
• වර්තමාන හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාව එරටට පැමිණීම තහනම් කර තිබෙනවා. ඔහුට බොරු චෝදනා එල්ල කර තිබෙනවා. කුමක්ද මෙහි අරමුණ?
ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධයට ගියේ ඔහු වෙනුවෙන් පමණක් නොවෙයි. ඔහුගේ දරුවෝ පවුල වෙනුවෙන් නොවෙයි. මේ රට වෙනුවෙන්. අද මේ රටේ අයට සහ ලෝකයාට මේක අමතකයි. නාසිවාදී ත්‍රස්තවාදය විනාශ කරන්නයි ඔහු කටයුතු කළේ.
යුද අපරාධ ගැන කතා කරන ඇමරිකාවට අමතකයි ඔවුන් යුද්ධ ජයග්‍රහණය කළ අවස්ථාවේ ඔවුන්ට එල්ල වුණු චෝදනා. ලෝක ත්‍රස්තවාදය තුරන් කිරීමට කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන්ට ඇමරිකාව ණය ගැතියි.
ඇමරිකාව අනුන්ට අත දිගු කිරීමට පෙර තමන්ගේ ක්‍රියා කලාපයන් සිතිය යුතුයි. ලෝක ත්රස්තවාදයට උඩ ගෙඩි දීම සඳහා ඇමරිකාව මෙලෙස ක්‍රියා කරනවා. ඔවුන් ලෝකයේ රටවල් රැසකම මානව මානව හිමිකම් විනාශ කරමින් කිසිදු තේරුමක් නොමැතිව අපිට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ.
• එක්සත් ජාතික පක්ෂය ගැටුම් සහගතව අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේද?
ඇත්තටම මේක ගැටලුවක් නොවෙයි. මොකද අප මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හැටියට පමණක් නොවෙයි. අප මහමැතිවරණයට පැමිණෙන්නේ පුළුල් ජාතික සන්ධානයක් හැටියට. එය විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයක් කියන එක මම පැහැදිලිව කියනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් මෙම සන්ධානයට උතුර, නැගෙනහිර, බටහිර ඇතුළු මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ජාතික බලවේග, පක්ෂ, ජනතා නියෝජනයන් මේ සඳහා පෙළ ගැසෙනවා. සමගි ජාතික බලවේගය ලෙස අප දැනට මෙය නම් කර තිබෙනවා.
• හදවත ගැන කතා කරනවා. අලියා පිළිබඳව පවසනවා. තවත් පිරිසක් හංසයා ඕනමයි කියනවා. තරග වදින ඡන්ද ලකුණ කුමක් වේද. ඔබලාට ඡන්ද ලකුණත් ගැටලුවක් වෙලා නේද?
මේක අර්බුදයක් නොවෙයි. පහසුවෙන් විසඳාගත හැකි මත ගැටුමක් විතරයි. අපගේ පුළුල් සන්ධානය පිළිබඳව වැරදි මත දරන්නන්ට අපගේ ලකුණ ගැටලුවක් කරගන්න එපා කියන එක මම අවධාරණය කරනවා.
අනික් ප්‍රධානම කාරණය තමයි ලාංඡනය පිළිබඳව කතා කරන්නට වෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. මැතිවරණය ප්‍රකාශයට පත් කරායින් පසුව අප සුදුසු ලාංඡනය තෝරා ගන්නවා. දැනට හදවත සහ හංසයා ලාංඡන පිළිබඳව අපගේ අවධානය යොමු කරලා තිබෙන්නේ. හංසයා ලාංඡනයෙන් අපි අවස්ථා දෙකකදී තරග කරළා තිබෙනවා. 2015 අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළෙත් හංසයා ලාංඡනයෙන්. එලෙසම ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා තරග කළෙත් හංසයා ලාංඡනයෙන්. මෙයින් තේරුම් ගත යුත්තේ හංසයා ලාංඡනය පිළිබඳව ජනතාවට යම් මතයක් මෙන්ම ජනමතයක් තිබෙන බවයි. මේ නිසා අප මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරනවා.
• වර්තමාන රජය පරාජය කර නව රජයක් පිහිටු වීමට ඔබලාට හැකියැයි දේශපාලන වේදිකාවල නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා. මේ ගැටුම්කාරි අර්බුදකාරී තත්ත්වය තුළ කොහොමද එය සිදු කරන්නේ?
ඕනෑම දේශපාලන ව්‍යාපාරයක පුද්ගලයෙකුගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ දේශපාලන බලය ලබා ගැනීමයි. බලය ලැබෙන්නේ නැත්නම් එම දේශපාලන ව්‍යාපාරයේ නම, ලකුණ, නායකයින්, අතීත පරම්පරාව, එහි නිර්මාතෘවරුන් කිසිවක් වැදගත් වන්නේ නැහැ.
