
මේ වන විට කොරොනා වයිරසය ලංකාවට ඇතුළු වි හමාරය. හුබෙයි පළාතින් පැමිණි කොරෝනා වැලඳුණු චින ජාතික කාන්තාව මේ වන විටත් ප්‍රතිකාර ගන්නේ කොළඹ අයි.ඩී.එච් රෝහලේය. තවමත් කොරෝනා වැලැඳුනායැයි සැක කරන කිහිප දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර ඔවුන්ට වැලැඳී ඇත්තේ කුමන රෝගී තත්ත්වයක්දැයි ඉදිරියේදි නිශ්චය කරනු ඇත. ඒ කෙසේ වෙතත් මෙවැනි වසංගතවලට මුහුණ දීමේ හැකියාව අප රටට ඇති බව ලෝකයාම දනිති. ඒ කාලයෙන් කාලයට පැමිණෙන වසංගත මර්ධනය කිරීමෙහිලා හොඳ සෞඛ්‍ය සේවාවක් අප රටට ඇති නිසාය. මේ වන විට කොරෝනා වයිරසය ලංකාවට ඇතුළු වුවද එය සාර්ථකව පාලනය කිරීමට අපේ සෞඛ්‍ය බලධාරීන් මෙන්ම විවිධ අංශ කාර්ය මණ්ඩල නිලධාරින්ද යුහු සුළුව ක්‍රියාත්මක වෙති.
මේ වන විට චිනයේ රැඳි සිටින ශ්‍රි ලාංකිකයින් පමණක් නොව ශ්‍රි ලංකාවේ රැකියා කරන චින ජාතීන්ද ලංකාවට පැමිණෙමින් සිටිති. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් චීන ජාතිකයින් මෙවර ලුනා නව වසර සැමරීම් නොකළද, නව වසර වෙනුවෙන් චීනයට ගිය චීන ජාතින් නැවතත් අපේ රටට පැමිණෙමින් සිටිති. එසේම කෙරෝනා දැඩි ලෙස ව්‍යාප්තව පවතින වුහාන් ඇතුළු හුබෙයි පළාතේ සිසුන් හැර විදෙස් අධ්‍යාපනය ලැබිමට චීනයට ගොස් සිටින ශ්‍රි ලාංකික සිසුන්ද ලංකාවට පැමිණෙමින් සිටිති. පසුගිය සතිය අවසන් වන විටත් සිසුන් විශාල පිරිසක් විටින් විටත් ලංකාවට පැමිණ තිබුණි.
කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් දැඩි ලෙස කාර්ය බහුල වූ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල මේ කාර්ය ඉටු කරන්නේ වඩාත් සුහුසුළුවය. විදේශයන්ගෙන් පැමිණෙන විදේශිකයෝ පමණක් නොව ගුවන් තොටුපොළ හරහා පැමිණෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳවද දැඩි වගකිමකින් කටයුතු අයුරු සියැසින් දකින්නට පසුගියදා අපි ඒ ස්ථානයට ගියෙමු. වෙනදා අතිශයින් කාර්ය බහුල වු ගුවන් තොටුපළ තරමක නිහැඩියාවක් පැවැතියේ පවත්නා තත්ත්වය පිළිබඳව ශ්‍රි ලාංකිකයින්ද දැඩි අවධානයෙන් සිටින හෙයිනි. ඒ වන විටත් ගුවන් තොටුපළ බලධාරීන් ගුවන් තොටුපළ නීති රීති දැඩි කරමින්, ගුවන් තොටුපළ පාලනාධිකාරිය ආරක්ෂාව වඩාත් දැඩි කිරීම හේතුවෙන් ගුවන් මඟීන්ගේ පැමිණීම පාලනය වි තිබුණි.
