
අප රට වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අභියෝග හමුවේ විශාල කාර්යභාරයක් පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. විශේෂයෙන්ම අඩු ආර්ථික වර්ධනය, ඇතැම් ප්‍රදේශවල ජනයාට සීමා වූ ඉහළ දරිද්‍රතාව දිගින් දිගම පැවතීම, ඵලදායී සම්පත්වල ඌන උපයෝජනය, අපනයන වර්ධනය සහ විවිධාංගීකරණය ප්‍රමාණවත් නොවීම, ණය නොවන ප්‍රාග්ධන ලැබීම්වල හිඟතාව, විශාල පොලී අනුපාතික කාලපරිච්ඡේද සම්බන්ධ ගැටලු සහ ඉහළ රාජ්‍ය මූල්‍ය හිඟයන් හා රාජ්‍ය ණය මට්ටම් ආර්ථිකය හමු වේ පෙරට ආ දැඩි අභියෝගයන්ය. මේ අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකා මහ බැංකුව ‘2020 පෙර දැක්ම’ යටතේ සූදානම්ව සිටී. ඒ යටතේ 2020 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති සකස් කර ඇත.
ඒ අනුව ඉහළ ආර්ථික වර්ධනයක ප්රතිලාභ සමාජය පුරා සාධාරණව බෙදාහැරීම සහ අවස්ථාව උදා කිරීම කළ යුතු වේ. එවැනි ප්‍රතිඵලයක් සඳහා නවමු අදහස් ඇසුරෙන් සැකසූ ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුව සූදානමින් සිටින්නේ එම කාර්යයන් සඵල කරගැනීමටයි.
ඒ යටතේ මේ වසරේ සිට පෞද්ගලික අංශය වෙත වූ ණය වර්ධනය වේගවත් වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන අතර අක්‍රිය ණය ඉලක්ක කරගනිමින් සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත. ඒ පැකේජය යටතේ සහන අපේක්ෂා කරන්නන්ට ණය සම්බන්ධ නෛතික පියවර ගැනීම යම් කාලයකට අත්හිටුවනු ඇත. ඒ අනුව නැඟී එන ව්‍යවසායකයන්ටද අතහිත දීමට නියමිතය.
ඒ අනුව නව ව්‍යාපාරවලට අවශ්‍ය ප්රාග්ධනය සැපයීමට බාධා පමුණුවන ‘අවදානම දැරීමට අකැමැති‘ මානසිකත්වය බිඳීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම ඉදිරි කටයුතු සාර්ථකව පවත්වාගැනීම සඳහා මහ බැංකුව නව බැංකු පනතක් කෙටුම්පත් කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව නව පනත 2021 වසරේදී බලාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. යෝජිත පනතේ ප්‍රධාන අංග අතරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා එකම ආකාරයේ බැංකු බලපත්‍රයක් හඳුන්වා දීමත්, බැංකුවල විශාලත්වය හා ඒවායෙහි මෙහෙයුම්වල ස්වභාවය යනාදියට අනුකූලව බැංකු නියාමනයන්හි සමානුපාතිකත්වය ඇති කිරීමත් අන්තර්ගතය.
තැන්පතු රක්ෂණය හා අධීක්ෂණය
එමෙන්ම විදේශ බැංකු ශාඛා ශ්‍රී ලංකාව තුළ උපසමාගම් ලෙස ලියාපදිංචි කිරීම සහ ඒවාට බාහිර අහිතකර බලපෑම්වලින් සිදු වන බලපෑමෙන් මුදාලීම (ring–fence), බැංකු ශාඛා සහ අනෙකුත් බැංකු ඒකක පිහිටුවීම සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය විධිමත් කිරීම, පාරිභෝගික ආරක්ෂාව, තැන්පතු රක්ෂණය හා බැංකුවල යහපාලනය ශක්තිමත් කිරීම, අක් වෙරළ බැංකු ඒකකයේ සහ දේශීය බැංකු ඒකකයේ මෙහෙයුම් එකම ව්‍යාපාරයක් බවට ඒකාබද්ධ කිරීම සහ නිරාකරණය, බලාත්මක කිරීම හා අධීක්ෂණ කටයුතු ඇතුළත් වේ. තවද, නව බැංකු පනත මඟින් කොළඹ අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට නියමිත බැංකු සඳහා රෙගුලාසිද ඊට ඇතුළත් වේ.
