
ප්ලාස්ටික් භාවිත කරන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක සිටින චීනය, තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් සිය රට පුරා තහනම් කිරීමේ දැවැන්ත සැලැස්මක් හෙළි කර තිබේ.
2020 වර්ෂ අවසානයේ දී ප්‍රධාන නගරවල සහ 2022 වන විට සියලු නගරවල දිරාපත් නොවන පොලිතින් තහනම් කරනු ඇත.
එමෙන්ම, 2020 අවසානයේ දී ආපනශාලා කර්මාන්තය තුළ එක්වරක් පමණක් භාවිත කර ඉවතලන බීම බට ද තහනම් කිරීමට කටයුතු කරනු ඇත.
බිලියන 1.4ක ජන ගහනයක් සිටින චීනය තුළ වසර ගණනාවක සිට කැලි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලු පැන නැගී තිබිණි.
එරට පිහිටි විශාලතම කසළ බැහැර කරන ස්ථානය පාපන්දු පිට්ටනි සියයක් තරම් විශාල වන අතර, එය සැලසුම් කළ කාලයට වඩා වසර 25කට පෙර පිරී ඉතිරී ගොස්ය.
2017 වසරේ පමණක් නාගරික නිවාසවලින් ඉවත දමන කැලි කසළ ටොන් මිලියන 215 ක් චීනය තුළ එකතු කර තිබේ. නමුත්, ජාතික කසළ ප්‍රතිචක්‍රීකරණයට අදාළ දත්ත හෙළි වී නොමැත.
2010 වර්ෂයේ දී පමණක් චීනය තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන හැටක් එකතු වී ඇති අතර, ඇමරිකාව තුළ ටොන් මිලියන 38ක් තිබූ බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ Our World in Data යන වාර්තාවෙන් සඳහන් වන්නේය.
(බී.බී.සිය ඇසුරෙනි)