“මෙවැනි තත්ත්වයකදී ගුවන් තොටුපළ ආරක්ෂාව පිලිබද අපිට වැඩි වගකිමක් තියෙනවා. මේ වන විටත් අනිකුත් ගුවන් යානා වගේම චිනයෙනුත් ගුවන් යානා පැමිණෙමින් තියෙනවා. මේ වන විට චීනයෙන් සතියකට සෘජු ගුවන් යානා 30 ක් පමණ පැමිණෙනවා. ඒ වගේම ෂැංහයි, ග්වැංෂෝ, බීජිං, කුංමින් ඇතුළු චීනයේ ගුවන් තොටුපළ කිහිපයක් ක්‍රියාකාරි තත්ත්වයේ පවතින නිසා ඒ හරහා දෛනික ගුවන් යානා ලංකාවට පැමිණෙනවා. ශ්‍රි ලංකන්, චයිනා ඊස්ටර්න්, චයිනා සදර්න්, හා එයාර් චයිනා තවමත් චිනය සමග සෘජු ගුවන් ගමන් යනවා. මේ නිසා අපිට වැඩි වගකිමක් තියෙනවා, ගුවන් තොටුපළ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ වගේම ගුවන් තොටුපළ මඟීන් පැමිණෙන පර්යන්ත වල ස්කැනර් යන්ත්‍ර සවි කරලා තියෙනවා. විදේශයෙන් පැමිණෙන යම් අයෙකුට උණ තත්ත්වයක් පවතීනම් මේ යන්ත්‍රයට එය හසු වෙනවා. චීනයේ සිට පැමිණෙන අය වෙනුවෙන් විශේෂ පරීක්ෂාවක් සඳහා විශේෂ පර්යන්තයක් වෙන් කර තියෙනවා. මෙහිදි යම් අයෙකුට යම් රෝගී තත්ත්වයක් පවතීන බව දැනේ නම් අයි.ඩී.එච් උණ රෝහලට වගේම අනිකුත් අනුමත් රෝහල්වලට වහාම යොමු කෙරෙනවා. ඒ වගේම අපි චිනයේ සිට පැමිණෙන සෑම මඟියෙකුටම ගුවන් යානයේදීම විශේෂ පත්‍රිකාවක් පුරවන්න දෙනවා. එහි සියලු රෝගී තත්ත්වයන් ඔවුන් වාර්තා කළ යුතුයි. මේ විදියට අපි මඟීන්ගෙත් රට තුළ ආරක්ෂාව වෙනුවෙනුත් අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ග ගෙන අවසන්. සියලුම ගුවන් මඟින් අපි පරීක්ෂා කිරිමක් කරනවා...“ ඒ ගුවන් තොටුපළ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතාය.
ගුවන් තොටුපළට පැමිණෙන හා විදෙස්ගත වීමට පැමිණෙන සියලු ගුවන් මඟීන් ගුවන් තොටුපළට පැමිණෙන්නේ තමන්ගේ ආරක්ෂාවට වැඩි තැනක් දෙමිනි. සියල්ලෝම මුඛ ආවරණ පැළ ගෙනය. චිනයේ සිට පැමිණෙන ගුවන් මඟීන් සියලු දෙනා ගුවන් යානයේ සිටම විශේෂ පෝරමයක් පුරවන්න කටයුතු යොදා ඇත. එය ඉංග්‍රීසි බසින් හා චින බසින් මුද්‍රණය කර ඇති අතර තමන්ගේ පෞද්ගලික තොරතුරු සියල්ලද එහි අන්තර් ගත කළ යුතුය.