ශක්තිමත් හා සක්‍රීය බැංකු අංශයක් ඇති කිරීමේ අදහසින්, මේ වසර අවසානය වන විට බැංකු සඳහා වැඩි දියුණු කරන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ලීම සඳහා ප්රාග්ධනය යෙදවීමත් සමඟ ප්‍රාග්ධන අනුපාත වැඩි දියුණු වනු ඇතැයිද මහ බැංකුව අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
බැංකු අංශය නියාමනය කරන ආයතනය වශයෙන්, බාහිර කම්පන සඳහා බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව හා අර්බුදවලට සූදානම් වීම තවදුරටත් ශක්තිමත් කිරීමට කළ යුතු හෙයින් බැංකුවලට සිදු වන අහිතකර බලපෑම සහ එමඟින් මූල්‍ය පද්ධතියට සිදු විය හැකි පැතිරයෑමේ බලපෑම අවම කිරීම සඳහා බැංකු විසින් ප්‍රතිසාධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ක්‍රියා මාර්ග ගෙන ඇත. එම ගිණුම්කරණ ප්‍රමිති හා බැංකු පනතේ විධාන සමාලෝචනය කිරීම හා සංශෝධනය කිරීම අවශ්‍ය පරිදි සිදු කිරීමට නියමිතය.
තාක්ෂණික අවදානම්වලට ඔරොත්තු දීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතීන්ට හා ප්රශස්ත පරිචයන්ට අනුගතව තොරතුරු තාක්ෂණය සහ බැංකුවල ආරක්ෂාව සම්බන්ධයෙන් නියාමන සහ අධීක්ෂණ රාමුවට වෙනස්කම් හඳුන්වා දීමටද මහ බැංකුව විසින් කටයුතු යොදා ඇත. එමඟින් අවදානම් කළමනාකරණය වැඩිදියුණු කෙරේ.
2019 වසර තුළදී, නව තාක්ෂණික ක්‍රම ක්‍රියාත්මක කිරීම කෙරෙහි මහ බැංකුව ඉහළ අවධානයක් යොමු කර ඇති අතර, වර්ධනය වන මූල්‍ය අවශ්‍යතා සඳහා අවශ්‍ය ලෙස කාර්යක්ෂම සහ ස්ථාවර ගෙවීම් සහ පියවීම් පද්ධති වැඩිදියුණු කිරීම සඳහාද ගෙවීම් හා පියවීම් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහාද අඛණ්ඩව ක්‍රියාමාර්ග ගන්නා ලදී.
විශේෂයෙන්ම 2019 වසරේ ජූනි මාසයේදී විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යන්ත්‍රණය (Common Point of Sale Switch) සජීව මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. ජාතික ගෙවීම් කවුන්සිලය 2020–2022 සඳහා වන පෙරදැක්ම අවසන් කරන ලදී. බ්ලොක් චේන් (Block chain) තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමද මෙහිදී සිදු විය. එහි තවත් පියවරක් වනුයේ ‘Lanka QR’ නමින් ජාතික QR කේත නාමාවලිය නිකුත් කිරීමයි. පාරිභෝගිකයන්ට පහසුකම් සැලසීම සඳහා වෙළෙඳාම් සිදු කරන පාර්ශ්වයන්ගේ ගනුදෙනු පියවීම් කාර්යක්ෂම ලෙස නිරවුල් කිරීම සඳහාත් මූල්‍ය ආයතන තුනකට ගෙවීම් කාඩ්පත් සම්බන්ධයෙන් සේවා සපයන්නන් ලෙස කටයුතු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කළ අතර, නව ගෙවීම් යන්ත්‍රණ සම්බන්ධයෙන් මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කළ යෝජනා කිහිපයකට අනුමැතිය දී ඇත.
