කොරෝනා තවදුරටත් පැතිරෙයි | Page 2 | සිළුමිණ

කොරෝනා තවදුරටත් පැතිරෙයි

කොරෝනා වයිරසය ව්‍යප්ත වීම ඇරඹී මාසයකටත් වඩා කල් ගත වුවද තවමත් එය නිශ්චිතව පාලනය කර ගැනීමට චීනය අපොහොසත් වී තිබේ. මේ වන විට වූහාන් නගරය වසා දමා සති දෙකකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබුණද තවමත් එය මරණයේ නගරයමය. වයිරසය පැතිර යෑමේ කිසිදු අඩුවක් දක්නට නොලැබෙන අතර මරණ සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබේ.

මේ වන විට චීනයෙන් ලැබෙන වාර්තා අනුව වයිරසය ආසාදනය වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 30000 ඉක්මවා තිබේ. එහෙත් බටහිර මාධ්‍ය පවසන්නේ මේ සංඛ්‍යාව 100000කට ආසන්න විය හැකි බවයි. වයිරසය ආසාදනය වූවන් ලෙස චීනය සංඛ්‍යා ඉදිරිපත් කරන්නේ රෝහල් ගතව සිටින පිරිස පමණක් බවත් රෝහල්වල ඉඩ මද බව හේතුවෙන් තවත් බොහෝ පිරිසක් නිවෙස් කරා ආපසු හරවා යවන බවත් බටහිර මාධ්‍ය පවසා තිබේ. මෙලෙස නිවෙස් කරා හරවා යවන පිරිස් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන බවත්, එමෙන්ම නිවෙස්වලදීම මරු වැළඳ ගන්නා පිරිස් ද මරණ සංඛ්‍යාවට ඇතුළත් නොවන බවත් ඇතැම් බටහිර මාධ්‍ය පවසා තිබේ. ඒ අනුව වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව චීනය ඉදිරිපත් කරන සංඛ්‍යාවන්ට වඩා බෙහෙවින් වැඩි විය යුතු බව ඇතැම් දෙනාගේ අදහස වී තිබේ.

කෙසේ වුවද චීනයද මේ ප්‍රවෘත්තිවලට එරෙහිව අදහස් පළ කිරීමටද අමතක කර නැත. චීනය අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයට චෝදනා එල්ල කරමින් සිටින්නේ අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් සිටින බවට චෝදනා කරමිනි. තම රට තුළ රෝගී වයිරසයක් පැතිර යමින් තිබුණද ලොව පුරා වෙසෙන චීන ජාතිකයන් පිළිකුලට ලක් කළ යුතු නැති බව චීනය මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබුණි. වර්ණ බේද වාදය ඉතා ප්‍රභලව දක්නට ලැබෙන බටහිර රටවල ජනතාව දැන් චීන ජාතිකයන්ට කළු ජාතිකයන්ට මෙන් සලකමින් සිටින බව එම නිවේදනයේ සඳහන් විය. කෙසේ වුවද මේ අතර චීනය වඩා රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරමින් අමෙරිකාවෙන් ගෙන්වනු ලබන භාණ්ඩ වර්ග රැසක බදු අඩු කිරීමටද කටයුතු කර තිබේ.

පෙබරවාරි 14වැනි දින සිට මේ බදු සහනය ක්‍රියාත්මක වීමට නියමිතය. අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම තම අරමුණ බව පවසන චීනය ඉදිරියේදී භාණ්ඩ වර්ග සිය ගණනක් සඳහා සියයට 5, සියයට 2.5, සියයට 2 යනාදී වශයෙන් විවිධ ප්‍රතිශතයන්ගෙන් බදු අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර නව කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 634ක් බවට පත්ව තිබේ. වයිසරය අසාදිත වූවන්ගෙන් තවත් තුන්දහසකට අධික පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වී තිබේ. දැනට සිදු කර ඇති ගණනය කිරීම් අනුව වයිසරය ආසාදනයෙන් මියගොස් ඇති පිරිසෙන් සියයට 80ක්ම වයස අවුරුදු 80 ඉක්මවූවන් වේ. කෙසේ වුවද වයිරසය වැළඳීමෙන් දින 15ක් ගත වූ පසුත් ඉන් සුවය ලැබීමට අපොහොසත් වන දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් සහිත පිරිස් මරණයට පත් වීමට වැඩි ඉඩක් පවතින බවට ද අදහසක් පැතිර යනු දක්නට ලැබේ.

එසේ නම් මේ වන විට මිය යමින් සිටින්නේ අදින් අවම වශයෙන් දින දහයකට හෝ පෙර රෝගය වැළඳුණු ජනතාව ලෙස දළ වශයෙන් සැලකිය හැකිය. එසේ නම් මේ වන විට විශාල වශයෙන් රෝගය පැතිර යමින් පවතින බැවින් ඉදිරියේදී මරණ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ යනු ඇති බවට සැක මතු වෙමින් තිබේ.

මේ අතර ජපානයද නව කොරෝනා වයිරසයෙන් පීඩා විඳමින් තිබේ. ජපානයෙන් මේ වන විට රෝගීන් 20කට අධික පිරිසක් හමුවී ඇත. පසුගියදා අති සුඛෝපභෝගී කෘෘස් වර්ගයේ නෞකාවකින්ද රෝගීන් 10 දෙනෙකු හමුවී තිබේ. නෞකාව ජපානයේ යොකොහමා වරායේදී නිරෝධායනය කර තිබේ.

කෙසේ වුවද මෙලෙස නෞකා මාර්ගයෙන් වයිරසය ලොව පුරා පැතිර යමින් තිබීම ලෝකයේම නාවික වෙළෙඳ ව්‍යාපාරවලටද කිසියම් බලපෑමක් කිරීමට සමත්ව තිබේ.

ඉදිරි සතිය චීනයට තීරණාත්මක වනු ඇති අතර බොහෝ විට වයිරසය එහි ප්‍රභලතම අවස්ථාවට එළඹීම අදින් එළඹෙන සතියේදී සිදුවිය හැකිය. ඉන්පසු බොහෝදුරට චීනයට මේ ගැටලුවෙන් මිදීමේ මගක් සොයා ගැනීමට හැකිවනු ඇත. එය මුළු මහත් ලෝකයේම එකම පැතුම ද වනු ඇත.

 

Comments