පොදු ප්‍රවාහන සේවා අතුරින් ප්‍රමුඛතම ප්‍රවාහන සේවය වන බස්රථ මෙරට බහුතර මගීන් සංඛ්‍යාවක් නිතර තම ගමන් පහසුව සලසා ගන්නා ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යයයි. අඩු වියදමකින් තම ගමනාන්තය කරා යා හැකි බැවින් දුර ගමන් මෙන්ම කෙටි ගමන්බිමන් ද යා හැකි පොදු ප්‍රවාහන මාධ්‍යය බවට බස්රථය මේ වන විට පත්ව තිබෙයි. වර්තමානයේ මෙම බස්රථ අතුරින් ගීත, චිත්‍රපට ප්‍රචාරය කරන විද්‍යුත් යන්ත්‍රයක් නොමැති බස් රථයක් සොයා ගැනීම අසීරුය. දුර ගමන් සේවා මෙන්ම කොළඹ අවට, පළාත් මට්ටමින් ගම් මට්ටමින් ධාවනය වන බස් රථවල ද අනිවාර්ය අංගයක් බවට මේ වන විට මෙම ටීවී යන්ත්‍ර සහ ගීත ප්‍රචාරණ යන්ත්‍ර පත්ව තිබේ. එනිසා මේවායේ ගමන් කරන මගීන්ට තම අභිරුචිය කුමක් වුවත් නිතර දෙවේලේම මේ වායේ ප්‍රචාරය වන ඝෝෂාකාරී සංගීතයට අනුගතව ඉවසා සිටීමට ද සිදු වේ. එනිසා මේ පිළිබඳ ජාතික ගමනාගමන කොමිසන් සභාවේ 1955 දුරකථන අංකයට මගීන් පැමිණිලි කළ වාර අනන්තය. එනිසා මේ ගැටලුව ජාතික වගකීමක් සේ සලකා ජාතික ගමනාගමන කොමිසන් සභාව මෙයට විසඳුම් සොයන්නට කටයුතු කළේ විෂයභාර අමාත්‍යවරයාගේ අදහසක් අනුවය. ඒ අනුව මේ වන විට මෙරට ධාවනය වන සියලුම රාජ්‍ය හා පෞද්ගලික බස් රථ සඳහා සුභාවිත ගීත දහසක් හඳුන්වා දීමේ වැඩසටහන පසුගිය දා ක්‍රියාවට නැංවීමට කටයුතු යෙදිණි. ඒ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙනි.
මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙලෙස ගීත දාහක් අඩංගු සීඩී සහ ඩීවීඩී තැටි බස් රථ වෙත ලබාදීමේ කටයුත්තට ප්‍රවේශ වන්නේ මහජනතාවගෙන් ලැබුණු ප්‍රධාන ඉල්ලීමක් ඉටු කිරීමක් ලෙස බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවැන්නකි.
‘‘අපි මේ කටයුත්ත ආරම්භ කළේ දේශපාලන තීන්දුවක් මත හෝ වෙනත් තීන්දුවක් මත නොවෙයි. මේ තීන්දුවට ප්‍රවේශ වෙන්න ප්‍රධාන හේතුව වුණේ මහජනතාවගෙන් නිරන්තරයෙන් අපට ලැබුණු පැමිණිලියි. මේ පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කර එම කමිටුවේ නිර්දේශ මත යි මෙය ආරම්භ කළේ. මම ප්‍රවාහන අමාත්‍යාංශයේ වැඩ බාරගත් දවසේ මට සුබපතමින් ලැබුණු දෙවැනි දුරකතන ඇමැතුමින් ඉල්ලීමක් කළා අපිට අපේ පාඩුවේ බස්වල යන්න ඉඩ දෙන්න කියලා. ‘අපි සල්ලි ගෙවලා යන්නේ. ඒනිසා හිරිහැරයක් නොවන ආකාරයට යන්න ඉඩ දෙන්න කියලා. මම ඇහුවා ඇයි කවුද ඔබට හිරිහැර කරන්නේ කියලා. නෑ මේ බස්වල දාන සංගීතය තමයි අපිට තිබෙන ලොකුම හිරි හැරය කියලා කිව්වා. ඊළට මගේ තවත් හිතවතෙක් මට පෙන්වූවා ඔහු බස් එකේ යන එන විට සංගීත ඝෝෂාව අහගෙන ඉන්න බැරිව කනට ගහන්න ගත්ත ඇබ දෙකක්. එනිසා මේ පිළිබඳව අපි පුළුල්ව සාකච්ජා කරලා මේ තීන්දුවට එළැඹුණා. ‘‘
අමාත්‍යවරයා පවසන අන්දමට මෙය රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට හිරිහැරයක් කරන අදහසින් හෝ බස් හිමියන්ට කරදරයක් කරන අදහසින් හෝ සිදු කළ දෙයක් නොවේ. මේ ක්‍රියාවලියට ප්‍රවේශ වෙන්නේ මහජනතාවගෙන් ලැබුණු ප්‍රධාන ඉල්ලීමක් ඉටු කිරීමක් ලෙසය.
