ළමයින්ට බඩ පිරෙන්න කන්න දෙන්න | සිළුමිණ

ළමයින්ට බඩ පිරෙන්න කන්න දෙන්න

සාග් කලාපයේ ඉන්දීය මලල ක්‍රීඩා අධිපතිවාදය තරගාවලි අටකට පසු බිඳ දමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කත්මණ්ඩු නුවරදී සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 15ක් දිනා ගනිද්දී ඉන්දියාවට දිනා ගැනීමට හැකි වූයේ රන් පදක්කම් 12ක් පමණි. මෙහිදී මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනා ගත් රන් පදක්කම් 15න් 11ක් ම දිනා ගැනීමට ක්‍රීඩිකාවන් සමත්වීම විශේෂත්වයකි. 2016 සාග් තරගාවලියේ ඉන්දියාව රන් පදක්කම් 28ක් දිනාගනිද්දී ශ්‍රී ලංකාවට හිමි වූයේ රන් පදක්කම් 9කි.

නොලැබුණු දෑ පිළිබඳ වද නොවූ කණ්ඩායම ක ශක්තිය මැනවින් වටහා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තමන්ට අභියෝග කළ නිලධාරින්ට උත්තර දුන්නේ එකී අභියෝගයන් වෙස්වලා ගත් ආශිර්වාදයක් කර ගනිමින්ය. මේ ලාංකේය මලල ක්‍රීඩාවේ වත්මන් ගමන් මඟ පිළිබඳ කතාබහකට ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සහ මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන සජිත් ජයලාල්ට අප වෙන් කළ ඉඩ කඩයි.

ඔබ පුහුණුකරුවකු විදියට සාමාන්‍යයෙන් දකින ස්ත්‍රියක් හෝ පුරුෂයකු ක්‍රීඩිකාවක්- ක්‍රීඩකයෙක් දක්වා ගොඩ නගන පසුබිම මොකක්ද?

සාමාන්‍යයෙන් 75% ක විතර බාහිර පෙනුමෙන් ම යම්කිසි අවබෝධයකට එන්න පුළුවන් මෙයා ක්‍රීඩකයකු හරි ක්‍රීඩිකාවක් විදියට ගොඩ නගන්න පුළුවන්ද කියන කාරණාව තේරුම් ගන්න එයින්ම පුළුවන් මෙයා ගැළපෙන්නේ කෙටි - මැදි හෝ දිගු දුරට කියලා. අපේ මිනිස් ශරීරයේ මාංශ පේශීන්ට අනුව කෙසඟ ශරීර වගේම උසට සරිලන මහතක් තියෙන පුද්ගලයන් අපට හම්බ වෙනවා. මේ වගේ අය අපට මුණ ගැසුණාම තීරණය කරන්න පුළුවන් දුවන්න පුළුවන්ද බැරිද කියන කාරණය.

පුද්ගලයකුගේ උස ගත්තම සමහර අය ඉන්නවා කකුල්වලින් උසයි. කඳ කොටස කොටයි. ඒ වගේ අය දැක්කම අපට තීරණය කරන්න පුළුවන් ඉසව්වලට තිබෙන ගැළපීම මොකක්ද කියලා.

ළමයකුගේ පොඩි කාලයේ චර්යා රටාවන් පවා මෙයට බලපානවාද?

ඔව්, ළමයකු විලුඹ තියලා ඇවිදිනවානම් ඒක අපට ගැළපෙන්නේ නෑ. අපට පැය පැය දෙක වගේ කාලයක් දුවන්න තියෙනවා.ඇත්තටම කකුලේ ඇඟිලි යට තියෙන ප්‍රදේශය භාවිතා කරලා පොඩි කාලයේ ඉදලා ඇවිදිනවා නම් මෙයාගේ ස්වභාවයෙන් අපි දන්නවා මෙයාගේ ශාරීරික යෝග්‍යතාව ක්‍රීඩාවට ගැළපෙනවා කියලා.

ඒ කියන්නේ බාහිර පෙනුමෙන්ම තීරණය කරන්න පුළුවන්.?

ඔව්, ශරීරයේ උඩු කොටස සහ යටි කොටස සම්බන්ධිකරණය කරන කඳ ප්‍රදේශ පටු නම් වඩාත් හොඳයි. වැඩිපුර දුවන කොට වැඩියෙන්ම බර අරගන්න වෙන්නේ ඔය ප්‍රදේශයට. මේ බර දරා ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් පුහුණුවීම් සඳහා සම්බන්ධ කර ගන්නවා.

බාහිර සාධක කොහොමද මේ සඳහා බලපාන්නේ?

සාමාජීය සාධක පැත්තෙන් ගත්තම අපි මුලින්ම අහන්නේ අම්මා - තාත්තා ක්‍රීඩාවක නිරත වෙලා තියෙනවාද කියලා. මට තියෙන අත්දැකීම තමයි මගේ ළඟ ඉන්න ළමයින්ගෙන් හුඟක් අය දුෂ්කර පළාත්වල අය. අම්මා - තාත්තා ක්‍රීඩාවට සම්බන්ධ නොවෙන්න පුළුවන්. හැබැයි මේ අය අති දුෂ්කර ජීවිතයක් ගත කරන අය. තේ වත්තක දළු කඩන, නැත්නම් කුලී වැඩ කරන, අත්වැඩ දෙන මෙවැනි අම්මලාගේ ළමයින් තමයි මට ගොඩක් හම්බ වෙලා තියෙන්නේ.

