බ්‍රිතාන්‍ය - යුරෝපා සංග­මය දීගය ඊයෙන් අව­සන් | Page 2 | සිළුමිණ

බ්‍රිතාන්‍ය - යුරෝපා සංග­මය දීගය ඊයෙන් අව­සන්

සු­ගිය ජන­වාරි 31වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බ්‍රිතා­න්‍යය නිල වශ­යෙන් යුරෝපා සංග­මයේ සාමා­ජි­ක­ත්ව­යෙන් ඉවත් විය. එය කිසි­සේත්ම සරල කරු­ණක් නොවූ අතර මේ තීර­ණය නිශ්චි­තව ගැනීම සඳහා බ්‍රිතා­න්‍ය­යට වසර කිහි­ප­යක් සහ අග­මැ­ති­ව­රුන් කිහි­ප­දෙ­නෙකු කැප කිරී­මට සිදු විය. අව­සා­නයේ මහා මැති­ව­ර­ණ­යක්ද පැවැ­ත්වී­මෙන් පසු බොරිස් ජොන්සන් අග්‍ර­මා­ත්‍ය­ව­රයා බ්‍රෙක්සිට් ක්‍රියා­ත්මක කිරී­මට හෙවත් යුරෝපා සංග­ම­යෙන් ඉවත් වීමට කට­යුතු කළේය.

මේ සඳහා තීර­ණය ගැනීමේ මුල් පිය­වර ලෙස ජනතා මත විම­සී­මක් පැවැත්වූ අතර ඒ 2016 වසරේ ජූනි මාස­යේ­දීය. එහිදී බ්‍රිතාන්‍ය ජන­තා­ව­ගෙන් සිය­යට 52ක් හෙවත් මිලි­යන 17.4ක් යුරෝපා සංග­ම­යෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළහ. ඒ අනුව එතැන් සිට නිල වශ­යෙන් යුරෝපා සංග­ම­යෙන් ඉවත් වීමේ කට­යුතු බ්‍රිතාන්‍ය විසින් ආරම්භ කළද, එය ක්‍රියා­වට නැංවී­මට තවත් වසර හත­ර­කට ආසන්න කාල­යක් තුළ නොයෙක් අර­ගල කිරී­මට බ්‍රිතාන්‍ය පාල­ක­යන්ට සිදු­විය.

යුරෝපා සංග­මය යනු යුරෝපා රට­වල් 28කින් සම­න්විත ආර්ථීක සහ දේශ­පා­ලන අර­මුණු සහිත එක­මු­තු­වකි. මේ සං­ග­මයේ සාමා­ජික රට­ව­ලට හිමි­වන සුවි­ශේෂ ප්‍රති­ලාභ විය. උදා­හ­ර­ණ­යක් ලෙස යුරෝපා සංග­මයේ සාමා­ජික රට­ව­ලට ණය­වර ලිපි හෝ අම­තර මුදල් අය­කි­රී­ම­කින් තොරව භාණ්ඩ හුව­මාරු කර ගැනී­මට හැකි විය. එප­ම­ණක්ද නොව යුරෝපා සංග­මයේ සාමා­ජික රට­වල ජන­තා­වට එම රට­වල් අතර නිද­හසේ රැකියා කිරී­මට සහ සංචා­රය කිරී­මට ද හැකි­යාව ලැබිණි.

බ්‍රිතාන්‍ය 1973දී යුරෝපා සංග­ම­යට එක්වූ අතර එය සංග­ම­යෙන් වෙන්ව යන ප්‍රථම රට ලෙසින්ද ඉති­හා­ස­යට එක්ව තිබේ. ජන­වාරි 31වැනිදා නිල වශ­යෙන් යුරෝපා සංග­ම­යෙන් වෙන්ව යන තීර­ණය ප්‍රකාශ කිරී­මෙන් පසු­වද බ්‍රිතා­න්‍ය­යට ඉටු කිරී­මට තවත් විශාල කාර්ය භාර­යක් ඉති­රිව තිබේ. වෙන්ව යෑමෙන් පසු දෙපා­ර්ශ්වයේ සම්බ­න්ධතා කෙසේ වේද යන්න අව­බෝ­ධා­ත්ම­කව තීර­ණය කිරී­මට තවත් සාකාච්ඡා වට රාශි­යක් පැවැ­ත්වී­මට දෙපා­ර්ශ්ව­යට සිදු­වනු ඇත.

මේ සඳහා මාස එකො­ළ­හක කාල­යක් දෙපා­ර්ශ්වය විසින් වෙන් කර­ගෙන ඇති අතර එම කාලය තුළ යුරෝපා සංග­මයේ සාමා­ජික රට­වල මෙතෙක් කලක් ක්‍රියා­ත්ම­කව පැවති නීති රීති බ්‍රිතාන්‍ය සම්බ­න්ධ­යෙන්ද එලෙ­සම ක්‍රියා­ත්මක වනු ඇත.

