
අදින් දශකයකට ඉහතදී ඉතියෝපියාව යනු සාගතයෙන් කණාටු වුණු මිනිසුන් වෙසෙන කණගාටුදායක දේශයකි. ඔවුන්ට බීමට පිරිසිදු පානීය ජලය නොවීය. ප්‍රමාණවත් ආහාර නොවීය. දහස් ගණන් ජනතාව ආහාර පමණක්ම පතමින් අසල්වැසි රටවලට දේශසීමා තරණය කරමින් ගමන් කරන්නට වූයෙන් අසල්වාසීන්ටද ඉතියෝපියාව හිරිහැරයක්ම විය. අඳුරු අප්‍රිකා මහාද්වීපයේ ශෝකබරිත රටවල් අතර ඉතියෝපියාවද ඉදිරියෙන්ම විය.
එතැන් සිට වසර කිහිපයක් ගෙවී ගියේය. ඉතියෝපියාවට ආදරය කරන මිනිසුන් එරට පාලනයට එක්වූහ. දැන් ඉතියෝපියාව තවදුරටත් සාගතයෙන් පීඩිත දේශය නොවේ. ඒ වෙනුවට ඉතියෝපියාව යුරෝපා රටවලටද අභියෝගයක්වන තරමට ශක්තිමත්ව ඉදිරියට එමින් සිටින්නේය. පසුගියදා ඉතියෝපියාව එරට ප්‍රථම කසළ බලශක්ති බලාගාරය විවෘත කිරීමට සමත් විය.
මේ වන විට ලොව හොඳම බලශක්ති උත්පාදන මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ කසළය. ඊට හේතු කිහිපයකි. කසළ කළමනාකරණය බොහෝ රටවලට ගැටලුවක්ව ඇති අතර කසළ කඳු අමතර පාරිසරික ගැටලු රාශියක්ද ඇති කරමින් සිටී. බලශක්ති උත්පාදනයට යොදා ගන්නා බොහෝ මූලාශ්‍ර මගින් සිදුවන පාරිසරික හානිය අතිමහත්ය. ඒ අතරින් බහුතරය ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට සමත්ය. එහෙත් කසළ මේ සියල්ලට පිළිතුරු සැපයීමට සමත්ය.
ඉතියෝපියාව යනු වසර ගණනාවක් තිස්සේ කසළ හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දුන් රටකි. එරට වසර පනහක් තිස්සේ රටපුරා, විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ ආශ්‍රිතව එකතු වන කසළ බැහැර කර ඇත්තේ අඩිස් අබාබා අගනුවර කසළ ගොඩකටය. මේ කසළ ගොඩ කඳු ගැසී කොතරම් විශාලව වර්ධනය වී ඇත්තේද යත් එය පාපන්දු පිටි 36ක් තරම් විශාල බව තහවුරු වී තිබේ. මේ හේතුවෙන් ඉතියෝපියාව මුහුණ දී ඇති ප්‍රශ්නද එතරම්ම විශාලය. ඒ සඳහා හොඳම උදාහරණය 2017 වසරේදී මේ කසළ කන්ද ආශ්‍රිතව සිදුවූ මරණ 114යි. එම වසරේ මාර්තු මස 12 වැනි දින හදිසියේ මේ මහා කුණු කන්දෙන් අති විශාල ප්‍රදේශයක් නාය යෑමකට ගොදුරු විය. එහි අතුරු ප්‍රතිඵලය වූයේ කසළ කන්දට පහළින් වූ නිවාසවල ජිවත් වු මිනිසුන් 114කට ජීවිත අහිමි වීමය. මේ සිදුවීම කසළ කන්ද සම්බන්ධව අලුතෙන් සිතීමට ඉතියෝපියානු බලධාරීන් පෙළඹවීය. එමෙන්ම එලෙස සිතා වැඩකිරීමට සමත්කම් සහිත නායකයන් පිරිසක් ඒ වන විට ඉතියෝපියාව සතු විය.
