තම රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්නව තැබීම අරමුණු කර ගනිමින් නේපාලය අලුත්ම නීතියක් පනවා තිබේ. එනම් සෑම පාසලකම යෝග අභ්‍යාස සඳහා කාලයක් වෙන් කිරීම අනිවාර්ය කිරීමයි. නේපාල අධ්‍යාපන අමාත්‍යංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය එක්ව පාසල් අධ්‍යාපනයට යෝග එක් කිරීමේ වැඩපිළිවෙල සකස් කර තිබේ.
එමෙන්ම යෝග විෂය ඉංග්‍රීසි සහ ගණිතය වැනි පාසල් විෂයන් මෙන් අනිවාර්ය විෂයක් ලෙසින්ද ප්‍රකාශ කර තිබේ. යෝග විෂය සඳහා සිසුන්ට ලකුණු දීමටද නියමිතය. යෝග විෂය සඳහා ගුරුවරුන් බඳවා ගැනීම කෙරෙහිද නේපාල අධ්‍යාපන බලධාරීන් අවධානය යොමු කර ඇති අතර ඉදිරියේදී යෝග විෂය විශේෂ කොට අධ්‍යාපනය ලැබීමට සිසුන් පෙළඹවීමට සහ අවස්ථාව ලබා දීමටද යෝග විෂයට අදාළව ඩිප්ලෝමාවක් දක්වා ඉහළට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සලසා දී එමගින් රැකියා අවස්ථා බිහි කිරීම දක්වාද නේපාල අධ්‍යාපන බලධාරීන් අවධානය යොමු කර තිබේ.
උසස් අධ්‍යාපනයේදී යෝග, ආයුර්වේද හෝ ස්වභාවික ඖෂධ යන ක්ෂේත්‍ර අතරින් තමන් කැමති ක්ෂේත්‍රය තෝරා ගැනීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ. මේ අංශ කෙරෙහි පෙරදිග මෙන්ම බටහිරද වඩා වැඩි අවධානයක් යොමු වෙමින් පවතී. සංචාරක ක්ෂේත්‍රය ගත් කළ මෙවැනි විෂයන් කෙරෙහි විධිමත් අධ්‍යාපනය ලැබූවන්ගේ රැකියා අවස්ථා රැසක් පවතින බව නේපාල අධ්‍යාපන බලධාරීන්ගේ මතයයි.
යෝග අධ්‍යාපන අනිවාර්ය කිරීම මගින් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම පමණක් නොව ඉදිරියේදී රැකියා අවස්ථා උත්පාදනය, විදේශ විනිමය ඉපයීම ඇතුළු අරමුණු රැසක් සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි බව දුර දිග දක්නා නුවණින් යුක්ත නේපාල අධ්‍යාපන බලධාරීන් පෙන්වා දී තිබේ.