විදේශයන්ගෙන් පැමිණෙන සෑම ගුවන් මඟියෙක්ම ගුවන් යානයෙන් බැස එන විට තෝමස් ස්කෑනර් කිහිපයක් මඟින් දැඩි ලෙස පරීක්ෂාවට ලක් වන්නේය. ශරීර උශ්නත්වය සෙල්සියස් අංශක 35 ට වැඩි සැම කෙනෙක්ම මේ යන්ත්‍රයෙන් හදුනා ගන්නේ උණ රෝගියෙකු වශයෙනි. එසේ හදුනා ගන්නා සියලූ රෝගින් ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශය වෙත යොමු කර වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගත කිරීමක් සිදුවේ. පසුගියදා සැකපිට හදුනාගත් රෝගීන් කිහිප දෙනෙකුට මෙසේ රෝහල්ගත කළේ මේ ක්‍රමවේදය හරහාය. එසේම මේ වන විට චීනයේ සිට පැමිණෙන සෘජු ගුවන් මඟීන් ගුවන් තොටුපළ පහළ පර්යන්තයකදි විශේෂ පරීක්ෂාවට නතු කෙරෙන අතර ඔවුන් විශේෂ පරීක්ෂා කිරිම් වලට යටත්ව රට තුළට පැමිණීමට අවසර ලබා දෙයි.
කොරෝනා වයිරසය වාතය මඟින් පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපලේ නව තාක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා තිබේ. කොරෝනා වයිරසය වාතය හරහා තවත් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ආසාදනය වීම වළක්වා ගැනීමට නැනෝ තාක්ෂණයෙන් යුතු මෙම ක්‍රමවේදය පසුගියදා සිට ක්‍රියාත්මක කළේ ගුවන් මඟින්ගේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමේ අටියෙනි. ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම කටයුත්ත සිදු කිරීම ප්රසංසනීයය.
මංජු ගුණවර්ධන මහතා මීට වසර 7 කට පමණ පෙර වාතයේ ඇති සියලු වෛරස් හා බැක්ටීරියා ඉවත් කිරීම සඳහා වූ නව නිෂ්පාදනයක් සොයාගෙන ඇති අතර ඊට පේටන් බලපත්‍රය ද ලබාගෙන තිබෙන්නෙකි.
කොරොනා වයිරසය අපට ආගන්තුකය. එහෙත් අප ඊට මුහුණ දීමටද සුදානම්ය. අවදානම ගැනිමට අවදානයෙන් සිටිම හොඳටම ප්‍රමානවත්ය. ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා පසුගිය කාලයේ චීන ජාතිකයින්ට ලංකාවට පැමිණිමට නිදහස් විසා ලබා දුනි. මේ හේතුවෙන් ඔවුන් විසා ලබා ගත යුත්තේ ලංකාවේ ගුවන් තොටුපළට පැමිණය. නමුත් මේ වන විට එසේ නිදහස් වීසා නිකුත් කිරීමේ ක්‍රමය වහාම අත්හිටුවා ඇත්තේ මේ වෙනුවෙන් ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය ලෙසය.
මේ නිසා බලධාරීන් පවසන්නේ කොරෝනා වෙනුවෙන් අනියත බියක් හෝ අවදානමක් ගැනීමට කිසිදු හේතුවක් නොමැති බවය. තවමත් වාර්තා වී ඇත්තේ එක් රෝගියෙකු නිසා නිසා නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් අපේ ආරක්ෂාව අපටම තහවුරු කර ගත හැකි බවය.
සේයා රූ - කැලුම් ලියනගේ
‘කොරෝනා’ පරදවන්න චීනය දරන වෑයම ප්‍රශස්තයි
කොරෝනා වයිරස කෙන්ද්‍රස්ථානය වශයෙන් සැලකෙන චීනයේ වූහාන් නගරයේ මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් තවමත් රැඳී සිටින්නේ දැඩි ආත්ම විශ්වාසයෙනි. ඔවුන් ගෙන් පිරිසක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලත් තවත් පිරිසක් පෞද්ගලික නේවාසිකාගාරවලත් මේ වන විට ආරක්ෂිතව පසු වන අතර, වූහාන් නගරයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් 557 දෙනා ගෙන් 224 දෙනකු මේ වන විට ලංකාවට පැමිණ ඇත.
