
පාකිස්තාන අධිකරණය පසුගියදා එරට හිටපු අගමැති පර්වේස් මුෂාරාෆ්ට මරණීය දණ්ඩනය නියම කළේය. ඒ ඔහු එරට අගමැති ධූරය දරමින් සිටි සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය යන චෝදනාව තහවුරු කරමිනි.
මේ වන විට 76 හැවිරිදි වියේ පසුවන මුෂාරාෆ් 2016 වසරේදී සෞඛ්‍ය හේතූන් මත ප්‍රතිකාර ගැනීමට අධිකරණ අවසරය මත සවුදි අරාබිය බලා පිටත්ව ගියේය. මේ වන විටත් ඔහු එරට රැඳී සිටින්නේය. එබැවින් මේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීමට බොහෝ දුරට ඉඩ ඇත. කෙසේ වෙතත් නවාස් ශරීෆ් ගේ දේශපාලන පක්ෂයට මේ තීන්දුවෙන් ජයග්‍රහී හැඟීමක් නම් හිමිවනු නිසැකය. ඒ ඔවුන් මුෂාරාෆ්ට එරෙහි මේ චෝදනාව වසර ගණනාවක් අධිකරණමය කටයුත්තක් ලෙස ඉදිරියට ගෙන ඒමට කැපවී ක්‍රියා කළ බැවිනි. නවාස් ශරීෆ්ගේ පක්ෂයේ මේ කැපවීම එකට එක කිරීමක් ලෙස දැකිය හැකිය.
1998 වසරේදී මුෂාරාෆ් තරු හතරේ ජෙනරාල්වරයකු බවට පත් කරමින් පකිස්තාන හමුදාව ඔහුට බාර දෙන්නේ නවාස් ෂරීෆ් ය. එහෙත් 1999 වන විට ඔවුන් දෙදෙනා දරුණු පස මිතුරන් බවට පත් වන්නේය. ඒ බලය යන සාධකය පදනම් කර ගනිමිනි. හමුදාපති ධූරයෙන් සෑහිමකට පත් නොවී තවතවත් බලය ලබා ගැනීමට මුෂාරාෆ්ට කිසියම් විදෙස් රටකින් යම් පෙළඹවීමක් සිදු කෙරුණේද යන්න වැඩිදුරටත් සිතා බැලීමට තරම් සාධක සහිත කරුණකි. කෙසේ වුවද තමා තවදුරටත් දක්ෂ බව මුෂාරාෆ් එවකට සිටි අගමැති නවාස් ශරීෆ්ට පෙන්වා දෙන්නේ ඔහුට එරෙහිව හමුදා කුමන්ත්රනයක් මගින් බලය ලබා ගනිමිනි. පසුව ඔහු එරට අගමැති ධූරයට තමාම පත්වූයේය. එමෙන්ම පසුකාලීනව තමා ප්රජාතන්ත්රවාදී ලෙස පත්වූ ප්රජාතන්ත්රවාදී පාලකයකු බව ලොවට මෙන්ම පකිස්තාන ජනතාවට පෙන්වීමටද වැඩි උත්සාහයක් දැරුවේය.
විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ මුෂාරාෆ්ගේ පාලන සමයේදී පකිස්ථානයට මුළු ලෝකයේම අවධානය හිමිවූ බවයි. එසේ වූයේ 2001 වසරේදී අමෙරිකාව බින් ලාඩන් සොයා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමයි. ඒ සඳහා අමෙරිකානු හමුදාවන්ට භූමිය සපයනු ලැබුවේ පකිස්ථානයයි. අමෙරිකානු ගුවන් යානා බින් ලාඩන් සොයා ඇෆ්ගනිස්ථානය කරා ගුවන් ගත වූයේ පකිස්ථාන ගුවන් තොටුපොළ භාවිත කරමිනි. කෙසේ වුවද මේ කාලයේ පකිස්ථානයට කිසිදු ආර්ථික අහේනියක් වූයේ නැත. මුෂාරාෆ්ට තර්ජන එල්ල කිරීමට කිසිදු පකිස්ථාන දේශපාලනඥයකුට නොහැකි වූ අතර ඔහු 2008 වන තෙක් නිරුප්රදිැතව පාලනය ගෙන ගියේය. මේ අතර ඇෆ්ගනිස්ථානය බිමට සමතලා කර දැමූ ඇමරිකාවද යළි සියරට බලා ගියේය.
ව්‍යවස්ථාව වෙනස් කරමින් දිගින් දිගටම බලයේ සිටීමට මුෂාරාෆ් උත්සාහ කරන්නේ මේ අතරවාරයේදීය. පසුකාලීනව ඔහුට එරෙහිව නවාස් ශරීෆ්ගේ පාක්ෂිකයන් අධිකරණය හමුවේ තබන්නේද මේ චෝදනාවය. මුෂාරාෆ් බලයෙන් ඉවත් වූ 2008 වසරින් පසුව ඔහු මේ චෝදනාව යටතේ අධිකරණය හමුවට කැඳවුණු අතර 2016දී ඔහු අධිකරණ අවසරය මත ප්‍රතිකාර ලබා ගැනීමට සවුදි අරාබිය බලා පිටත් වන්නේය.
බලය තමන් සතු කර ගැනීමට සහාය දෙන බළල් අත් තම අවශ්‍යතාව ඉටු කර ගත් පසු තමන් අතහැර යන බව මුෂාරාෆ් පමණක් නොව බළල් අත්වලට හසුවන බොහෝ දෙනා වටහා ගත යුතු මූලික කාරණයක් වන්නේය. එමෙන්ම බලය සදාකාලික නොවන බවද ඒ සමග තේරුම් ගත යුතු අනෙක් කරුණ වන්නේය. මේ වන වට පකිස්ථාන අධිකරණයෙන්ම දස වසරක සිර දඬුවම් ලැබ සිටින නවාස් ශරීෆ්ද මුෂාරාෆ් සේම ඒ දහම තේරුම් ගන්නවාට සැක නැත.