එහෙත් ඉන් පසුව යුරෝපා සංග­මයේ රට­වල් සහ බ්‍රිතාන්‍ය අතර සබ­ඳ­තාව කෙසේ විය යුතු­දැයි සාකච්ඡා මගින් තීර­ණය කිරී­මට දෙපා­ර්ශ්ව­යට සිදු­වනු ඇත. එහිදී දෙපා­ර්ශ්වය අතර වෙළෙඳ සබ­ඳතා, නීතිය සහ දත්ත හුව­මාරු ආර­ක්ෂාව සම්බන්ධ කට­යුතු, ගුවන් කට­යුතු සහ ආර­ක්ෂාව, ධීවර කට­යුතු, ගෑස් සහ විදුලි බල සැප­යුම සහ බෙහෙත් ද්‍රව්‍ය හුව­මා­රුව සහ ලියා­ප­දිං­චිය යනා­දිය සම්බ­න්ධව වඩාත් දීර්ඝව සාකච්ඡා කර තීර­ණ­ව­ලට පැමි­ණී­මට සිදු වනු ඇත.

බ්‍රිතාන්‍ය අග්‍රා­මාත්‍ය බොරිස් ජොන්සන් සාකච්ඡා සඳහා මාස එකො­ළ­හක කාලය ප්‍රමා­ණ­වත් බව ප්‍රකාශ කර සිටි­යද යුරෝපා සංග­මයේ ප්‍රධා­නීන් පවසා ඇත්තේ සාකච්ඡා ඉතා අභි­යෝ­ගා­ත්මක වනු ඇති බවයි.

මාස එකො­ළ­හක සංක්‍රාන්ති සම­යේදී සාක­ච්ඡා­වට බඳුන් විය යුතු කරුණු මේ වන විට කෙටු­ම්පත් කර ඇති අතර තෙරේසා මේ අග­මැති ලෙස කට­යුතු කළ අව­ධි­යේදී ඒ පිළි­බඳ අව­සන් වාර්තා ද සකස් වී තිබිණි. එහෙත් බොරිස් ජොන්සන් අග­මැති ලෙස පත්වී­මෙන් පසු එම කෙටු­ම්ප­ත්වල ඇතැම් කරුණු සංශෝ­ධ­නය කළේය.

බ්‍රිතාන්‍ය මීට පෙර ප්‍රකාශ කර තිබූ අන්ද­මට 2019 මාර්තු 29 වැනිදා යුරෝපා සංග­ම­යෙන් ඉවත් වීම සිදු­විය යුතුව තිබු­ණද තෙරේසා මේ ගේ යෝජ­නාව දෙව­රක්ම පාර්ලි­මේන්තු සාමා­ජි­ක­යන් අතින් ප්‍රති­ක්ෂේප වීමෙන් පසු එය මේ දක්වා දිග්ගැ­ස්සිණ. තුන්වැනි වර එම යෝජ­නාව පාර්ලි­මේන්තු සාමා­ජි­ක­යන් අතින් ප්‍රති­ක්ෂේප වීමෙන් පසු අග­මැති තෙරේසා මේ ඉල්ලා අස්වූ­වාය.

බොරිස් ජොන්සන් අග­මැ­ති­ව­රයා මේ සඳහා ගෙන ආ විස­ඳුම වූයේ මහ­මැ­ති­ව­ර­ණ­යයි. ඒ අනුව පසු­ගිය දෙසැ­ම්බ­රයේ පැවති මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ඔහු ජය­ග්‍ර­හ­ණය කළ අතර ජන­තාව එළෙස ලබා දුන් තීර­ණය බ්‍රෙක්සිට් ක්‍රියා­ත්මක කිරී­මට ඔහුට අවශ්‍ය වූ ශක්තිය සැප­යීය.

ඒ අනුව මේ ඓති­හා­සික තීර­ණය සමග බොරිස් ජොන්සන් අග­මැ­ති­ව­රයා ඉතිහාස ගත­වනු ඇත්තේ ය. මින් ඉදි­රි­යට යුරෝපා සංග­මයේ රැස්වීම් සඳහා සහ­භාගී වීමට ඔහුට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ඉල්ලීමක් කිරී­මට ඔහුට සිදු­ව­නු ඇත. සංග­මයේ නිල රැස්වීම් සඳහා බ්‍රිතාන්‍ය අමා­ත්‍ය­ව­රුන්ගේ දාය­ක­ත්ව­යද මින් ඉදි­රි­යට අවශ්‍ය නොවනු ඇත.

වඩාත්ම විශේෂ කරුණ ලෙස මින් ඉදිරියට බ්‍රිතාන්‍ය වැසි­යන්ගේ ගමන් බල­ප­ත්‍ර­ය­වල වර්ණ­යද වෙනස් කිරී­මට නිය­මි­තය.

Comments