‘‘මඟී ජනතාව ඉල්ලීමක් කළේ මේ මොනම සංගීතයක්වත් නැතිව නිදහසේ යන්න ඉඩ දෙන්න කියලයි. අපිට ගීතයක් අහන්න අවශ්‍ය නම් අපේ ජංගම දුරකතනවල ඒ පහසුකම් තිබෙනවා. ඒක අපිට කර ගන්න පුළුවන් කියලයි. නමුත් ඉන් එහාට ගිහිල්ලා රියැදුරු මහතුන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන තමයි මේ තීරණයට ප්‍රවේශ වන්නේ. ඒ අනුව ගීත 1000ක් ඇතුළත් සීඩී හා ඩීවීඩී තැටි නිකුත් කොට තිබෙනවා. රියදුරු හා කොන්දොස්තර මහතුන් කියන්නේ අපේ සහෝදරයින් පිරිසක්. ඒ අයට ගෞරවයක් ලබාදීම මහජනතාවගේත් අපගේත් යුතුකමක්. ඒ වගේම ඒ අයටත් විශාල වගකීමක් තිබෙනවා මගී ජනතාව ආරක්‍ෂිතව ගමනාන්තය කරා ගෙන යාමට. එනිසා අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්නේ නීති රීති දමමින් මේවා ක්‍රියාත්මක කරනවාට වැඩිය මේ අය දැනුම්වත් කරලා අවබෝධ කරලා දීලා මේ වෙනස ඇති කිරීම. මේ ලබා දෙන ගීත වුණත් වැඩි වේගයකින් ශබ්දයකින් වාදනය කළොත් එයත් වරදක්. එයටත් යම් යම් සීමා තිබිය යුතුයි. මෙය මේ පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වුණත් අපි මේ 15 වැනි දා දක්වා යම් කාලයක් ඒ සඳහා බස් රියැදුරන්ට ලබා දෙනවා ඒවා වාදනය කිරීමට. 15 වැනිදායින් පසුව අපිට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව ඒ අයව පරීක්ෂා කරන්නත් අවශ්‍ය කටයුතු කරන්නත් ජාතික ගමනාගමන කොමිසන් සභාව හා අමාත්‍යාංශය එකතුවෙලා කටයුතු කරනවා.‘‘ අමාත්‍යවරයා පවසයි.
ජාතික ගමනාගමන කොමිසම පවසන්නේ දැනට මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති දුර ගමන් සේවා මෙන්ම අනෙකුත් මගී ප්‍රවාහන බස්රථවල ගමන් කරන මගී ජනතාවට එම බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බවයි මේ පිළිබඳ අප සමඟ අදහස් දක්ව මින් එහි අධ්‍යක්ෂිකා එස්. අතුකෝරාල මහත්මිය පවසා සිටියේ, බස් රථවල ප්‍රදර්ශනය කරනු ලබන ගීත හා චිත්‍රපට පිළිබඳ තම කොමිසමට නිරන්තරයෙන් පැමිණිලි ලැබුණු බවයි.