චීන රජයට මේ අභියෝග ජයගත හැකියි
- දැනට වූහාන්හි සිටින වූහාන් විශ්වවිද්‍යාලයේ
දිනිඳු දක්ෂිත් ජයසිංහ
දිනිඳු දක්ෂිත් ජයසිංහද වූහාන් විශ්වවිද්‍යාලයේ අන්තර් ජාතික ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන තෙවැනි වසර සිසුවෙකි. ඔහු සමඟ කසුන්, දිලීෂ, නහෝදා යන සිසුන් තිදෙනකුද වූහාන්හි නේවාසිකාගාරවල රැඳී සිටින්නේ චීන රජය විසින් ඔවුන්ට ලබා දුන් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමිනි.
චීනය තම මුළු ශක්තිය යොදා මේ අර්බුදය ජය ගැනීමට දරන උත්සාහය ප්‍රශංසනීයයි. කොරෝනා වයිරසය මැඬපැවැත්වීමේ හැකියාව චීනය සතු බව අප දන්නවා. ඒ පිළිබඳ අපට ලොකු විශ්වාසයක් තිබෙන නිසයි අප ලංකාවට නෑවිත් චීනයේම රැඳී සිටින්නේ. චීනය මේ වන විට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳවල් දහස් ගණනකින් යුත් නව සෞඛ්‍ය මධ්‍යස්ථානය දින කිහිපයක් තුළ සකස් කර තිබෙනවා. එය විස්මය ජනකයි! මේ වන විටත් සමහර රෝගීන් සුවපත් කර තිබෙනවා. මේ රටේ සෞඛ්‍ය පහසුකම් ඉතා හොඳ තත්ත්වයෙන් පවතින බව අප දන්නවා. ආහාර සහ සෞඛ්‍යය පිළිබඳ නව නීති රැසක් මේ වන විට හඳුන්වා දී ඇත්තේ මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමටයි.
අප හැම දෙනාම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සම්බන්ධ වෙමින් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වනවා. අපට කිසිම රෝගි තත්ත්වයක් නැහැ. අපට අවශ්‍ය ආහාරපාන සියල්ල අඩුවක් නැතුව ලැබෙනවා. ඒ වගේම චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පවා අපට අවශ්‍ය සියලු ද්‍රව්‍ය ලැබීමට සලස්වා තිබෙනවා. තානාපති කාර්යාලය පවා නිරන්තරයෙන් අප දැනුම්වත් කරනවා. මේ ප්‍රශ්නය සමතයකට පත් වූ වහා අප ලංකාවට එනවා.
‘අභියෝගය ජය ගන්න අප චීනයත් සමඟ ඉන්නවා’
- ෂැංහයි විශ්වවිද්‍යාලයේ
චේතන බණ්ඩාර විජේකෝන්
චීනයේ ෂැංහයි විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන චේතන බණ්ඩාර විජේකෝන් මේ වන විටත් රැඳී සිටින්නේ ෂැංහයි නගරයේය. කොරෝනා වයිරසයට බියෙන් මුළු චීනයම තැති ගත්තත් චේතන ඇතුළු ඔහුගේ විදේශ සහෝදර සිසුන් චීනය අතැර ගියේ නැත. ඔවුහු දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරති. ඒ අන් කිසිවක් නිසා නොව, මේ වයිරසය තුරන් කිරීමේ සටනින් චීනය කෙසේ හෝ ජය ගන්නා බව දන්නා බැවිනි.
චීන රජය මේ නොසන්සුන්තාව ඉතා සාර්ථකව කළමනාකරණය කරමින්, ජනතාවට විසඳුම් සලසනවා. අප විශ්වවිද්‍යාලය හා චීන රජය දුන් උපදෙස් අකුරටම පිළිපදිනවා.