මේ අම්මලා මාස 7-8 දරුවා කුසේ තියාගෙන වැඩ කරන අය. ඒ වැඩ කිරීම එක්ක මේ ළමයින්ගේ ක්‍රියාකාරිත්වය පවා හොඳ මට්ටමක තියෙනවා. මේ වගේ ළමයි දුර දුවන්න හුඟක් දක්ෂයි. මෙය අපට විතරක් නොවෙයි කෙන්යාවටත් බලපාන දෙයක්. විශේෂයෙන් කෙන්යාවේ පවා අම්මලා දරුවන් කුස තුළ දරා ගෙන ගොඩක් වැඩ කරනවා. මේ පාර සාග් තරගාවලියේ පදක්කම් දිනා ගත්ත මගේ ළමයි තුන් දෙනා ගත්තොත් නිලානි රත්නපුරයේ. දුෂ්කර පැත්තක. කුමාර් හැටන් ප්‍රදේශයේ. ගයන්තිකා සුරියවැව ප්‍රදේශයේ. මේ තුන් දෙනාම ගත්තම කෘෂි කාර්මික පරිසරවල ජීවත්වන අයයි. මේ ළමයින්ට තියෙන මුලිකම දේ තමයි මොන තරම් පුහුණුවීම් කළත් තරග කරන අවස්ථාවේ පවතින මානසික මට්ටම තමයි වඩාත් වැදගත් වෙන්නේ. මේ ළමයින් තුන් දෙනාම ගත්තාම දවසේ තුන්වේල ම කාපු අය ‍නොවෙයි. මේ ළමයින්ට එක් කෑම වේලක් අත් හැරෙනවා.

මේ අයට තියෙන මූලිකම අභියෝගය තමයි ඊළඟ කෑම වේල හොයා ගන්නේ කොහොමද කියන එක. මේ අභියෝගය ඔවුන් කොහොම හරි ජය ගන්න පසුබිමක ඉන්න නිසා, සමාජයේ පවතින සාමාන්‍ය ප්‍රශ්න බවට පත් වෙනවා. මේ නිසා තරගවලදී මොන බාධක තිබුණත් ඔවුන් ඒ අභියෝගය ජය ගන්න බලනවා.

ඒ කියන්නේ දරිද්‍රතාව ජය ගත්ත නම් දුවන්න ඕනෑ කියන එකනේ?

හරියට හරියට අපි පුහුණු කරුවන් විදියට කරන්නේ මේ අභියෝගය ජය ගන්න පුළුවන් පරිසරය ඔවුන්ට සකසා දීමයි.

මම දන්න තරමින් අපේ රටේ පොහොසත් පවුල් පසුබිම ක කෙනෙක් සාග් දිගු ආර දිවිම් ඉසව්වල පදක්කමක් දිනා ගෙන තියෙනවාද කියලා සැකයක් තියෙනවා. මේ සමාජයේ ඇතුළේ තියෙන්නේ ඒ තරම් දෂ්කර ජීවිතයක්. පන්තියේදී සමහරවිට හරියට පැන්සලක් - පෑනක්වත් මේ අයට තිබුණාද කියලා සැකයි. අනික් අයට තියෙනවා මට නෑ. මම කොහොමද මේ දේ ලබා ගන්නේ කියන ඒකම අභියෝගයක් වන කොට ඔවුන් කොහොම හරි තමන්ගේ ඉලක්කවලට යන්න බලනවා. මේ ඉසව්වල දුවන ළමයින්ගේ තිබෙන සහජ හැකියාව සහ තමන් පරිසරයෙන් ලබපු කටුක ජීවිතය ජය ගන්නේ කොහොමද කියන එකයි.

මේ දේවල් බලධාරීන් තේරුම් ගෙන ඉන්නවා කියලා ඔබ හිතනවාද?

පුහුණුකරුවකු විදියට මගේ නම දකින කොට ම මට ලොකු ගැටලුවක් මතු වෙනවා. මම වෘත්තියෙන් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන පහෙන් ප්‍රධානම ආයතනය වන ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරනවා. සමහර වෙලාවට මම මේ මතු කරන කාරණා වෘත්තියට බලපාන්නත් පුළුවන්.

පසුගිය අවුරුදු පහක කාලය තුළ ලේකම්වරු පස් දෙනෙකු මාරු වුණා. අපි ලේකම්වරයා හඳුනා ගන්න කොට ලේකම්වරයා ක්‍රීඩාව හදුනා ගන්න කොට ලේකම්වරයාට මේකෙන් මාරු වෙන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙලා තියෙන්නේ.

ක්‍රීඩා අමාත්‍යාංශයට බලය තිබුණාට මෙය සම්පූර්ණයෙන් ම මෙහෙයවීමේ වගකීම තියෙන්නේ ජාතික සංගම්වලට හා ඔලිම්පික් කමිටුවට. ඔවුන්ට හොඳ දැක්මක් වගේම හොඳ වැඩ පිළිවෙළක් තිබුණොත් විතරයි අපට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මම ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා වුණාට, ළමයින් පුහුණු කිරීමේදී කිසිම කෙනෙක් ගෙන් ශත පහක මුදලක් ගන්නේ නෑ. අනුග්‍රහකයින්ගෙන් මුදල් ගන්නේ නෑ. මම කියුබාවෙන් ලබා ගත්ත පුහුණුව මේ ළමයින් එක්ක බෙදා ගැනීමක් තමයි මේ කරන්නේ.

ඔබට ගැටලු මතු වෙන්නේ නැද්ද?

මතු නොවෙනවා ම නෙවෙයි. මගේ සාමාන්‍ය ජීවිතයම ටොරින්ටන්වල ගෙවෙන්නේ. උදේ 6.10 - රෑ 7.30 විතර වෙනකම් මම වැඩ කරනවා. සමහර අය මුලින් හිතුවා මට මෙහෙම කරන කොට විශේෂ වරප්‍රසාද හම්බ වෙනවා ඇති කියලා. නෑ එහෙම දෙයක් නෑ. මම පාපන්දු ක්‍ර‍ීඩා කළේ. කුලරත්න මහතා යටතේ මලල ක්‍රීඩකයකු විදියට පුහුණුවීම් කරලා, සරසවියට යන කොට තමයි කියුබාවේ යන්න ලැබුණේ. ජාතික තලයේ තරග දිනලා තියෙනවා. සමහර අය මේ දේවල් දන්නෙත් නෑ.