නිරන්තර පැමිණිලි
‘ජාතික ගමනා ගමන කොමිසන් සභාවෙන් ක්‍රියාත්මකවන 1955 දුරකථන අංකය පැය විසිහතර පුරාම බස්රථවල ගමන්කරන මහජනතාවගේ පැමිණිලි උදෙසා ක්‍රියාත්මක වන ඇමතුම් ඒකකයක් . එයට නිරන්තරයෙන්ම පැමිණිළි ලැබෙනවා මේ බස් රථ ගැන. විශේෂයෙන් මේ බස්රථවල ප්‍රදර්ශනය කරනු ලබන ඇතැම් ගීත ප්‍රදර්ශනය කිරිමට තරම් සුදුසු මට්ටමේ ඒවා නොවන බවට. ඒ වගේම අපිට ලිපි මඟින් ද පැමිණිලි ලැබිලා තිබෙනවා. මේ තත්ත්වය දුරු කරන්න ක්‍රියාමාර්ග ගන්න කියලා. ජාතික ගමනාගමන කොමිසන් සභාව හැටියට මෙය අපි මුහුණ දීපු ගැටලුවක්.
ඒ අනුව එයට අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි මගීන් අතරට ගිහින් එයින් නියැදියක් තෝරාගෙන විමර්ශනයක් දියත් කරීම. එහිදී අපි යොමු කළ පළවෙනි ප්‍රශ්නය වුණේ බස් රථවල මේ ගීත ප්‍රචාරය අවශ්‍යද නැද්ද කියන එක විමර්ශනයට ලක් කිරීම. මෙය තහනම් කරනවා නම් අණපනත් ගෙනැල්ලා සම්පූර්ණයෙන් තහනම් කිරීමේ හැකියාව ගමනාගමන කොමිසන් සභාව හැටියට අපට තිබෙනවා. නමුත් මගීන්ගේ අදහස වුණේ, නැහැ! මෙය අපිට අවශ්‍යයි කියලයි. බහුතරයේ අදහස වුණේ මේ ප්‍රදර්ශනය කරන ගීතවල යම් ගුණාත්මක භාවයක් ප්‍රමිතියක් තිබිය යුතුයි කියලයි. දුරගමන් බස්රථවල රාත්‍රී කාලයේදිත් කාන්තාවන් ගමන් කරනවා. බස් රථවල ප්‍රචාරය කරන සමහර ගීත නිසා බස් රියේ ගමන් කරන මිනිසුන්ගේ හැසිරීම් වෙනස් වෙනවා. රංගනය නිසා හැඟීම් ඇවිස්සෙනවා. එවිට මිනිස්සු වැරදි විදියට හැසිරෙනවා. මගීන්ට කරදර නොවිය යුතුයි. එනිසා ගුණාත්මක බවින් යුක්ත දෙයක් අපට අවශ්‍යයි කියන එක තමයි බහුතර මගී ජනතාවගේ අදහස වුණේ.
ගීත තේරීමට විද්වතුන්
ඒ අනුව විද්වත් කමිටුවක් පත් කරලා ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කර ගනිමින් ළමා , තරුණ, වැඩිහිටි හැමදෙනාගේම රසවින්දනයට උචිත ලෙස ගීත තේරීමට අපි කටයුතු කළා.
“මේ නිකුත් කරන ලද සීඩී හා ඩීවීඩී පටවල තිබෙන්නේ ගීත පමණක්ම නෙවෙයි. ගීතවලට අමතරව සමාජයට වැදගත් පණිවිඩ රැසකුත් ඒවාට අන්තර්ගත කොට තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යමය- රෝග නිවාරණ, මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ස්වභාව සෞන්දර්ය පණිවිඩ ජාතික වගකීමක් ලෙස සලකා ජනතාව දැනුම්වත් කරන්න මෙහි අන්තර් ගත කර තිබෙනවා. දුරගමන් සේවාවල බොහෝවිට විදේශිකයන් ගමන් කරනවා. ඒ අය අප රටේ තිබෙන ස්වභාවසෞන්දර්යයෙන් අනුන ස්ථාන ගැන මේ ඔස්සේ දැනුම්වත් වෙනවා. මේ අනුව අපි ගී ඇතුළත් ඩීවීඩී හතක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම ගමනාගමන කොමිෂන් සභාවේ ව්‍යාපෘති පිළිබඳව දැන්වීම් යනා දී දේවල් මෙයට ඇතුළත් කර තිබෙනවා. මෙය මූලික පියවරක් පමණයි. මෙය අවසානය නෙවෙයි. අපිට අවශ්‍ය මෙය එළියට දාලා ඒ අනුව ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තවදුරටත් මෙය සංවර්ධනය කරමින් ඉදිරියට යන්නටයි‘ ඇය පවසයි.