මට කියන්න තිබෙන්නේ: බටහිර රටවල් හා චීන විරෝධි බලවේග ගෙන යන ආරංචිවලට රැවටෙන්න එපා. ඔවුන් චීනයේ ප්‍රතිරූපය විනාශ කරන්න හැම විටම උත්සාහ කරනවා. අප මේවාට ඉඩ දෙන්නේ නැහැ. අප විදේශ ශිෂ්‍යයන්, චීන ජනතාව විතරක් නොවෙයි, මේ ගැටලුවට මුහුණ දී සිටින සියලු දෙනා සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ ඉන්න සමහර අය ෆේස්බුක් මාර්ගයෙන් චීනයට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනයනවා. ඒවාට රැවටෙන්න එපා.
ෂැංහයි වෛද්‍ය කවුන්සිලයේ වෛද්‍යවරුන් මේ වයිරසයට පෙර බෙහෙත් සොයාගත්තා. චීන රජය ඉතා සැලසුම් සහගතව පියවර ගෙන මේ අභියෝගය ජය ගන්නා බව මා හොඳින් දන්නවා. මේ ගැටලුව ජය ගන්නා තුරු අප චීන ජනතාව තනි කරන්නේ නැහැ. චීන රජයට උපරිම ශක්තිය දෙමින්, ඔවුන් දෙන උපදෙස් පිළිපදිනවා. එයයි අපේ යුතුකම.
‘චීනය එදත් මෙවැනි අභියෝග සාර්ථකව ජය ගත්තා’
- චීනයේ මාධ්‍ය අත්දැකීම් ලද
ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රවෘත්ති දිස්ත්‍රික් නිලධාරී වශයෙන් කටයුතු කරන ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර චීනයේ වසරක මාධ්‍ය අත්දැකීම් ලබාගෙන ලංකාවට පැමිණියේ පසුගිය දිනකය. ෂෙල්ටන් පවසන්නේ මෙවැනි විපත්, අභියෝග චීනයට අලුත් අත්දැකීම් නොවන බවයි.
චීන ජනතාවට ව්‍යසනවලට මුහුණ දී හොඳට පුරුදුයි. චිනයේ හුබෙයි ඇතුළු පළාත් 15ක විතර මා සංචාරය කර තියෙනවා. හුබෙයි පළාතෙත් සති දෙකක් පමණ සංචාරය කළා. ඒ පළාතේ විතරක් නොවෙයි, චීනයේ බොහෝ පළාත්වල ජනතාව ස්වාභාවික ආපදා ඇතුළු විවිධ ව්‍යසන තත්ත්වවලදී ඉතා කඩිනමින් ඒ සඳහා ප්‍රතිකර්ම හොයනවා. ඒ රටේ මාධ්‍ය ජාලය හරිම ශක්තිමත් නිසා මිනිසුන් ඉතා ඉක්මනින් මේ වගේ ප්රශ්නවලදී එකතු වීම සාමාන්‍යයි.
මට මතකයි ‘ගොවන්ඩොං‘ පළාතේ පවත්වන්න සූදානම් කර තිබුණු ව්‍යාපාරික සමුළුවකට දින දෙකකට පෙර - එනම්: 2018 අවුරුද්දෙදී - “තයිපූං“ නමින් සුළිසුළඟක් මේ පළාත හරහා හමා ගියා. මහ පාර දිගේ ගල් පෙරළීගෙන ආවා. ව්‍යාපාරික සමුළුව සඳහා සූදානම් කර තිබුණු මහා ශාලාවේ වහලය ගැලවී ගියා. එහෙත් සමුළුව දින නියමයක් නොමැතිව කල් දැම්මෙ නෑ, දින දෙකකින් ඒ සියලු විනාශ යථාවත් කර, සමුළුව අදාළ දිනයටම පැවැත්වූවා. චීනුන් හරිම දක්ෂයි. ඒ නිසා දැනට ඇති වී තිබෙන කොරෝනා වයිරසය නමැති මේ ව්‍යසනකාරි තත්ත්වයත් ඔවුන් කඩිනමින් සමනය කරගනීවි.
