
මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත් වූවා ය.
ඒ අවසන් වටයට තරග කළ, ප්‍රංශයේ ඕෆ්ලි මෙසීනෝ සහ ඉන්දියාවේ සුමන් රාඕ පරදවමිනි.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති ලෝක රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඇයට හිමි කිරුළ පළඳනු ලැබුවේ, ගිය වසරේ කිරුළ දිනූ මෙක්සිකෝවේ වැනේසා පොන්ස් විසිනි.
23 හැවිරිදි ටෝනි ඈන් සිං, අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්ත සරසවියේ කාන්තා අධ්‍යයන සහ මනෝවිද්‍යා උපාධිය හදාරමින් සිටින්නී ය.
විශ්වවිද්‍යාලයේ කැරිබියන් ශිෂ්‍ය සංසඳයේ සභාපති ධූරය ද දරා ඇති ඇයගේ අරමුණ වන්නේ වෛද්‍යවරියක වීමයි.
ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් හතරවන ජැමෙයිකානු කාන්තාව වන ටෝනි ඈන් සිංගේ ජීවිතයේ ප්‍රමුඛතාව හිමිවන්නේ, සමාජ සුබ සාධන කටයුතු සඳහායි.
ඇය සඳහන් කර තිබුණේ සිය සිහින පසුපස හඹා යාමට උපකාර කරන තම මව, ජීවිතයේ වැදගත්ම කොටස බවයි.
ලොව කාන්තාවන් සහ දරුවන්ගේ ජීවිත තුළ තිරසාර වෙනසක් සිදුකිරීමට සිය ජයග්‍රහණය භාවිත කරන බව ඇය සඳහන් කළා ය.
ලිංගික අතවරයට ලක්වූ කාන්තාවන් සිය අත්දැකීම් ප්‍රසිද්ධියේ හෙළි කරන වත්මන් ලෝකයේ, රූ රැජිණ තරඟවල වැදගත්කම සහ කාන්තාවන් කෙරෙහි ඇති සමානාත්මතාවය පිළිබඳව දරන අදහස විමසූ විට ඇය සඳහන් කළේ, සිය ජයග්‍රහණයේදී වැදගත්කමින් අඩුම සාධකය, සුන්දරත්වය බවයි.
එම අවස්ථාවට සහභාගී වූ ජැමෙයිකානුවන් සඳහන් කළේ, ඇය ලෝක රූ රැජිණ ලෙසින් කිරුළ පැළඳීම, සිය රට ලද ජයග්‍රහණයක් බවයි.