
බලය ලබා ගැනීම පමණක් නොව බලය රැක ගැනීමටද පාලකයකු මුහුණ දෙන ප්රධාන අභියෝග දෙකකි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මේ අභියෝග දෙකටම එකවර මුහුණ දී සිටින්නේය. ඔබාමාගේ ධූර කාල දෙකක සාර්ථක පාලනයකින් පසු ඩිමොක්රටික් පාලනය අවසන් කරමින් රිපබ්ලිකන් පක්ෂයෙන් ට්රම්ප් බලයට පත් වූයේය. එහෙත් ඔහුට බලයට පත්වූ දා සිට ඩිමොක්රටික් පාක්ෂික කකුලෙන් අදින්නන්ගේ අභියෝගවලට නොඅඩුව මුහුණ දීමට සිදුවිය. එහි උච්චතම අවස්ථාව ලෙස මේ දිනවල පැවැත්වෙන දෝෂාභියෝගය දැක්විය හැකිය.
අමෙරිකානු ජනාධිපතිවරයකුට එල්ල වන දෝෂාභියෝගයක් එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්රී මණ්ඩලයෙන් සහ සෙනේට් මණ්ඩලයෙන් සම්මත විය යුතුය. මේ වන විට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව සෙනේට් මණ්ඩලයේ වැඩි බලය ට්රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතු වන අතර නියෝජිත මන්ත්රී මණ්ඩලයේ වැඩි බලය ඩිමොක්රටික් පාක්ෂිකයන් සතු වේ. ඒ අනුව ජනාධිපති ට්රම්ප්ගේ දෝෂාභියෝගය නියෝජිත මන්ත්රී මණ්ඩලයෙන් සම්මත වුවද සෙනේට් මණ්ඩල ඡන්දයෙන් ඔහුට කිසියම් රැකවරණයක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
මෑත කාලින ඉතිහාසයේ ජනාධිපති ධූරයට පත්වූ සෑම අමෙරිකානු ජනාධිපතිවරයෙක්ම ධූර කාල දෙකක් සේවය කළ අතර ට්රම්ප් ජනාධිපතිවරයාද ලබන වසරේදී යළිත් දෙවැනි ජනවරම උදෙසා තරඟවැදීමේ බලාපොරොත්තුවෙන් සිටින්නේය. එහෙත් ඩිමොක්රටික් පාක්ෂිකයන් ඔහුට පහසු ජයග්රහණයක් ලබා ගැනීමට අවස්ථාව දෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය.
ලබන වසරේදී ඔහුගේ ප්රධාන ප්රතිවාදියා වනු ඇතැයි දැනට විශ්වාස කෙරෙන්නේ හිටපු ජනාධිපති ඔබාමාගේ උප ජනාධිපති වූ ජෝ බයිඩන්ය. ඔහුගේ පුත්රයාගේ යුක්රේන සමාගමක සිදුවු අයථා ගනුදෙනුවක් සම්බන්ධව සඳහන් කරමින් යුක්රේනයේ අලුතෙන් පත් වූ ජනාධිපතිවරයාට බලපෑම් කළේය යන්න ජනාධිපති ට්රම්ප්ට ඩිමොක්රටික් පක්ෂය විසින් දෝෂාභියෝගය ගෙන එමින් එල්ල කර ඇති චෝදනාව වේ. මේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ මණ්ඩල දෙකින්ම සම්මත වුවහොත් ජනාධිපතිවරයාට තම ධූරය හැර යෑමට සිදුවනු ඇත.
කෙසේ වුවද ව්යාපාරික ලෝකයේ ජය කෙහෙලි නැංවූ, අමෙරිකානු ජාතිකවාදය ඉතා සූක්ෂ්මව කරළියට ගෙන එමින් ජනතා හද බැඳගැනීමට දේශපාලනික ඥානයකින්ද සමන්විත වූ ඩොනල්ඩ් ට්රම්ප් වැනි පුද්ගයකු මේ කිසිවකින් පසු බසිනු ඇතැයි සිතිය නොහැකිය. ඇතැම්විට ලබන වසරේ මැතිවරණයේදී මේ සියල්ල තම වාසියට හරවා ගැනීමට වුවද ඉඩ ඇත.