‘බටහිර මාධ්‍ය දරන උත්සාහය සදාචාර විරෝධියි’
ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමයේ සභාපති නීතිඥ
ආනන්ද ගුණතිලක
කොරෝනා වයිරසය මැඬපැවැත්වීමේ හැකියාව චීනය සතු බවත්, භීතිය සහ චකිතය වර්ධනය කිරීමට බටහිර මාධ්‍ය දරන උත්සාහය සදාචාර විරෝධි බවත් ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය කියා සිටී. මේ බව පවසන්නේ ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතාය.
මේ වයිරසය කෙටි කලකින් මැඬපැවැත්වීමේ හැකියාව චීන කොමියුනිස්ට් පක්ෂයට, රජයට සහ චීන ජනතාවට හැකි බව අප හොඳාකාරවම දන්නවා. චීන නායකයන් මේ මොහොතේ තම රටේ ජනතාව වගේම විදේශීය ජනතාවගේත් ආරක්ෂාව ගැන දැඩිව සිතන බව අපට පැහැදිලියි. පසුගිය සෙනසුරාදා චීන ජනපති ෂී ජිංපින් මහතා ජනතාවගේ ජීවිත සහ සෞඛ්‍යයට ප්‍රධාන තැනක් දිය යුතු බව රජයේ නිලධාරීන්ට දැනුම් දුන්නා. පසුගිය දින කිහිපය පුරා චීනය ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බලන විට මේවා හිස් වදන් පමණක් නොවන බව පැහැදිලියි.
ලෝක ඉතිහාසය පුරා මෙවැනි ආසාදන විටින් විට මතුව තිබෙනවා. මෙය ස්වාභාවික තත්ත්වයක්. ඒත් වැදගත් වන්නේ මෙවැනි හදිසි අවස්ථාවලට රාජ්‍යයන් මුහුණ දෙන ආකාරයයි. චීනය ගන්නා ක්‍රියාමාර්ගයට අප සතුටුයි. ඒත් බටහිර මාධ්‍ය කොරෝනා වයිරසය ගැන පළ කරන වාර්තා දෙස බලන විට අපට පෙනී යන්නේ ඔවුන් භීතිය සහ තැති ගැනීම වර්ධනය කිරීමට උත්සාහ දරන බවයි.
උණ වැලඳුණු පමණින් කොරෝනා ද?
ලොවම කැලඹු කොරෝනා වෛරසය මේ වන විට ලංකාවට ද තර්ජනයක් වී තිබේ. ඊට හේතුව කොරෝනා වෛරසය ශරීරගත වූ චීන කාන්තාවක් මෙරටදී ප්‍රථම වතාවට හමු වීමයි. ඈ සතියක පමණ කාලයක් ලංකාව තුළ රැඳී සිටිමින් මීගමුව, මහනුවර, මාතලේ, සීගිරිය, අහුන්ගල්ල වැනි ප්‍රදේශ ගණනාවක සංචාරය කර ඇත. එබැවින් ලංකාව පුරා කොරෝනා වෛරසය පැතිර යෑමේ අවදානමක් තිබේ.
හඳුනා නොගත් වෛරසයක් මඟින් වැලඳෙන නියුමෝනියා රෝගයක් පිළිබඳ චීනයේ හුබේයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් මුල් වරට වාර්තා වූයේ 2019 දෙසැම්බර් මාසයේදී ය. 2020 ජනවාරි 07 දින මෙය කොරෝනා වෛරස කාණ්ඩයට අයත් නව වෛරස් ප්‍රභේදයක් ලෙස තහවුරු කළ අතර එය “2019 - ncov” නව කොරෝනා වෛරසය ලෙස නම් කරනු ලැබීය. කොරෝනා වෛරසය යනු වෛරස වර්ග ගණනාවක් අයත් එක් වෛරස් කාණ්ඩයකි. මෙය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සහ ලක්ෂණ (Middle East Respiratory Syndrome) සහ සාර්ස් වැනි උග්‍ර රෝගී තත්ත්වයක් ඇති කළ හැකිය.