රාජ්‍ය ණය කළමනාකරණය
රාජ්‍ය ණය කළමනාකරණය යටතේ රජය වෙනුවෙන් ණය නිකුත් කිරීම, කළමනාකරණය හා සේවාකරණය, රාජ්‍ය ණය සුරැකුම්පත් සඳහා මධ්‍යම තැන්පතු පවත්වාගැනීම හා රාජ්‍ය ණය සුරැකුම්පත් වෙළෙඳපොළ වැඩිදියුණු කිරීම පිණිස මැදිකාලීනව රාජ්‍ය ණයෙහි තිරසර බව තහවුරු කිරීම තව දුරටත් සිදු කෙරේ. ඒ අතරම, විචක්ෂණශීලි අවදානම් ණය කළමනාකරණ උපායමාර්ගයේ අවධානය, සමස්ත ණයෙහි කොටසක් ලෙස විදේශ ව්‍යවහාර මුදලින් පවත්නා ණය ප්‍රමාණය සීමා කිරීම, විදේශ ව්‍යවහාර මුදලින් පවත්නා ණය කලබෙහි කල්පිරීම සඳහා ගත වන සාමාන්‍ය කාලය වැඩි කිරීම සහ වසරක් තුළ සිදු වන ණය කල්පිරීම් සීමා කිරීම කෙරෙහි යොමුව පවතී.
දේශීය වෙළෙඳපොළ තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟින් අරමුදල් රැස් කිරීම සහ වගකීම් කළමනාකරණ රාමුව තුළ අවශ්‍ය ආරක්ෂණ ගොඩනැඟීම මහ බැංකුව මඟින් දැනටමත් ආරම්භ කර ඇති අතර එළඹෙන ණය සේවාකරණ වගකීම් සම්බන්ධයෙන් මෙම මෙහෙයුම් 2020 වර්ෂයේදී සහ ඉන් අනතුරුව අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.
අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළෙඳපොළ නිකුතු පදනම විවිධාංගීකරණය කිරීමේ අරමුණින් විකල්ප බැඳුම්කර වෙළෙඳපොළවලින් අරමුදල් රැස් කිරීමට ඇති ඉඩ ප්‍රස්තා සලකා බලා ඇත.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ කාර්යභාරයන් ඉදිරියටත් ශක්තිමත් කිරීම සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව එක් එක් පාර්ශ්වකරුවන්ට විශේෂිත වූ ප්‍රතිපත්ති ගොඩනැගීම සඳහා ඔවුන් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට මහ බැංකුව අදහස් කර ඇත. ඒ යටතේ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් තක්සේරුව (NRA) 2020 වසරේදී අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් සිදු කෙරෙනු ඇත. මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනතට තවදුරටත් සංශෝධන හඳුන්වාදීමට නියමිතය.
රැකියා අවස්ථා නිර්මාණය
රටේ විවිධ ප්‍රදේශවල ආර්ථික සංවර්ධනයේ පවතින විෂමතා තුරන් කිරීම සඳහා රට තුළ ඵලදායි රැකියා අවස්ථා නිර්මාණය කිරීමෙන් දරිද්‍රතාව අවම කිරීමට රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වලට සහාය වීම සඳහා අනෙකුත් අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. දැනට පවතින බලතල ප්‍රකාරව ප්‍රදේශීය සංවර්ධනය සඳහා කළ හැකි මෙහෙයුම් සහභාගිත්වය සීමිත මට්ටමක පවතින නමුත් සහනදායි ණය මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීමෙන් ඒ ක්ෂේත්රය කෙරෙහි දායකත්වය පුළුල් කර ඇත.
මේ වසරේ ඉදිරි කාලය තුළ මහ බැංකුව මේ ක්‍රියාකාරකම් වෙත වැඩි අවධානයක් යොමු කරමින් අඛණ්ඩව කටයුතු කරනු ඇත. එසේම 2020 වසර මුල් භාගයේ දී ප්‍රථම මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ ජාතික උපායමාර්ගය (National Financial Inclusion Strategy) ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සහ කුසලතා සංවර්ධනය, හැකියා ගොඩනැංවීම හා ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධව වැඩසටහන් පැවැත්වීම මඟින් මහ බැංකුව ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමට සහ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට ප්රයත්න ගනු ලැබේ. අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ (IFC) තාක්ෂණික සහාය ඇතිව 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයක් පැවැත්වීමටද අපේක්ෂිතය.
