
නම ඇසූ පමණින් ඇඟ කිලිපොලා යන අවුෂ්විට්ස් වධ කඳවුරට එදා මීදුම මැදින් හිරු පායා ආවේ භීතිය රැගෙන නොවේ. ඒ වෙනුවට උදා වූ හිරු ඒවෙත රැගෙන ආවේ බිහිසුණු මතකය සිතෙන් දරා ගත් මිනිසුන් කිහිප දෙනෙකි. අදින් වසර 75කට එපිට කඳුළු මතකය සිත්වල කැටි කරගත් ඒ මහලු මිනිසුන් ගේ පිය ගැටෙන හඬින් නිසලතාව බිඳී ගියේය. වධකාගාරය වටා වූ මීදුම ක්‍රමයෙන් මැකී යන්නට වූයේ ඔවුන්ගේ මුවගින් නැගුණු සුසුම්වලිනි. අවුෂ්විට්ස්. නාසීන්ගේ බිහිසුණු වධකාගාරය. අදින් වසර 75කට පෙර රැසියානු හමුදා විසින් මුදා ගැනීමේ කඳුළු මතක සැමරුම පසුගිය 27වැනිදා එම බිමේදී පැවැත්විණි.
1940 වසරේදී පෝලන්තයේ අවුෂ්විට්ස් කඳවුර ඉඳිවන්නේ පෝලන්ත සිරකරුවන් ගාල් කර තැබීම වෙනුවෙනි. එහෙත් පසුව එය නාසීන්ගේ ප්‍රධානතම මෙන්ම විශාලතම වධකාගාරය බවට පත් වන්නේය. ඒ බිම මත ජීවිත පූජා කළ සංඛ්‍යාව දසලක්ෂ 1.1ක් ලෙස ගණන් බලා තිබේ. පසුගිය 27වැනිදා එහි පැමිණි පිරිස අතර එදා අවුෂ්විට්ස් තුළ දුශ්කර කාලයක් ගෙවා දිවි බේරා ගැනීමට සමත් වූ කිහිපදෙනෙක්ද විය. ඔවුන් කඳුළු තුළින් සිහිපත් කර සිටියේ තමන් එහි ගෙවූ කාලය නොව තමන් සමග එකට එහි ගාල්ව ගෑස් කාමර තුළින් මුක්තිය ලැබූ තම සහෝදරයන්වය.
මේ සැමරුම සඳහා ඊශ්‍රායෙල් ජනාධිපතිවරයාද පෝලන්ත ජනාධිපතිවරයා සමග එක්වූ අතර අවුෂ්විට්ස් වැනි ස්ථාන යළි මිහි මත බිහි නොවන්නට අනාගත පරපුරට පාඩමක් කියා දීම වෙනුවෙන් කුඩා දරුවන් රැසක්ද එහි පැමිණ සිටියහ.
![]() |
මතකය වෙනුවෙන් වැයෙන.. |
![]() |
සැනසී නිදන්න.. |
![]() |
එදා පීඩිතව ඇවිද ගිය ඒ බිම.. |
![]() |
ඔබ වෙනුවෙන්... |