මම සරසවි අධ්‍යාපනය හදාරන කොට දුවනවා. හැබැයි සියයට සියයක්ම ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ නෑ. දුවන්න බැරි අය ග්‍රවුන්ඩ් එකේ හිටියත් දුවනවා කියලා පිළිගන්නවා. මම අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් සමබරව කළා. සහතික තියෙනවා. ට්‍රේනින් වෙලාවේදී ට්‍රේනින් කළා. අධ්‍යාපන කටයුතු වෙලාවට ඒ දේ කළා. මම මේ තුළම ජීවත් වුණේ නෑ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක වැඩ කරන කොට මතුවන ගැටලු මොනවාද?

සමහර අය දුවන්න බෑ කියලා වැ‍ටෙනවා. ඔවුන්ට හැකියාව වගේම දක්ෂතාව තියෙනවා. මම හැම වෙලාවේම ඔවුන්ට කියන්නේ මේ තැනින් ඉදිරියට යන්න නම් අපි තව ටිකක් දුවන්න ඕනෑ කියලයි. තව මීටර් 100ක් දුවමු කියලා තමයි ඔවුන්ව දිරිමත් කරන්නේ. අපිට ක්‍රීඩාව විද්‍යාත්මකව ඉදිරියට ගන්න වැඩපිළිවෙලක් නෑ. පහසුකම් නෑ. හැබැයි අපිට තියෙන අත්දැකීම් එක්ක මේ ගමන ඇදගෙන යනවා. අපේ රටේ වඩුවැඩ කරන අය ලීයක් දැක්කම දන්නවා මේකට යකඩ ඇණයක් ගැහුවා ම පුපුරනවා කියලා. සමහර වෙලාවට ගහන්නේ ලී ඇණයක්. අපිටත් තියෙන්නේ ඒ වගේ අත්දැකීමක්. අපිට ඒ දැනුම තියෙනවා. අපි අත්දැකීමෙන් ම දන්නවා ළමයාගේ තත්ත්වය මොකක්ද කියලා. හැම දෙයක් ම න්‍යායාත්මකව ගන්න බෑ. මේ මම උගන්නනවා. ඒ නිසා කොච්චර ඉගැන්නුවත් මම දන්නවා ප්‍රායෝගික නොවුණහොත් මේ ගමන අපට යන්න බෑ කියලා.

ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ගොඩනැගීම හා පදක්කමක් කරා ගෙනයෑම එකක්ද? දෙකක් ද?

පැහැදිලිව ම දෙකක්. ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකරු කියන්නේ ඔහුගේ කාර්යය පුහුණුකාර භූමිකාව විතරයි. ඒක මම වෘත්තීය මට්ටමේ දකින්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ විතරයි. ඊට පස්සේ මේ ක්‍රීඩකයා පාලනය කරන්න කළමනාකරුවකු ඉන්නවා. එයා මේ ක්‍රීඩකයාගේ කන බොන තැන ඉඳලා රෑට නිදා ගන්න එක, ෆෝන් භාවිතය, මාධ්‍ය ගනුදෙනු, නිවාඩුවක් ගන්න එක පවා කළමනාකරණය කරනවා.

මලල ක්‍රීඩාවේ මේ හැම දෙයක්ම කරන්න වෙන්නේ මට. සමහර වෙලාවට ළඟම යහළුවාගේ මළගෙදරට යන්න දෙන්නේ නෑ. යුද හමුදාවෙන් එන්න කිව්වට යන්න දෙන්නේ නෑ. ඒ හැම දෙයක් ම මම තමයි හොයලා බලලා කරන්නේ. මේ හැම දෙයක් ම කරන්න නම් රටේ නමක් හදාගෙන තියෙන්න ඕනෑ. ඒ නම මම හුඟක් දුක් විඳලා හදා ගත්තා. උදාහරණ ලෙස මේ සාග් තරගාවලියේ ඡායාරූපවලට පෙනී සිටින්න කිව්වට, මම ළමයින්ට එන්න දුන්නෙ නෑ. මට ඡායාරූප එපා, අපි ඉතුරු වෙන දේ ගන්නම් කියලා, අපි අඩුපාඩු කියන්න ගියෙත් නෑ. තියෙන දෙයින් අපි අපට පුළුවන් උපරිමය කරනවා.

පුහුණුව තමයි වැදගත් ම දේ කියලා එය ළමයින්ගේ ඔළුවට දැම්මා. සමහර වෙලාවට දේශන තිබුණා. දේශන ඕනෑ. මේවා අවශ්‍යයයි. ඒ දේ ඕනෑ කරන වෙලාවක් තියෙනවා. ඒ දේ තේරුම් ගන්න ඕනෑ. දේශන තියෙන්නේ කොළඹ. මගේ ළමයි ඉන්නේ දියතලාවේ. එන්න දවසයි, යන්න දවසයි. දේශනයට දවසයි. ළමයා කිව්වොත් සර් මම දවස් තුනක්ම මහ මඟ, දවස් 3 - 4 ක් ට්‍රේනින් නැති වෙනවා. මම මේ දේවල් තේරුම් අරගෙන වැඩ කරන්නේ. පදක්කමට යනවා කියන්නේ වෙන ම කතාවක්.

අපි කැමැතියි ඒ කතාවත් අහන්න?