මගී ජනතාවගෙන් මේ වන විට මේ පිළිබඳ විශාල වශයෙන් දුරකතන ඇමැතුම් ලැබෙන බවත් මෙය මේ විදහට සිදු කළේ නැත්තේ ඇයි? අර විදිහට කලා නම් හොඳයි යනාදී වශයෙන් ගුණ දොස් ඒ ඔස්සේ පවසන බවත් ඒ අදහස් සතුටින් භාරගෙන මේ ව්‍යාපෘතිය ඉදිරියටම කරගෙන යන්නට බලාපොරොත්තු වන බවත් ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසයි.
අතුකෝරාල මහත්මිය පවසන අන්දමට, අධික පිරිවැයක් යෙදීමට සිදු වන නිසා පෙන් ඩ්‍රයිව් ඔස්සේ මෙය බස්රථ සඳහා ලබාදීමට ජාතික ගමනාගමන කොමිසන් සභාවට හැකියාවක් නොමැත. ඒ ගැන අදහස් දක්වමින් ඇය පවසන්නේ මෙවැන්නකි.
ගීත බාගත කරන්නේ මෙහෙමයි
‘බස් රථ හිමියන් ඉතා විශාල ප්‍රමාණයක් රටේ ඉන්නවා. හැමකෙනාටම පෙන් ඩ්‍රයිව් එකකට මෙය දාලා දෙන්න අපි සොයා බැලුවා.නමුත් එය කරන්න පුළුවන් කමක් නැහැ. එය අධික මිලක් යන වැඩක්. එනිසා මෙය අපි සීඩී හා ඩීවීඩී ලෙස නිර්මාණය කළා. ඉතා උසස් ප්‍රමිතියෙන් යුතුව තමයි මේවා නිර්මාණය කර තිබෙන්නේ. මේ ව්‍යාපෘතියේදී සැලසිනේ රාජ්‍ය මාධ්‍ය ආයතනය අප සමඟ අත්වැල් බැද ගත්තා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියනයක පමණ පිරිවැයක් දරන්නට අපිට සිදු වුණා.මේ සීඩී, ඩීවීඩී කොපි කර ගන්න පුළුවන්. එනිසා ඕනම බස් රියදුරු මහතෙකුට , කොන්දොස්තර මහතෙකුට මෙය පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරගන්න පුළුවන්. අපේ කාර්යාලවල ඒ සඳහා පහසුකම් ලබාදී තිබෙනවා. වව්නියාවේ කාර්යාලයෙන්, බැස්ටියන් මාවතේ කාර්යාලයෙන්, මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයෙන්, ඒ වගේම ජාතික ගමනාගමන කොමිසන් සභා කාර්යාලයෙන් කොපි කරගන්න පුළුවන්. මේ වන විටත් බස් රථ රියදුරන් කොන්දොස්තර මහතුන් ඉතාම කැමැත්තෙන් පෙන් ඩ්‍රයිව් ගෙනවිත් මේ ගීත ලබා ගන්නවා. මෙය සිදු කරන්නේ නොමිලේයි.
කර්තෘ භාගය ගෙවීම
කර්තෘ භාගය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ද අප හමුවේ තිබෙනවා. ගීත කේන්ද්‍රය ඔස්සේ මේ ගීතවල අයිති කරුවන් සමඟ අපි සාකච්ජා කරමින් ඉන්නේ. මෙහිදී මේ ගීතවල පද රචකයන් වන සුනිල් ආර් ගමගේ, කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීණයන් ඇතුළු පිරිසක් අපිට සහයෝගය ලබා දෙනවා. රාජ්‍ය ආයතනයක් වන ජාතික ගමනාගමන කොමිසන් සභාව සමඟ ඔවුන් මේ පිළිබඳ නීතිමය තත්ත්වයන් කතාබහ කරමින් පවතිනවා. මේ ගීත ලබාගැනීමේ දී බහුතර ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා අපිට ගොඩක් උදව් කළා. රාජ්‍ය ආයතන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය, මත්ද්‍රව්‍ය නිවාරණ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය අපිට උදව් කළා. ඔවුන්ගේ සහයෝගය අගය කොට සලකනවා.