මේ වසර අවසන් වන විට පෞද්ගලික අංශය වෙත සපයන ලද ණයෙහි වර්ධනය 12% සිට 13% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් එය ආර්ථික වශයෙන් ඵලදායි කරගැන්ම සඳහා අපේක්ෂිත ණය වර්ධනය හේතුවෙන් 2020 වසර අවසන් වන විට පුළුල් මුදල් සැපයුමේ වර්ධනය 14%ක් පමණ මට්ටමක් කරා යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
එසේම වගවීමෙන් යුතු මුදල් ප්‍රතිපත්ති රාමුවක් හරහා උද්ධමනය 4% හා 6% අතර පරාසයක පවත්වාගැනීම සඳහා වූ කාර්යය ඉදිරියටත් පවත්වාගෙන යෑමට මහ බැංකුව අදිටන් කර සිටී.
කාලයක් මුළුල්ලේ පවතින සංවර්ධන අභියෝගවලට සිරිලන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් හඳුනාගැනීමට මහ බැංකු කාර්ය මණ්ඩලය දිරිමත් කෙරෙනු ඇත. ඉදිරි දැක්මකින් යුතු දර්ශක සහ සමීක්ෂණවල විෂයපථය සහ ආවරණය තවදුරටත් පුළුල් කෙරෙනු ඇත. මේ ක්‍රියාමාර්ග අතර උද්ධමන අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ (IES) ආවරණය කොළඹ දිස්ත්‍රික්කය ඉක්මවා ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇතුළත් වේ. මෙමඟින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වඩා ඵලදායී තොරතුරු රැස් කරගැනීමට යෝජිතය.
ඵලදායි තොරතුරු රැස් කරගැනීම
ශ්‍රී ලංකාව ඉහළ වර්ධන මාවතක් කරා ගමන් ගැනීමේදී, ආර්ථික වර්ධනය තවදුරටත් ඉහළ මට්ටමක රඳවාගැනීමට හිතකර පදනමක් ඇති කරන මිල ස්ථායිතාව පවත්වාගෙන යෑම සඳහා මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අතර සමීප සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍ය වන බැවින් නිෂ්පාදන ආර්ථිකයේ තිරසාර දියුණුවක් සහතික කිරීම සහ ඵලදායී සේවා නියුක්ති අවස්ථා උත්පාදනය සඳහා මහ බැංකුව, රජය සහ වෙනත් රාජ්‍ය අධිකාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට යෝජිතය.
අතීතයේදී මෙන්, මිල ස්ථායිතාව මෙන්ම සාර්ව ආර්ථික ස්ථායිතාව ස්ථිරව පවත්වාගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව වැඩිදියුණු කිරීමට මහ බැංකුව රාජ්‍ය මූල්‍ය අධිකාරීන් සමඟ ඉදිරියේදීත් අඛණ්ඩව කටයුතු කරන අතර, අවශ්‍ය ප්‍රතිසංස්කරණ මඟින් බදු පදනම පුළුල් කිරීමත්, බදු පරිපාලනය සහ අනුකූලතාව වැඩිදියුණු කිරීමත් සිදු වනු ඇත. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් රජය සතු වෙළෙඳ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමෙන් රජයේ ආදායම් ඉහළ නැංවීමට සහ එවැනි ආයතන පවත්වාගෙන යෑම සඳහා වන රාජ්‍ය මූල්‍ය පීඩනය අඩු කරගැනීමට හැකි වන හෙයින් රජය සතු ව්‍යාපාර ආයතන කළමනාකරණයට විධිමත් ක්‍රියාවලියක් සඳහා වෘත්තිකයන් පත් කිරීමත්, එවැනි ආයතවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කිරීමත් සිදු කෙරේ.
මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව නිසා පවත්නා පදනම් පොලී අනුපාතිකවල ඌනතා හේතුවෙන් මුදලේ සැබෑ පිරිවැය පිළිබිඹු කරන යෝග්‍ය පදනම් පොලී අනුපාතිකයන් බැංකු අංශය සඳහා ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙනු ඇත.
ප්‍රතිපත්ති සන්නිවේදනය වඩාත් කාර්යක්ෂමව මෙන්ම ඵලදායි ලෙස ඉදිරියට ගෙන යෑම පිණිස සන්නිවේදන තාක්ෂණය භාවාතය කෙරෙහිද මහ බැංකුවේ අවධානය යොමුව ඇත.
මේ වසරේ මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරනු ලබන දින මේ වන විටත් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජනවාරි මස 30, මාර්තු 5, අප්‍රේල් 9, මැයි 21, ජූලි 9, අගෝස්තු 20, ඔක්තෝබර් 8 හා නොවැම්බර් 26 දිනවල මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරනු ඇත.