මට මේ දේ මුල්කාලයේ කරගන්න බැරි වුණා. යන්තමට නම හැදිලා තිබුණාට, සජිත් කිව්වට හරි නමක් වටිනාකමක් තිබුණේ නෑ. අද වෙනකොට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණ පුහුණුකරුවන් නෑ. ලක්ෂ්මන් ද අල්විස්, ඩර්වින් පෙරේරා, යෝගානන්ද විජේසුන්දර, පැරී ලියනගේ මේ වගේ ප්‍රවීණ පුහුණුකරුවෝ නැති පාඩුව අද වෙනකොට ගොඩක් දැනෙනවා.

දැන් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ අවුරුදු 4 - 5 ක් වත් අත්දැකීම් නැති පුහුණුකරුවන්. මම දකින්නේ හරියට මැද ඉන්න පුහුණුකරුවෙක් විදියටයි. මම ප්‍රවීණ පුහුණුකරුවන්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළයි. දැන් ඉන්න පුහුණුකරුවන්ට වඩා ඉහළයි. මේ ඉහළ - පහළ ස්ථාන සමහර වෙලාවට සම්බන්ධීකරනය කළේ මම. සුනිල් ගුණවර්ධන මහතා එක්ක ප්‍රශ්න ඇති වුණු වෙලාවට පවා මේ ගැටලු නිරාකරණය කළේ මම. මම දන්නවා සුනිල් ගුණවර්ධන‍ගේ අත්දැකීම් සහ ඒවායේ වටිනාකම. මම මෙය දිගින් දිගටම පවත්වාගෙන යන්න උත්සහ කරනවා.

මගේ ළඟ දුවන නිලානි රත්නායක ගත්තොත්, එයා දුවපු ඉසව් දෙකේ ම දිව්වේ ආසියානු ශූරිය එක්ක. පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවල ඉදිරියෙන් හිටියා. චිත්‍රා හතර වතාවක් සාග් ශූරිය. එයත් එක්ක තමයි දුවන්න තිබ්බේ. මම කිව්වේ මම කොච්චර පුහුණු කළත් වැඩක් නෑ. මගේ ම දෙන්නෙක් දිව්වේ. දෙන්නා දෙන්නගේ රේස් එක දුවන්න. පස්සේ රේස් එක ඉවර වෙලා ඇවිත් කියන්න එපා අරයා වැදුණා. මෙයා වැදුණා කියලා. ගයන්තිකාගේ පොඩි ආබාධයක් තිබුණා. හැබැයි මගේ හිත යට තිබුණා නිලානිට මේ දේ කරන්න පුළුවන් කියලා.

පුහුණුවීම් කළේ?

පෝලෝ ග්‍රවුන්ඩ් එකක. මේකේ පොඩි ආනතියක් තියෙනවා. එකේ අවසන් ටික දුවන්න තියෙන්නේ පුංචි කන්දක් එක්ක. මම හැම වෙලාවෙ ම කිව්වේ මේ කන්ද වේගයෙන් දුවන්න. ඕනෑ කෙනෙක්ව අවසන් අදියරේ මීටර් කිහිපයේ එළවලා යන්න පුළුවන් කියලා. මගේ රේස් තුනම බැලුවොත් මීටර් 10,000 බැලුවොත් එයා ලෝකඩ පදක්කමට එන්නේ අන්තිම මීටර් 100 දුවලා. නිලානි මීටර් 5000 අන්තිම මීටර් 200 දුවලා. අපි මීටර් 5000 රේස් එක වේගය අඩාල කරලා දිනනවා කියන්නෙත් උපක්‍රමයක්. ඒක මගේ හැකියාවටත් වඩා එවෙලේ තරගකරන ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ හැකියාව.

පදක්කමට පුහුණු කරන්නේ කොහොමද?

මම කිසිම තැනක අඩුපාඩු දකින්න කැමැති නෑ. මම අදටත් ඉල්ලන්නේ හොඳට කන්න දෙන්න. හොඳට ඉන්න දෙන්න. ඊට පස්සේ පදක්කම් ඉල්ලන්න කියලයි. නිලානිට දැන් ඉන්න තැනක් තියෙනවා. යුද හමුදාවෙන් දියතලාවේ හොඳ ගෙයක් දීලා තියෙන්නේ. දැන් ළමයින්ට බඩ පිරෙන්න හොඳට කන්න දෙන්න.

දැන් මිනිස්සු බලයි මොකක්ද මේ බඩ පිරෙන්න හොඳට කන්න දෙන්න කියන්නේ කියලා?

මේ ළමයින්ට දවසකට රුපියල් 1500 - 2000 ක විතර වියදමක් යනවා හරියට කනවා නම්. මේ කෑම වේලේ හැම දෙයක්ම තියෙන්න ඕනෑ. මම හැම තිස්සේ ම මුදල් ඉල්ලන්නේ නෑ. ළමයින් පුරුදු කරලා තියෙන්නේත් ඒ විදියට. යටිතල පහසුකම් ටික හරියට හදලා දෙන්න. මගෙන් අදත් ඇහුවොත් මම කියන්නේ ළමයින්ට හරියට කන්න දෙන්න. කන්න දුන්නොත් පදක්කම් දෙන්නම් කියලයි. අපි කරන පුහුණුවීම්වල ධාරිතාව, වගේ ත්වරතාවන් හරිම ඉහළ මට්ටමක තියෙන්නේ. අපි කැලරි විශාල ප්‍රමාණයක් වැය කරනවා. මේ වැය කරන ප්‍රමාණය නැවත ලබා ගන්න ඕනෑ. නැත්නම් ඊළඟ දවසේ පුහුණුවීම්වලට බලපානවා.

වැල්ලේ දුවපු සමුගේෂ්වරන් මෙවර සාග් තරගාවලියේ පදක්කමක් කරා ගෙන ගියේ කොහොමද?

