
නව කොරෝනා වයිරසය සමග චීනය අති සාර්ථක ලෙස සටන් කරමින් සිටියදී වයිරසය හේතුවෙන් අදහාගත නොහැකි ඉරණමකට මුහුණ දෙමින් සිටින පිරිසක් ගැන ජපානයෙන් වාර්තා වේ. ඒ දැනට යොකොහමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලයයි. ඩයමන්ඩ් ප්‍රින්සස් යනු ලෝකයේ වියදම් අධිකතම නෞකා සංචාරය ලබා දෙන අධි සුඛෝපභෝගී කෘෘස් වර්ගයේ නෟකාවකි. බ්‍රිතාන්‍ය ප්‍රින්සස් නෞකා සමාගමට අයත් එම නෞකාව නව කොරෝනා වයිරසය ගැන ආරම්භක පුවත් චීනයෙන් වාර්තා වන විට මගීන් සහ කාර්ය මණ්ඩලය 3700ක් සමග දක්ෂිණ අර්ධගෝලයේ සංචාරයක නිරත වෙමින් සිටියාය.
දැනට සැක කරන පරිදි නෞකාවට කොරෝනා බෝ කළ රෝගියා සිංගප්පූරු ජාතිකයෙකි. ප්‍රථම වරට මගීන් අතරින් රෝග ලක්ෂණ විද්‍යමාන වන විට නෞකාව ජපානයෙන් පිටත්ව ගමන් අරඹමින් තිබිණි. වහාම නෞකාව යළි යොකොහමා වරාය වෙත යාත්‍රා කරවූ අතර එතැන් සිට මේ දක්වා නෞකාව කොරෝනා භීතියෙන් යුක්තව වරායේ නිරෝධායනයට ලක් වෙමින් තිබේ.
මේ වන විට චීනය හැරුණු විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඩයමන්ඩ් ප්‍රින්සස් නැවෙනි. මේ ලියන මොහොත වන විට රෝගීන් 149ක් වාර්තා වී ඇති අතර රෝගය තවදුරටත් මගීන් අතර පැතිර යමින් තිබේ. ඩොලර් දහස් ගණනින් ගෙවා සුන්දර සංචාරයක් අත්විඳීමේ බලාපොරොත්තුව සහිතව නැවට ගොඩවූ ලොව පුරා රටවල් රැසක මගීන් මේ වන විට දරුණු බලාපොරොත්තු කඩවීමට අමතරව ජීවිතය පිළිබඳ අවිනිශ්චිත බවකටද මුහුණ දෙමින් සිටිති.
කෘෘස් නෞකාවල සංචාරයන් සඳහා ලොව පුරා බිලියනපතියන් මෙන්ම වියපත්ව විශ්‍රාම ජීවිත ගෙවන අයද වැඩි වශයෙන් එක්වෙති. එවැනි පුද්ගලයන් තම ජීවිත කාලය පුරා එක්රැස් කළ මුදල් යොදවා මෙවැනි අත්දැකීමක් ලබා ගනිති. වයිරසය දරුණු ලෙස පැතිර යන නෞකාවේද මෙවැනි වියපත් පුද්ගලයන් සිටින බවට වාර්තා වේ. නිව්මෝනියාව හේතුවෙන් ප්‍රතිශක්තිය අඩුවීමෙන් මරණය සිදුවන නව කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිර යන අවස්ථාවක අංක එකට තර්ජිත කණ්ඩායම් අතරට මෙවැනි වියපත් පුද්ගලයන්ද ඇතුළත් වේ. එබැවින් මේ වන විට ඔවුන් නැව තුළට වී කෙසේ හෝ රෝගය වැළඳීමෙන් වැලකීමට උත්සාහ දරමින් සිටිති.
