
අනාගත ලෝකයේ බලවතා ආසියාව බවට මත ප්‍රකාශ වූයේ අදින් වසර ගණනාවකට එපිටදීය. මේ වන විට එදා පළ වූ මත සැබෑවෙමින් තිබේ. ආසියාවට ඉතා විශාල වශයෙන් ලෝක අවධානය යොමු වෙමින් තිබෙන අතර ආසියාව මත ලෝකයේ අනාගත බලය තුලනය වන බවට සාක්ෂි සනාථ වෙමින් තිබේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවේ සංචාරය කරන්නේ මෙවැනි වටාපිටාවක් යටතේය. ඉන්දියාව යනු දකුණු ආසියාවේ බලවතාය. සමස්ත ආසියාව ගත් කළ ඉන්දියාව දෙවැනි වන්නේ චීනයට පමණකි. අමතරව සමස්ත ලෝකය සලකා බැලූ විටද ඉන්දියාව බලවත් රටක් බවට විවාදයක් නැත.
ආසියාවේ බලය වෙනුවෙන් චීනය සහ ඉන්දියාව අතර සීතල අරගලයක් පැවතියේ අනාදිමත් කාලයක සිටය. එහිදී ඉන්දියාවේ අසමාන සහායකයා වූයේ අමෙරිකාවයි. චීනයට හිතවාදී රටවල් උපක්රමශීලීව තමන් වෙත දිනා ගැනීම වෙනුවෙන්ද අමෙරිකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කළ බව නොරහසකි. ඒ අනුව අමෙරිකාව සහ ඉන්දියාව යනු එක් මතයක සිට කටයුතු කරන සහෝදර බැඳීමකින් යුතු රටවල් ලෙස හඳුනා ගත හැකිය. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණෙන්නේ මෙවැනි බැඳීමකින් යුතු ඉන්දියාවටය.
ඒ අනුව හෙට සහ අනිද්දා දිනවල එනම් පෙබරවාරි 24 -25 දිනවල අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. මේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රථම ඉන්දීය සංචාරය වේ. මේ වන විටත් මෝදි අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දියාව ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ ආර්යාව ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට සූදානමින් සිටිති.
දැනට ලැබෙන වාර්තා අනුව 24වැනි දින මධ්‍යහ්නයේදී ජනාධිපතිවරයා රැගත් අමෙරිකානු එයාර් ෆෝස් වන් ගුවන් යානය අහමදාබාද් වෙත පැමිණීමට නියමිතය. එහිදී මෝදි අග්‍රමාත්‍යවරයා ගුවන් තොටුපොළට පැමිණ අමෙරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව පිළිගැනීමට නියමිතය. ඉන්පසු ඔවුන් කැඳවාගෙන යෑමට නියමිතව ඇත්තේ ගාන්ධි ආශ්රමයටය. එහිදී ගාන්ධිතුමාගේ සංඛේතය වැනි වූ රෙදි වියන චක්‍රයක් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පිළිගැන්වීමටද නියමිතය. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ විශේෂතම අංගයද එදින පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙනු ඇත්තේ අහමාදාබද්හි සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයේදීය. සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින්ද නම් දරා තිබේ. මෙහිදී ජනාධිපතිවරයා විසින් එහි රැස්ව සිටින 125000ක් පමණ ඉන්දියානුවන් ඇමතීමට නියමිතය. මේ අංගය නම් කර ඇත්තේ ‘නමස්තේ ට්‍රම්ප්‘ ලෙසිනි.
මේ සියල්ල අමෙරිකාව විසින් ලොව පුරා තම ‘හොඳ නම‘ පතුරුවා හැරීමේ ක්‍රමවේද ලෙසින්ද හඳුනාගත හැකිය. කෙසේවුවද ඉන්දියාව සමග හොඳ හිත පවත්වා ගැනීම අමෙරිකාවට ශක්තියක්ම වනු ඇත. එමගින් අනාගත ලෝක බල කේන්ද්‍රයේ තම හිතවතකු සිටින බවට විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමටද අමෙරිකාවට හැකියාව ලැබෙනු ඇත.
සෞදි අරාබිය වැලන්ටයින් සමරයි
ආදරය හෝ ප්‍රේමය කෙසේවුවද රාගයට ප්‍රසිද්ධිය ලබා දීම සෞදි අරාබියේදී දඬුවම් ලැබිය යුතු වරදකි. ඒ අනුව ආදරවන්තයන්ගේ දිනය නැතහොත් වැලන්ටයින් දිනය වැනි දින සැමරුම් මේ දක්වා සෞදි අරාබියේ දක්නට ලැබුණේ නැත. එහෙත් සංස්කෘතිකමය වෙනසකට මුලපුරමින් මෙවර වැලන්ටයින් දිනය සැමරීමට සෞදි අරාබි රජය එරට ජනතාවට අවසර ලබා දුන්නේය. පසුගිය පෙබරවාරි 14වැනිදාට පෙර සිටම රෝස මල් සහ චොකලට් සෞදියේ කඩසාප්පුවල විකිණීමට තිබෙනු දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එපමණක්ද නොව පෙබරවාරි 14වැනි දින බොහෝ තරුණයන් රෝස මල් මිලදී ගත් බවටද වාර්තා විය.