සමුගේෂ්වරන් කියන්නේ පරණ යකඩ බඩු එකතු කරන තැනක කුලියට වැඩ කරපු කෙනෙක්. අපේ නිලධාරී කෙනෙක් මෙයා අවුරුදු උත්සවයක දුවනවා දැකලා තමයි අපිට විස්තරය කිව්වේ. මෙයාට කිසිම සහතිකයක් තිබුණේ නෑ. හැබැයි දුවන කොට දක්ෂතාව තියෙනවා කියලා මට තේරුණා.

මම අදටත් යුද හමුදාවට ස්තුතිවන්ත වෙනවා. මෙයාව යුද හමුදාවට දාගන්න සහතික කිසිම දෙයක් තිබුණේ නෑ. මම හදා ගෙන තිබුණු නම නිසාම කතා කරලා කිව්වා, පුළුවන් නම් ගන්න මෙයාව හදලා ගන්න පුළුවන් කියලා.

ශ්‍රී ලංකා යුද හමුදාවට බඳවගෙන අවුරුදු දෙකක් යන කොට, අපේ රටේ අර්ධ මැරතන් ශූරයා වෙනවා. දැන් හොඳ තැනක ඉන්නවා. හොඳ පුහුණුවක් ලබනවා. වයසත් හොඳයි. තව අවුරුදු දෙකක් යන කොට මේ ළමයා හොඳ තැනකට එනවා. මේ අයට හොඳට කළමනාකරණය කර ගන්න ඕනෑ. එතකොට තමයි ඉදිරියට තව තවත් දක්ෂතා වර්ධනය කර ගන්න පුළුවන් වෙන්නේ.

ටීම් එකට කළමනාකරුවකු ඕනෑ වෙන්නේ තරගාවලියට යන්න විතරක්ම නොවෙයිනේ?

ඔව්. ක්‍රිකට්වල වගේ ළමයින් එක්කම අවුරුද්ද පුරාම ඉන්න කළමනාකරුවකු වෙන්න ඕනෑ.

එතකොට මේ කළමනාකරු පුහුණුකරු එක්ක තමයි මේ ළමයින් අතර සම්බන්ධය ගොඩනගා ගන්නේ. ළමයින්ගේ අඩුපාඩු සොයා බලනවා වගේම ළමයි සහ පුහුණුකරු අතර පවතින ගණුදෙනුවත් කළමනාකරු හරියට කරන්න ඕනෑ. එතකොට කළමනාකරු දැන ගන්න ඕනෑ මම සහ ළමයි අතර පවතින අඩුපාඩු ටික හරි ගස්සන්න. මේ දෙකම හරියට කෙරුණොත් විතරයි අපට ආසියානු මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. මම මෙතැන අධ්‍යක්ෂවරයා විදියට වගේ ම පුහුණුකරුවකු විදියටත් වැඩ ගොඩක් තියෙනවා. මම මේ ගමන බිම් මට්ටමේ ඉඳලම හදා ගෙන යන්නේ.

අපි සමුගේෂ්වරන් දිහාවට ආයෙත් හැරු‍ණොත්, ඔහු සමඟ ගමන ලෙහෙසි වුණාද? ලෙහෙසි නෑ. මෙයා එක්ක පුහුණුවීම්වලට මම දැම්මේ ගීතානි රාජසේකරව. ගීතානිට මේ ක්ෂේත්‍රයේ හොඳ අත්දැකීම් තියෙනවා. ගීතානි දැන් පුහුණුවීම් කරන්නේ නැති වුණත්, මතක් කළ යුතුම කෙනෙක්.

සමුගේෂ්වරන්ගේ දුවන රිදම් එක හදා ගත්තේ ගීතානි එක්ක දුවන්න අවස්ථාව සලසලා දීලයි. මුල් කාලයේ ගීතානි එක්ක දුවන්න දුන්නාම මට ප්‍රශ්නයක් ආවා කාන්තාවක් එක්ක පුහුණුවීම් කළ නිසා. මට දොස් කියපු අය දැනගෙන හිටියේ නෑ මම මොනවාද කරන්නේ නෑ. අපි තට්ටු ගොඩනැඟිල්ලක් හදනවා නම් අත්තිවාරම හොඳට හදන්න ඕනෑ. හොඳ අත්තිවාරමක් නැතුව සමුගේෂ්වරන් වැනි ක්‍රීඩකයෙක් හරියට ගොඩ නගන්න බැරි බව දැන ගෙන හිටියා. අපි දාන අත්තිවාරම මත තමයි උඩ හැදෙන්නේ කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. හැම පුහුණුකරුවකු ළඟම ළමයකුගේ ලිඛිත සටහනක් තියෙන්න ඕනෑ.

අපි දුවන ප්‍රමාණය ඇති ද?

අපි දුවන ප්‍රමාණය මදි. හැබැයි අපේ අය කියන්නේ මම දුවවනවා වැඩියි කියලයි. මට නිතරම ඇහෙන්නේ හැබැයි මම විශ්වාස කරන්නේ ලෝක මට්ටමින් ගත්තාම අපි දුවනවා මදි. හැබැයි මේ දිවිල්ලට අර මම කිව්ව කළමනාකරු, දෛනික කැලරි ප්‍රමාණය ආදි දේවල් හරියට තියෙන්න ඕනෑ.

මගේ ළඟ දුවන ළමයකුට සපත්තු දෙකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස එකහමාරක් දෙකක් විතරයි. සපත්තු අබලන් වෙන කොට ආබාධ මතු වෙනවා. සපත්තු දෙකක් රුපියල් 25,000 ක් 35, 000 ක් විතර වෙනවා. එතකොට මේ යුද, නාවික, ගුවන් හමුදාවලින් දෙන පඩියෙන් හොඳට කාලා සපත්තු දෙකක් දාලා දුවන්න බෑ. මේ ළමයි සමහර වෙලාවට අම්මා තාත්තාට සලකන්නේ මේ ලැබෙන වැටුපෙන්. එයාගේ දේවල් කරගන්න ඕනෑ.