කසළ බලශක්තිය බවට පත් කරන යුරෝපා රටවල් කිහිපයක්ම වේ. ඉතියෝපියාව ඔවුන්ගේ තාක්ෂණ සහාය ලබා ගත් අතර ඒ සඳහා ඔවුන්ට මූලධනය සහ උපදෙස් සැපයීමට සිංගප්පූරුවේ කේම්බ්‍රිජ් ඉන්ඩස්ට්‍රීස් සමාගම, චීන ජාතික ඉලෙක්ට්‍රික් ඉංජිනේරු සමාගම සහ ඩෙන්මාර්ක ඉංජිනේරු සමාගම ඉදිරිපත් වී තිබේ. ඒ අනුව කසළ කන්ද ආශ්‍රිතව බලශක්ති උත්පාදන යන්ත්රාගාරය ස්ථාපිත කර තිබේ.
මේ යන්ත්‍රාගාරයේදී ප්‍රථමයෙන්ම සිදුවන්නේ කසළ දහනය කිරීමය. එම දහනය මගින් උත්පාදනය වන තාපය ජලය රත් කිරීමට යොදා ගැනේ. එම රත්වන ජලයෙන් උත්පාදනය වන හුමාලය බලශක්ති උත්පාදන ටර්බයිනයක් කරකැවීමට යොදා ගන්නා අතර එම ටර්බයිනය මගින් විදුලි බලය උත්පාදනය කෙරේ. මේ සඳහා දිනකට වැය වන කසළ ප්‍රමාණය ටොන් 1400ක් ලෙස ගණන් බලා තිබේ. එමෙන්ම මේ බලාගාරය මගින් සමස්ත ඉතියෝපියානු ජනගහණයේ විදුලි අවශ්‍යතාවෙන් සියයට 30ක් සම්පූර්ණ කිරීමට සමත්ය. එපමණක්ද නොව වසරකට එකතුවන කසළ ප්‍රමාණයෙන් සියයට 80ක් මෙමගින් උපරිම ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමටද හැකිවන බැවින් කසළ කළමනාකරණයේ සහ බැහැර කිරීමේ ගැටලුවලටද ඉතියෝපියාව මේ සමග විසඳුම් සොයාගෙන තිබේ. කසළ බලශක්තිය යනු දැනට පෘථිවිය මුහුණ පාමින් තිබෙන ගැටලු රැසකට පිළිතුරකි. කසළ බලශක්තියට යෙදවීම මගින් අක්‍රමවත්ව බැහැර කරන කසළ හේතුවෙන් අභ්‍යන්තර ජල ධාරාවන් දක්වා වන ජල දූශණයද වළක්වාගත හැකිය. සාගරයට කසළ බැහැර කිරීමෙන් සිදුවන විනාශයද වළක්වා ගත හැකිය. ඒ අනුව ඉතියෝපියාව මේ ආරම්භ කර ඇත්තේ ලොව සියලු රටවල් විසින් අනුගමනය කළ යුතු ඉතා යහපත් බලශක්ති උත්පාදන වැඩපිළිවෙලකි. දැනට මේ බලශක්ති ක්‍රමවේදය යුරෝපා රටවල් කිහිපයක් විසින් යොදා ගනිමින් තිබේ. ප්‍රංසය ඒ අතරින් ඉදිරියෙන් සිටින අතර ප්‍රංසය පුරා දැනට පිහිටුවා ඇති කසළ බලශක්ති උත්පාදන බලාගාර සංඛ්‍යාව 126කි. ජර්මනියද බලාගාර 121ක් මේ වන විට ඉදිකර තිබේ.
ගැටලු රැසකින් බොහෝ කලක් පීඩා විඳි රටක් ලෙස ඉතියෝපියාව මේ වන විට අත්කරගෙන ඇති ජයග්‍රහණ රාශියකි. එය මිනිසුන් ලෙස අප සැමගේ ඇගයීමට ලක් විය යුතුවන්නේ ඔවුන් බොහෝ දුක් විඳි ජනතාවක් බැවිනි.
ඉතියෝපියාවේ අනාගතය කසළ කළමනාකරණය ඔස්සේ පමණක් නොව දේශපාලන සහ ආර්ථීක ස්ථාවරතාව ඔස්සේද වඩා ප්‍රගතියක් අත් කරගෙන ඇති බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් ඉතියෝපියාවේ වර්තමාන අගමැති අබී අහ්මඩ් ඇතුළු දේශයට ආදරය කරන පාලකයන්ට ප්‍රශංසාව හිමි විය යුතුමය.