අරමුණ ආකල්පමය වෙනසක්
අපිට මෙතනදී අවශ්‍ය මිනිසුන්ගේ ඇතුළාන්තයෙන් ආකල්පමය වෙනසක් ඇති කිරීමයි. නැතිව නීති ගෙනැල්ලා මෙය තහනම් කිරීම නෙවෙයි කළ යුත්තේ. උදාහරණයක් ගත්තොත් තාප්පවල චිත්‍ර අදින්න පටන් ගත්තට පස්සේ තාප්පවල පෝස්ටර් ගැහීම ඉබේම නැවතුණා. මේ විදිහට තමයි අපිත් බස්රථ තුළ විකාර රූපී ගීත වාදනය ඉවතලා සුභාවිත ගීත වාදනයට ආකල්පමය වෙනසක් ඇති කරීමයි මෙයින් බලාපොරොත්තු වන්නේ. මේ වෙනස මගී ජනතාවට සතුටින් බුක්ති විදන්නට අවකාශ ලබාදීමයි අපේ අරමුණ.‘අධ්‍යක්ෂිකා අතුකෝරල මහත්මිය පවසයි.
මෙම ගීත සමුච්ජය තෝරනු ලැබුවේ විද්වත් මණ්ඩලයක් මඟිනි. ඒ සඳහා දායක වුයේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ඉන්ද්‍රනාත තේනුවර, ප්‍රගීත් විජේසූරිය, ප්‍රසන්න ජයනෙත්ති යන පිරිසය. ඔවුන්ගෙන්ද මෙම ගීත තේරීමේ ප්‍රමිතිය මෙන්ම ගීත තේරීමේ දී ඔවුන් ලබාගත් ප්‍රවේශය කුමක්ද යන්න අප විමසා බැලුවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්ද්‍රනාථ තේනුවර පවසා සිටියේ මෙවැන්නකි.
‘මේ ඝෝෂාකාරී සංගීතයත් සමඟ බස් රථවල යන්න බැහැ කියන චෝදනාව ජනතාවගෙන් නිතර එල්ල වුණා. දැන් බස් රථවල ප්‍රචාරය වෙන්නේ ගොඩක්ම ගීත නොවෙයි. පොලිස් රිෆෝට්වලට තනු දාපුවයි ඔපරේෂන්වලට තනු දාපුවයි තමයි තිබෙන්නේ. ඔයා මාව මැරුවා, මගේ කෑල්ල දෙන්න, හදවත දෙන්න මේ වගේ ගීත තමයි තියෙන්නේ. මෙයට ලොකු ප්‍රතිවිරෝධයක් ජනතාව ගෙනාවා. මෙයට නියාමනයක් ලෙස හොඳ සිංදු තෝරා දෙන්න කියන දේ කරලියට ආවා.
ඒ අනුව අපිට ලැබුණු ආරාධනයක් මත මමත් ප්‍රගීත්, ජයනෙත්ති අපි තුන් දෙනා සහ ගමනාගමන කොමිසන් සභාවේ කිහිප දෙනෙක් සහභාගි වෙලා ජනතාවගේ රසඥතාවය සොයා බලා විශේෂයෙන් ම බස් රථවල රියදුරු මහතුන්ගේ කැමැත්ත අනුව මේ ගීත තේරුවා. මෙහිදී විශාල ගැටලුවක් වුණේ මේ ගීතවල සමහර රූප රචනා අපැහැදිලි තත්ත්වයෙන් යල් පැන ගොස් තිබීම. ඒ අනුව ඒ ගීතවලට අදාළව රූපවාහිනී වැඩසටහන් ඔස්සේ රූප රචනා ලබාගත්තා. අතීතයේ සිට මෑත කාලය දක්වා ජනප්‍රිය වූ ගීත මේ ගීත ගොන්නට ඇතුළත්. අවරම ගණයේ ඒවා කොපමණ ජනප්‍රිය වුණත් යොදා ගත්තේ නැහැ.