ඉතින් එක්සත් ජාතික පක්ෂයට දැන් දශක දෙකහමාරක ආසන්න කාලයක් තනිවම බලය පිහිටුවා ගන්න බැරි වෙලා තිබෙනවා. මා හිතනවා ඒ පාක්ෂිකයන් අතර දැන් සංවාදයක් ඇති කර ගත යුතුයි. මොකක්ද මේකට හේතුව, මෙය වෙනස් කර ගන්නේ කොහොමද කියන එක. ඒ සඳහා තිබෙන මාර්ගය කුමක්ද? සංවාදයක් ඇති කර ගත යුතුයි.
මා හිතනවා අනෙක් පැත්තෙන් මේ රටේ මහත් වූ ජනමාධ්‍ය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට තමයි ජනතාව මුලා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරණය ජයග්‍රහණය ලැබුවේ. ඒ මුලාවේ දිගුවක් තමයි මේ ඉදිරි මහමැතිවරණයෙන් කරන්න යන්නේ. ජනතාව බලාපොරොත්තු වුණු විදියට ‘සිස්ටම් චෙන්ඡ්’ එක වෙලා නැහැ.
• බැඳුම්කර සිද්ධියට අදාළ අත්අඩංගුවට ගැනීම් හෝ ඒ සම්බන්ධව වර්තමාන රජයේ ක්‍රියා කලාපය පිළිබඳව ඔබගේ අදහස?
බැඳුම්කර මගඩිය සිදු වෙලා තිබෙන්නේ 2008 වසරේ සිට. එය මේ මෑතක හෝ යහපාලන රජයේ පැවැති සමයේ පමණක් සිදු වුණු එකක් නොවෙයි. මේ වන විට වෝහාරික විගණන වාර්තා අනුව මේ පිළිබඳව හෙළිදරව් වෙනවා. අප රජය පැවැති සමයේ අප මෙයට විරුද්ධව ක්‍රියා කළා. මේ නිසා අපි අභියෝග කරනවා මේ රජයට හැකි ඉක්මනින් බැදුම්කර මගඩියට හවුල් සියලුම පාර්ශ්වයන් පිළිබඳව රටට හෙළි කරන්නට කියලා.
• ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂ 69 ක් ලබා ජනාධිපතිවරයා බවට පත්වෙනවා. ඔබ පක්ෂ සහය ලබාදුන් සජිත් ප්‍රේමදාස මහතා අන්ත පරාජයකට ලක් වෙනවා. මේ තත්ත්වය අද වන විට ඔබ දකින්නේ කෙසේද?
අපගේ යහපාලන රජයේ පාලනය පිළිබඳව විවිධාකාර ගැටලු තිබුණා. අප පරාජය වීමට ප්‍රධාන කරුණක් ලෙස මා එය දකිනවා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්තොත් යහපාලන කාලය තුළදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කළ ජනතාවට අසාධාරණයට ලක් වූ පාක්ෂිකයන්ට යුක්තිය ඉටු වූයේ නෑ කියන එක මගේ මතයයි.
පොදුවේ ගත් කළ රජයට 2015 දී දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ලක්ෂ 20 කට ආසන්න ජනතාවක් ඡන්දය ලබා දුන්නා. මෙන්න මේ ජනතාවට අතුල් පහරක් එල්ල කළා. බැඳුම්කර වංචාව ඒ නිසාම එක්සත් ජාතික පක්ෂය මෙන්ම එම සන්ධානයට එක්ව සිටි ලක්ෂ විස්සක පමණ වන ඡන්ද දායකයින් අපගෙන් ඉවත් වුණා. ඔවුන් අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැත්තෙම නතර වුණා. එයට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ දුෂකයන් සමඟ එක් වී දුෂකයන් සමඟ ඩීල් දාගත් අය. ඒ අය අලොසියස්ලාගේ සාක්කුවට වැටුණු කට්ටිය. මෙලෙස සාක්කුවට වැටුණු අය අපගේ පාර්ශ්වයේ විතරක් නොවෙයි. වර්තමාන රජයේ පාර්ශ්වයෙන් සිටිනවා කියන එක මම අවධාරණය කරනවා.
ඒ වගේම මෛත්‍රීපාල ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂයේ දේශපාලනය විතරක් සිදු කරන්නට පටන් ගත්තා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර දිනෙන් දින ගැටුම් උග්‍ර වුණා. මේ හේතුව නිසා ජනතාවට යහපාලන රජය දිනෙන් දින එපා වුණා. අවසාන වශයෙන් සහරාන්ගේ ප්‍රහාරය වළක්වාගැනීමට තිබූ අවස්ථාවක් එයත් බලපෑවා.