කොරෝනා වෛරසය ශරීරගත වූ විට රෝග ලක්ෂණ පළ වන්නේ දින 3ක් පමණ කල්ගත වූ පසුවය. මෙකී රෝග ලක්ෂණ මතු දැක්වේ.
*තද උණ (38C පමණ)
*මාංශපේශිවල වේදනාව
*පාචනය
*කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව
*සොටු දියර ගැලීම (ඇතැම්විට සෙම සමඟ ලේ පිට වේ)
*හුස්ම ගැනීමේ අපහසුව
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝගාබාධවලට ගොදුරු වූ අය කොරෝනා වෛරසය ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ කොරෝනා වෛරස ආසාදනය වීමෙන් දරුණු නිව්මෝනියාව තත්ත්වයක් ඇති විය හැකි බැවිනි. හෘදරෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවලට ගොදුරු වූ අය කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් අවදානම ඉතා වැඩිය. ශ්වසනාබාධ සහිත පුද්ගලයන් අසළ ගැවසීම සීමා කළ යුත්තේ එම නිසාය. කොරෝනා වෛරසය පැතිරෙන්නේ කෙළ බිඳිති මගිනි. එබැවින් මුඛ වැසුම් පරිහරණය කිරීම ඉතා වැදගත් වේ.
සියලු ජනතාව ශ්වසන ආසාදන පාලනය සහ වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේ දක්වා සිටියි.
*ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළකීම
*අත් නිතර සබන් යොදා සේදීම හෝ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක (Alcohol based hand rubs) යොදා පිරිසිදු කිරීම.
*කහින විට හෝ කිවිසුම් යන විට රෙදි කැබැල්ලකින් හෝ ටිෂු කඩදාසියකින් මුව ආවරණය කර ගැනීම. එසේ කිසිවක් ළඟ නොමැති නම් අඩුම වශයෙන් අතේ වැලමිට ප්‍රදේශය පාවිච්චි කර මුඛය සහ නාසය ආවරණය කර ගැනීම.
*උණ සහ කැස්ස සහිත අය සමීපව ආශ්‍රය කිරීමෙන් වැළකීම.
*යම් ගමනක් සංචාරයක් අවසානයේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු විට ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම.
*ඔබ භාවිත කරන ලේන්සු, ටිෂූ කඩදාසි මේසය මත, පරිගණකය මත වැනි පොදු ස්ථානවල නොතබා නිසි අයුරින් පරිහරණය කිරීම. ටිෂූ කඩදාසි නියමිත බඳුන්වලට දැමීව.
“අද ඩෙංගු රෝගයටත් තද උණ එනවා. ඉන්ෆ්ලුවන්සා බී කාණ්ඩයේ වෛරසය ආසාදනය වුණාමත් තද උණ සමඟ සොටු දියර ගලනවා. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ හැදුණු පමණින් කොරෝනා කියලා කියන්න බැහැ. හැබැයි අපිට සැක කරන්න. පුළුවන්. ඒ නිසා අපි එවැනි රෝග ලක්ෂණ පහළ වුණ කෙනෙකුගෙන් එයා ආගිය ස්ථාන, ඇසුරු කරපු අය ගැන විමසීමක් කරනවා. ඊට පසුව පරීක්ෂණ මගින් වැලඳී ඇති වෛරසය තහවුරු කර ගන්නවා. කොහොම වුණත් රෝග ලක්ෂණ පහළ වුණොත් හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමු වීම ඉතා වැදගත්.” යනුවෙන් පැවසුවේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර ය.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරි කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත් කළේ එබැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි අනුව වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ඈ සඳහන් කළාය.