සාග්වලින් මතු වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරියට රැක බලා ගන්න වැඩ පිළිවෙළකට යන්න පුළුවන් නම් අනාගතය ගැන විශ්වාසයක් තියන්න පුළුවන් ද?.

ඇත්තටම ඔව්, අපි මීට වඩා ලොකු තැනකට හොඳ තැනකට යන්න පුළුවන් කියලා. මම හිතනවා. ක්‍රීඩා අමාත්‍යාංශය මේ පාර හොඳ ගැම්මකින් මේ දේට අතගහයි. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර මහත්තයාට මේ ක්ෂේත්‍ර‍ය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඔබ මේ මතු කරන හැම ගැටලුවක් ගැනම හොඳ අවබෝධයක් තියෙන. තේරෙන ලේකම්වරයෙක්. මම හිතනවා ඔබ මේ මතු කරන හැම ගැටලුවක් ම එතුමා දිග හරියි කියලා. මට තවමත් එතුමා එක්ක කතා කරන්න බැරි වුණා. මේ සාග් තරගාවලිය අවසන් වීමත් එක්කයි එතුමා වැඩ බාර ගත්තේ. 2022 ආසියානු තරගාවලිය පිළිබඳ අපේ ඉලක්ක ගැන කතාබහ කරන්න ඕනෑ. අපි හොඳ ගමනක් මලල ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ඕනෑ. අපේ ගැටලුවට විසඳුම් ලැබුණොත් මලල ක්‍රීඩාවෙන් 2022 ආසියානු තරගාවලියේ පදක්කම් දෙක තුනකට යන්න පුළුවන් වෙයි.

ආසියානු තරගාවලියේ 70 දශකයට පස්සේ මලල ක්‍රීඩාවෙන් පදක්කමක් ගන්නේ 90 දශකයේශ්‍රීයන්ත දිසානායක පදක්කමක් දිනාගන්නා තෙක්ම අපි ඉඩෝරයකට හසු වෙනවා. මේක දීර්ඝ කාලයක්. 2018 දී පදක්කමක් නෑ. මේ ඇවිත් තියෙන්නේ හොඳ අවස්ථාවක්, මෙයින් ප්‍රයෝජනයක් ගන්න අප සියලුම දෙනාම පෙරට එන්න ඕනෑ. පුහුණු කරුවකු විදියට මම කිසි දෙයක් ඉල්ලන්නේ නෑ.

අනෙක් පුහුණුකරුවන්ට ප්‍රශ්න තියෙනවා?

ඔව්, අනෙක් පුහුණුකරුවන්ට ප්‍රශ්න නැතුව නෙවෙයි. ඒ අයට ප්‍රශ්න තියෙනවා. මම කිසිම මාධ්‍යයක් ඉස්සර ප්‍රශ්න තියෙනවා කියලා ප්‍රකාශ කරන්න යන්නේ නෑ.

මම දේශකයෙක් විදියට කටයුතු කරන කොට ලබා ගන්න අත්දැකීම් බෙදා ගන්නවා. හුඟක් අය මගෙන් අහනවා අධ්‍යක්ෂවරයෙක් වෙලා පුහුණු කටයුතු කරන්නේ ඇයි කියලා. මම අධ්‍යක්ෂ වුණාට ක්‍රීඩා විද්‍යායතනයේ දේශකයෙක්. මම මෙතැන න්‍යාය විතරක් උගන්වලා වැඩක් නෑ. මේ දේ ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕනෑ. එහෙම කළොත් විතරයි ඉගෙන ගන්න ළමයෙක් පවා මේ අත්දැකීම් ගන්නේ. ඒකට තමයි මේ මහන්සි වෙන්නේ. අපි මේකේ සංස්කෘතියක් ඇති කරලා තියෙනවා. ඉදිරියට ගෙන යන්න ඕනෑ. මම පහළින් ඉන්න පුහුණු කරුවන්ට කියන්නේ අපි ඉල්ලීම් කරනවා වගේම වැඩ කරන්නත් ඕනෑ.

අනිකුත් සුභසාධක කටයුතු එක්ක ක්‍රීඩාවට වෙන් වෙන මුදල් ප්‍රමාණවත් කියලා හිතනවාද?

අපි තුන්වන ලෝකයේ රටක් දියුණු වෙමින් පවතින රටක්. අනිකුත් සුබසාධක කටයුතු එක්ක බලන කොට ක්‍රීඩාවට වෙන්වන මුදල් ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. හැබැයි මේකට හුරු වෙන්න අපට ‍හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕනෑ. ජපානයේ අය ඉල්ලන දේවල් අපට ඉල්ලන්න බෑ. ජපානයේ සහ අපේ රටේ ඒක පුද්ගල ආදායම වෙනස්. ආදායම් සහ වියදම් පරතර අතර ලොකු වෙනසක් තියෙනවා. අපට ලැබෙන මුදලින් අපි උපරිමයෙන් රට වෙනුවෙන් කරන්න ඕනෑ.

මේ සාග් මලල ක්‍රීඩා කණ්ඩායම කො‍හොමද ඉදිරියට ගෙනයන්න ඕනා?

අපි මේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට වගේම නිලධාරීන්ටත් ඉලක්ක ලබා දෙන්න ඕනෑ. 2020 තරගවලට යන ළමයින්ට අපි දෙන පරිසාදන මට්ටම්වලට එන්න පුළුවන් වට පිටාව ගොඩ නඟන එක වගකීමක්. යම් යම් කෙනෙක් ආබාධයට ලක් වු‍‍ණොත් ප්‍රශ්න මතු වෙනවා. ඒ වගේ අයට වෛද්‍ය ඒකකයේ නිර්දේශ මත තියා ගන්න වැඩ පිළිවෙළකට යන්න ඕනෑ.