ආදරවන්තයන්ගේ දිනය සැමරීම සෞදියේ ඉස්ලාම් නීතිය අනුව තහනම් වූ බැවින් මීට පෙර සාමාන්‍ය මල් අලෙවිසැල්වල හිමිකරුවෝ පෙබරවාරි 14 වන විට තම කඩසාප්පුවල අලෙවියට තබා තිබූ මල් සැඟවීමට කටයුතු කළහ. එහෙත් මෙවර ඔවුන්ට ආදරවන්තයන් වෙනුවෙන් නීත්‍යනුකූලව මල් අලෙවි කිරීමේ අවස්ථාව හිමි විය.
සැබැවින්ම සෞදිය මේ ගමන් ගනිමින් සිටින්නේ රැඩිකල් මාවතකය. මේ වෙනස්කම් මෑතකදී ඇතිවූ වෙනස්කම් ලෙස දැකීම දෝෂ සහගතය. සෞදිය මේ දකිමින් සිටින්නේ අනාගතයයි. ඔවුන්ගේ වෙනස්කම් අනාගතය වෙනුවෙනි.
සෞදි අරාබිය ලොව ධනවත්ම රටවල් අතරින් එකක් වූයේ තෙල් නිධි පැවතීම හේතුවෙනි. ඛණිජ තෙල් මත මුළු ලෝකයම දෝලනය වූ අවදියේ සෞදිය ලෝක සිතියමේ ඉතා බලවත් රටක් විය. ලෝකයේ බොහෝ රටවල ඉරණම තීරණය කිරීමේ හැකියාවක්ද සෞදිය සතු වූ අතර අමෙරිකාවේ හිතවත්ම රටක් ලෙසින්ද සෞදිය ප්‍රකට විය. එහෙත් ඛණිජ තෙල්වලට වැඩිකල් පැවැත්මක් නැති බව පැහැදිලිවම දැනගැනීම සෞදිය සතු වූ බලයට රතු කොඩි වැනීමට හේතු විය. ලෝකයේ උසස් තාක්ෂණයක් සහිත බොහෝ රටවල් ඛණිජ තෙල් වෙනුවට විකල්ප බලශක්ති වෙත යොමු වීම ආරම්භ කළහ. විශේෂයෙන්ම ඛණිජ ඉන්ධන දහනය ගෝලීය උණුසුම ඉහළ යෑම ඇතුළු විනාශයන් රැසකට හේතු වන බව පැහැදිලිව ප්‍රකාශ වීම ද සෞදිය ආපස්සට හැරවීමට ප්රබලව හේතු විය.
එහෙත් සෞදියේ සාර්ථකත්වය වූයේ අනාගතය කල් තබා පැහැදිලිව දැකීමට එහි පාලකයන්ට හැකිවීමය. විශේෂයෙන්ම සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුට මෙහි ලා විශේෂ ඇගැයීමක් හිමි විය යුතුය. ඒ අනුව සෞදිය අදින් අවුරුදු පනහක අනාගතයේදී ඛණිජ තෙල් මත නොව වෙනත් විකල්ප සහිත ආර්ථිකයක හිමිකරුවකු විය යුතු යැයි සෞදි පාලන අධිකාරිය තීරණය කරන්නේය. මේ තීරණය සෞදියේ අති විශාල සංස්කෘතික වෙනස්කම් කිරීමට සමත් වූ තීරණ රැසකට ද දොරගුරලු විවර කරන්නේය.
සෞදියේ අනාගත ආර්ථිකය පවත්වා ගත යුතු අංශ අතර සංචාරක කර්මාන්තයද එක් වැදගත් අංශයක් ලෙස සෞදි දේශපාලන අධිකාරිය විසින් හඳුනාගෙන තිබිණි. ඒ අනුව වඩා විවෘත සහ නිදහස් සංස්කෘතියක් සෞදිය තුළ ඇති කිරීමේ වැදගත්කමද ප්‍රකාශයට පත් විය. සෞදි කාන්තාවන්ට වඩා වැඩි නිදහසක් හිමි වන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව මේ වන විට සෞදි කාන්තාවන්ට රිය පැදවීමේ අවසරය හිමි වී තිබේ. දේශපාලනික සහ සමාජයීය වශයෙන්ද තවත් ඉඩ ප්‍රස්ථා ඔවුන් වෙනුවෙන් විවර වී තිබේ. අවම වශයෙන් කාන්තාවන්ට රිය පැදවීමේ හෝ නිදහස නොමැති සංස්කෘතියක් සහිත රටක් තුළ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සිහිනයක් බව සෞදි පාලනාධිකාරිය මනාව වටහා ගත් බව පෙනේ. සෞදිය වැලන්ටයින් සමරන්නේද මෙවැනි වටාපිටාවකය. දැන් සෞදි සංස්කෘතිය බටහිර හා අත්වැල් බැඳගැනීමට සූදානම් බවට සියලු ඉඟි සපයා අවසන්ය. හණමිටිය කර තබාගෙන යනවාට වඩා ආගමික භක්තිය රැක ගන්නා අතරම ආර්ථිකයද ආරක්ෂා කර ගැනීම වඩා නුවණට හුරුය. එවැනි පුළුල් මනසකින් යුතුව කටයුතු කිරීමට සෞදි පාලකයන්ට හැකි වීම සෞදි ජනතාවගේ වාසනාවක් බව කිව හැකිය.