ලංකාවේ අමරදේව මාස්ටර්, වික්ටර් රත්නායකයන් ඇතුළුව ශාලිත අබේවික්‍රම, රූකාන්ත ගුණතිලක මෙන්ම පසුකාලීනව ජනප්‍රිය වූ ගායක ගායිකාවන්ගේ ගීත මෙයට ඇතුළත්. සමාජයේ පොදු කැමැත්ත මත මධ්‍යස්ථ තැනක ඉඳලා තමයි මේ ගීත තෝරා ගැනීම අප සිදු කළේ. ඒ අනුව කාල වකවානු, රිද්මය වැනි කාණ්ඩවලට බෙදුවොත් ඕනෑම කාණ්ඩයක ගීත මෙහි ඇතුළත්.
ජනතාවගේ මනසට හානි කරවිය හැකි, හැඟීම් උද්දීපනය නොවන, කාමුක හැඟීම් නැති රූප රචනා තමයි තෝරා ගත්තේ. මේ පිළිබඳව බස් රථ රියදුරන්ගෙන්ද අපි විමසා බලන්නට කටයුතු කළා. එහිදී ඔවුන් පවසා සිටියේ, මඟී ජනතාවගේ කැමැත්ත අකමැත්ත මත මෙය ප්‍රචාරයවීම තීරණය වන බවයි.
‘‘අපි හිතන්නේ මෙය ගැටලුවක් වෙන එකක් නැහැ. මගී ජනතාවගේ තමයි මෙයට ප්‍රසාදය තියෙන්න ඕනෑ. අපි මේක දැනුවත් කරලා අනෙකුත් බස් රියදුරන්ට ලබාදෙන්න කටයුතු කරනවා. හොඳ නම් මේක ගැටලුවක් නැහැ. මගී ජනතාවගේ ප්‍රසාදයක් තියනවා නම් වැඩි ඉල්ලුමක් තියෙනවා. ගොඩක් තරුණ පිරිස්, වැඩිහිටි පිරිස් එක එක ගීත අහනවා. මේ ගීත අවශ්‍ය මගීන්ගේ පාළුව මකන්නයි. සමහර මගී ජනතාව ටී.වී. එකක් නැත්නම් බස් රථවලට නඟින්නෙත් නැහැ. සමහර වෙලාවට බස් රියදුරන්ටයි කොන්දොස්තරවරුන්ටයි බලන්න බැරි ගීත ප්‍රචාරය කරනවා කියල චෝදනා කළත් සමහර මගීන් තමයි විවිධ සී.ඩී. ගෙනත් දීලා දාන්න කියන්නේ. අපිට කිසිම ගැටලුවක් නැහැ මගී ජනතාව කැමැති නම් මේ ගීත ප්‍රචාරය කරන්න. මගී ජනතාව අකමැති නම් තමයි ගැටලුව වන්නේ. ‘ඔහු පවසයි.
අවසන් වශයෙන් අපි මගී ජනතාවගෙන්ද මේ පිළිබඳ අදහස් විමසා බැලුවෙමු.
ඔවුන් පවසන්නේ මේ ඝෝෂාකාරී සංගීතය පෞද්ගලික බස්රථවල පමණක් නොව ලංගම බස්රථතුළ පවා පවතින බවයි. වීඩියෝ දර්ශන හා එළිමහන් සංගීත සංදර්ශනවල හූ කීම, අඩ නිරුවත් නැටුම් දර්ශන, නිවේදකයන්ගේ විකාර රෑපී විස්තර ප්‍රචාර මේ සියල්ල තමන්ට බලාසිටීමට අසා සිටීමට සිදු වී ඇති බවයි. ඇතැම් බස් රථවල රාත්‍රී සමාජ ශාලා දර්ශන ද ප්‍රදර්ශනය කරන බවත් ඒවා දැකීමෙන් පවුලක් ලෙස බස් රථයකට ගොඩ වූ විට තමන් අපහසුතාවයට පත් වන බවත් ඔවුන් අප සමඟ පවසා සිටියා. මේ නිසා රජය විසින් මෙවැනි තීරණයක් ගැනීම සතුටට කරුණක් බව අපි අදහස් විමසූ මඟීන් හැම දෙනාගේම පොදු අදහස විය.
ජායාරූප- රුවන් ද සිල්වා