මිනිස්සු 50 දෙනකු අපේ රටට බලා ගන්න බැරි නම් එතැන ගැටලුවක් තියෙනවා. මේ 50 දෙනා බලා ගනිද්දිත් ප්‍රශ්න එනවා. මේක ක්‍රිකට් වගේ නොවෙයි. සමහර වෙලාවට පුහුණුකරුවෝ ඇගිලි දිගු කරනවා. අරයගේ ළමයා මෙයාගේ ළමයා ඇතුළේ ඉන්නේ කොහොමද කියනවා ව‍ගේ ගැටලු මතුවෙනවා. පුහුණුකරුවෝ 20 – 25ක් ඉන්න පුළුවන්. මේ සඳහා හොඳ කළමනාකරණයක් තියෙන්න ඕනෑ. හොඳ අදහස් දකින්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම ‍කළොත් මෙය පවත්වා ගෙන යන්න පුළුවන්. පදක්කමකට යනකොට ක්‍රීඩකයාගේ - ක්‍රීඩිකාවගේ ඉඳලා වටපිටාවේ ඉන්න, මේ අය ගනුදෙනු කරන සියලුම දෙනා මේ සඳහා ඍජුව හෝ වක්‍රව බලපානවා. හැබැයි මේ හැම දෙයකම මනා කළමනාකරණයක් තියෙන්න ඕනෑ. මේ සියලු ම දේ අපි එකතු කළොත් විතරයි .අපට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපේ රටේ තියෙන්නේ ළමයා සහ පුහුණුකරුවා විතරයි. මේ ගමන යන්න සියලුම දෙනා එකතු වෙන්න ඕනෑ. ම‍ෙග් ළඟ ඉන්න ළමයින්ගේ අම්මා තාත්තා ගත්තම මෙහෙම පදක්කමක් දිනුවා කියන වටිනාකමවත් දන්නවාද කියන ප්‍රශ්නයක් තියෙනවා.

ඇයි එහෙම වෙන්නේ?

මගේ ළඟ අවුරුදු 4 – 5 ට්‍රේනින් කරන අය ඉන්නවා. හැබැයි මගේ පුතා හරි දුව හරි මොනවාද කරන්නේ කියලා අහපු නැති අම්මලා තාත්තලා ඉන්නවා. මේක තමයි අපේ රටේ මලල ක්‍රීඩාවේ තත්ත්වය. මම මේ දේ තේරුම් අරගෙන තමයි වැඩ කරන්නේ. මේ වැඩේ ලෙහෙසි නෑ. සමහර වෙලාවට අම්මා - තාත්තා දන්නේ නැතුව ඇති තමන්ගේ දරුවා මොන තරම් මහන්සි වෙනවාද කියලා. විභාගයක් පාස් වෙන්න ළමයෙක් ‍ගේ ඇතුළේ මොන තරම් පාඩම් කරනවාද කියලා අම්මලා, තාත්තලා දන්නවා. හැබැයි ක්‍රීඩා පිටියේ ඔවුන් මොන තරම් මහන්සි වෙනවාද කියලා ඔවුන් දන්නේ නෑ. මේක අම්මා - තාත්තා දකින්නේ නෑ. ඔවුන්ගෙන් ඈත්වෙලා කරන දෙයක්. ඈත පළාත්වල අම්මලා - තාත්තලා දන්නේ නැතුව ඇති මගේ දරුවා දවසකට ක්‍රීඩාව වෙනුවෙන් මොන තරම් කට්ටක් කාගෙන පුහුණුවීම් කරනවාද කියලාවත්. මේ මගේ පුහුණු කාලය තුළ මම ලබා ගත්ත අත්දැකීම්.

මේ අපේ මලල ක්‍රීඩාවේ පවතින වෙනස තමයි. මේ ළමයින් එන්නේ දරිද්‍රතාවයේ උපරිමයේ ඉන්න තැනක ඉඳලා. සමහර වෙලාවට ඔවුන් හිතනවා ඇති ළමයා කොළඹට ආවා දුවනවා, රැකියාවක් කරනවා සියල්ල හරි කියලා. මේ පවුල්වල ළමයි 3 – 4 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ වගකීම තියෙන්නේ මේ අයට, ඔවුන්ගෙන් මඟ හැරෙන අය හැළෙන එක පුදුමයක් නොවෙයි.

මලල ක්‍රීඩා සංගමයේ කාර්ය භාරය?

ඒ අයට කරන්න වෙනම වැඩ කොටසක් තියෙනවා. හැබැයි මලල ක්‍රීඩා සංගමය, පුහුණුකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, රජය, ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා වෛද්‍ය ඒකකය මේ ආදි වශයෙන් ගත්තම සාමූහික එකතුවක්. මේ එකතුව දක්ෂ කළමනාකරුවකු යටතේ සම්බන්ධීකරණය වෙන්න ඕනෑ. එතකොට තමයි ඉදිරියට එන්න පුලුවන් වෙන්නේ. කොටින්ම මීඩියා වැඩසටහනට යනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ කළමනාකාරවරයායි. අපේ එහෙම නොවෙයි. මේ හැම දෙයක් ම කරන්න වෙන්නේ මට. එතකොට ප්‍රශ්න මතු වෙනවා. අපට ලොකු පදක්කමකට යන්න බැරිව හිර වෙන්නේ මේ නිසයි. ලොකු පදක්කමකට යන්න නම් පුහුණුව වැඩි කරන්න ඕනෑ. ගෙදර යන එක අඩු කරන්න ඕනෑ. මේකත් එක්ක ජීවත් වෙන්න ඕනෑ. එහෙම කරන්න යනකොට ළමයාට වුණත් හිතෙන්න පුළුවන් මේ මොන වදයක්ද කියලා.

මේ හැම පුහුණුකරුවකු ම මුහුණ දෙන පොදු ගැටලුවක් වෙන්න පුළුවන්?

