියාවේ ගඩාෆිද ඒ අතර විය. ගඩාෆි මූලික ඉලක්කය බවට පත් කර ගනිමින් අමෙරිකාවේ සහයද සමග 2011 දී ක්‍රියාත්මක වූ ආරාබි වසන්තයෙන් ගැලවීමට මුබාරක්ටද හැකියාව ලැබුණේ නැත. ගඩාෆිට තම රට පමණක් නොව ජීවිතයද අහිමි වූ අතර මුබාරක්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු නොවූයේ ඔහුගෙන් එතරම් තර්ජනයක් බටහිරට එල්ල නොවූ නිසාම විය හැකිය. ඒ වෙනුවට ස්වකීය පාලන කාලයේදී සිදු කරන ලද වංචා සහ දූෂණ සම්බන්ධයෙන් උසාවිය හමුවේ පෙනී සිටීමට මුබාරක්ට සිදු විය. පසුව මුබාරක් රෝහල්ගත වූ අතර ඔහුගේ පුතුන් අධිකරණය මගින් නිදහස් කරණු ලැබූහ.