මේ අතර ප්‍රින්සස් නෞකා සමාගම මේ නෟකාවේ සියලුම මගීන්ට ඔවුන් ගෙවූ මුදල් යළි ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වුවද අලුතෙන්ම ලැබෙන තොරතුරු අනුව මේ වන විට නෞකාවේ කාර්ය මණ්ඩලය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව වාර්තා වේ. මගීන් තමතමන්ගේ කාමර ඇතුළත නිරෝධානයට ලක්ව සිටියද කාර්ය මණ්ඩලයට සිදුව ඇත්තේ ඔවුන් සඳහා අඛණ්ඩව පහසුකම් සැපයීමටය. එහිදී ඔවුන්ට ආරක්ෂාව සඳහා හුදෙක් මුඛ ආවරණ පමණක් පැළඳ, සාමාන්‍ය නිල ඇඳුමෙන් සැරසී සේවය කිරීමට සිදුව තිබේ. ඇතැම් සේවකයන් මේ වන විට මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බවත් ඔවුන් සමග කාමර බෙදා ගන්නා සෙසු සේවකයන් ඒ හේතුවෙන් වඩාත් අපහසුතාවයට පත්ව සිටින බවත් මාධ්‍ය වෙත වාර්තා වී තිබේ. කොටින්ම කිවහොත් මේ වන විට ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව පවතින්නේ ඉතා බරපතල තත්ත්වයකය.
ප්‍රථමයෙන් රෝගීන් හමුවූ අවස්ථාවේදී දින 14ක ප්‍රකාශයට පත් කළ නිරෝධායන කාලය පෙබරවාරි 19වැනිදායින් අවසන් වීමට නියමිත වුවද දිගින් දිගටම නෞකාවෙන් රෝගීන් වාර්තා වීම හේතුවෙන් එය තවදුරටත් පවත්වා ගැනීමට සිදුවනු ඇති බව ප්රකාශිතය. කෙසේ වුවද නෞකාවේ සේවක මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ තම ඥාතීන් අමතමින් තමන් පත්ව සිටින බිහිසුණු වාතාවරණය ගැන දැනුම් දෙමින් සිටිති.
ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ සැමට එක සමානව ප්‍රතිකාර ලබා දීමට තමන් උත්සාහ දරන බවයි. කෙසේ වුවද තවමත් ඩයමන්ඩ් ප්‍රින්සස් භීතියේ නෞකාව ලෙස ජපාන මුහුදේ හුදකලාව සිටින්නීය. මේ අතර නව කොරෝනා වයිරසයට කෝවිඩ් 19 යන නම ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ. එය මේ වන විටත් චීනය ප්‍රධාන රටවල් 25කට පැතිර තිබේ. චීනයේ මේ වන විට දිනකට වාර්තා වන රෝගීන්ගේ කිසියම් අඩුවීමක් දක්නට ලැබෙන බව ප්රකාශිතය. දැනට සම්පූර්ණ මරණ 1100 ඉක්මවා වාර්තා වී ඇති අතර එයට චීනයෙන් බැහැර මරණ දෙකක්ද අයත්ය. සිංගප්පූරුවද දිගින් දිගටම රෝගීන් වාර්තා විම හේතුවෙන් පසුගියදා අනතුරු ඇඟවීම් වර්ණය කහ පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා වෙනස් කළ අතර ඒ සැනෙන් එරට වෙළෙඳසැල්වල බොහෝ ආහාර ද්‍රව්‍ය විකිණී අවසන් වූ බවද වාර්තා වේ. යම් හෙයකින් සිංගප්පූරුවේ රෝගය පැතිරීම පාලනය නොවන්නේ නම් මැලේසියාව ඔවුන්ගේ දේශසීමා වසා දමනු ඇතැයි බියක්ද පැතිර ගොස් තිබේ. එසේ වුවහොත් සිංගප්පූරුවට ආහාර ද්‍රව්‍යවල හිඟයක් මතුවනු ඇතැයි සැක මතු වී තිබේ.
මේ අතර බ්‍රිතාන්‍යයෙන්ද දිගින් දිගටම රෝගීන් වාර්තා වෙමින් තිබේ. එරට දැනට පවතින කාලගුණ තත්ත්වය රෝගය පැතිරීමට හේතුකාරක වී ඇතැයි පැවසේ . කෙසේ වුවද චීනයෙන් ලැබෙන වාර්තා අනුව ඉදිරි දින කිහිපයේදී රෝගය පාලනය කිරීමට සම්පූර්ණ හැකියාව චීනයට ලැබෙනු ඇතැයි විශ්වාසය තැබිය හැකිය.