ඔව්, හැබැයි අපි පුහුණු කටයුතු කරලා, ළමයාගේ ඉතුරු ටික කළමනාකරුට බාර කළාම ඔහු දන්නවා මේ සියල්ලම හරියට කරගෙන යන්න. ඔහු මේ සම්බන්ධයෙන් ළමයාගේ ඔළුව හැදුවාම අපිට තියෙන්නේ පුහුණු කරන්න විතරයි. ළමයා දන්නවා තමන්ගේ වැඩ කොටස මොකක්ද කියලා.

 මේ සමස්තය දිහා ආපහු හැරිලා බලන කොට විශේෂයෙන් අම්මලා - තාත්තලා සහ පුහුණුකරුවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? 

අපේ රටේ ගොඩක් ඉන්නේ ඈත පළාත්වලින් එන දක්ෂ සහජ හැකියාවන් තියෙන ළමයි. නිලානිගේ පුහුණුකරු ගත්තොත් හොඳ ප්‍රවීණයෙක්. සුමන බාලිකාවේ පාලිත. හැබැයි එතුමාගේ ළමයා වැඩිදුරට පුහුණුවට එන්නේ මගේ ළඟට. මේ ජයග්‍රහණය තුළ පුහුණුකරුට 25%ක ප්‍රදානයක් ලැබෙනවා. මේ 25%න් 10%ක් යන්නේ මුල් පුහුණුකරුවාට. මේක හුඟක් අය දන්නේ නෑ.

මම අනිත් පුහුණුකරුවන්ට කියන්නේ, මලල ක්‍රීඩාවේ දිවීම් - පැනීම් - විසි කිරීම් ආදිය වශයෙන් ගත්තම එක පුහුණුකරුවකුට මේ සියල්ලම කරන්න බෑ. මට පැනීම් - විසි කිරීම් හෝ කෙටි දුර පුහුණුවීම් කරන්න බෑ. මම කරන්නේ මැදි දුර සහ දිගු දුර පුහුණුවීම් විතරයි. මීටර් 400 ඉසව්වලින් උඩ ඒවා විතරයි. එතකොට මේ පුහුණුකරුවෝ දැන ගන්න ඕනෑ තමාගේ ප්‍රවීණත්වය තියෙන ඉසව්වේ අවශ්‍ය කෙනාව තියාගෙන අනිත් ළමයින් ඉතිරි ඉසව්වල දක්ෂ පුහුණුකරුවන්ට බාර කරන්න. දක්ෂයන් අපට දෙනවා සාග් වගේ තරගාවලියක් අවසන් වනකොට. ඒ මුල් පුහුණුකරුවාගේ ගිණුමටත් රුපියල් ලක්ෂ දෙක තුනක් ඉබේ ම වැටෙනවා. මේ කතාව හුඟක් පුහුණුකරුවෝ දන්නේ නෑ. මේක පුහුණුකරුවන් දිරිමත් කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය ඇති කළ දෙයක්.

ඈත පළාතක දක්ෂ ක්‍රිකටර් කෙනෙක් ඉදිරියට එන කොට, එයාව උඩට ගන්නේ නැත්නම් ඔයගොල‍්ලෝ ක්‍රිකට් ආයතනයට එරෙහිව ලියනවා දක්ෂයාව උඩට ගන්න ක්‍රිකට් ආයතනයට වුවමනාවක් නෑ කියලා. දක්ෂ මලල ක්‍රීඩකයන් - ක්‍රීඩිකාවන් දැකලා කොළඔට ගෙනත් වැඩිදුර පුහුණුුවකට යොමු කළාම ලියනවා ළමයාව පැහැර ගත්තා. උදුර ගත්තා කියලා. මේ ගැටලුවට උත්තරයක් විදියට තමයි අපි අර වගේ වැඩකට අත ගැසුවේ. මුල් පුහුණුකරුවා පැනීම් ඉසව්වලට දක්ෂ නම් ඒ ළමයි ටික වැඩිදුර පුහුණුවට තියාගෙන එක ළඟ ඉන්න දිවීම් සහ විසි කිරීම් ඉසව්වල දක්ෂ අයව දක්ෂ පුහුණුකරුවන්ට ලබා දෙන්න ඕනෑ.

ළමයින්ගෙත් ආකල්පයක් තියෙනවා නේද මුල් පුහුණුකරු දාලා එන්නේ නෑ කියලා?

ඇත්ත. මේ ආකල්ප වෙනස් නොවන තාක් කල් අපට ඉදිරියට යන්න අමාරුයි. අතහැරීම තුළ විතරයි අපට වෙනස් වෙන්න පුළුවන්. යමක් වෙනස් විදිහකට කරන්න පුළුවන් වෙන්නේ. මලල ක්‍රීඩාව දියුණු කරන්න නම් අපි වෙනස් වෙන්න ඕනෑ. ක්‍රීඩා අමාත්‍යාංශය මේ සඳහා අත්තිවාරම දාලා ඉවරයි.

මේ ප්‍රශ්නයේ දෙමාපියන්ගේ පැත්ත ගත්තොත් ඔවුන් හුඟක් දෙනෙක් දන්නේ නෑ මේ ගමේ - නගරේ - පළාතේවත් දක්ෂ පුහුණුකරුවා කවුද කියලා. ළමයාව ඔවුන් පවා අත හරිනවා නම් මේ හුඟක් ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න ලෙහෙසියි. ගෙදර ඉඳලා පුහුණුකරන කෙනාට අනිත් ළමයින්ට සාපේක්ෂව වැඩිපුර මාළු කෑලි දෙකක්වත් දෙන්න ඕනෑ. අඩුම තරමින් බිත්තරයක්වත් වැඩි කරන්න ඕනෑ.

ඡායාරූප - විපුල අමරසිංහ

 


 

Comments