
ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා, චිකුන් ගුන්යා, මීඋණ වැනි විවිධ උණ රෝග අපේ රටේ කාලයෙන් කාලයට වසංගත දක්වා උත්සන්න වන්නේ බොහෝ දෙනකු බියට පත් කරමිනි. ඒ අතරින් ඩෙංගු උණට වැඩි බියක් දක්වන්නේ ඊට තවමත් නිසි ප්‍රතිකාර නැති නිසාය. ඩෙංගු මැඬ පැවැත්වීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරනු ලබන්නේ එබැවිනි. එහෙත් ගෙයක් ගෙයක් පාසා කණ්ඩායම් වශයෙන් ගොස් වැහි පීලි, පොල්කටු වැනි වතුර රැඳෙන ස්ථාන පරීක්ෂා කර ඩෙංගු මදුරුවන් සිටී නම් නඩු පැවරුවද මදුරුගහනය ඇති ස්ථාන දුමායනය කළ ද ඩෙංගු පාලනය කිරිම ඉතා දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ වන විට ලංකාවේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබේ.
2019 නොවැම්බර් මස අවසන් වන විට දිවයින පුරා හමු වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,000කි. එහෙත් මිය ගිය ගණන 100කට අඩුය. 2017 වසරට සාපේක්ෂව මෙය අඩු සංඛ්‍යාවක් වුවද 2018 වසරට සාපේක්ෂව ඉහළ යෑමකි. 2017 වර්ෂය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1,86,101කි. එහෙත් 2018 වර්ෂය වන විට 51,659දක්වා පහත වැටිණි. නමුත් මෙම වසරේ එය නැවතත් වර්ධනය වී තිබේ.
“මෙතෙක් ඩෙංගු ව්‍යාප්ත වූ ආකාරය ගැන සැලකිලිමත් වුණොත් අවුරුද්දක් හැර අවුරුද්දක් ඩෙංගු වැඩිවීමක් දකින්න ලැබෙනවා. 2017 තමයි ඩෙංගු වසංගතයක් විදියට දරුණු අන්දමින් පැතිරුණේ. 2018 දී ඩෙංගු අඩු වුණා. 2019 දී නැවතත් වැඩි වී තිබෙනවා. මේ අවුරුද්දේ ඩෙංගු වර්ධනය වීමට අවුරුද්ද පුරා පැතිරුණු වර්ෂාව ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වන මැයි - අගෝස්තු කාලයේ ඩෙංගු රෝගය වැඩි වෙනවා. ඒත් මේ අවුරුද්දේ අගෝස්තු මාසයෙන් පසු වැස්ස නැවතුණේ නැහැ. තවමත් වහිනවා. ඒ නිසා ඩෙංගු වෛරසය රැගෙන යන මදුරුවන් පාලනය කිරීමට අසීරු වී තිබෙනවා.” යනුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.
ඩෙංගු රෝගය වෛරස් කාණ්ඩ 4කින් ඇත. එක් පුද්ගලයකුට 4 වතාවක් ඩෙංගු වැළඳිය හැකි වන්නේ එබැවිනි. මේ වන විට මෙරට වාර්තා වන්නේ 3වැනි කාණ්ඩයේ ඩෙංගු වෛරසයේ ව්‍යාප්තියයි. 2017 වර්ෂයේදී 2 වැනි කාණ්ඩයේ ඩෙංගු වෛරසය පැතිරිණි. ඊට පෙර ලංකාවේ ව්‍යාප්ත වූයේ 1 වැනි සහ 4 වැනි කාණ්ඩයේ ඩෙංගු වෛරසයන් ය. මෙම ඩෙංගු වෛරසය රැගෙන යන වාහකයන් වන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන වර්ගයේ මදුරුවන්ය. තවත් මදුරු වර්ග 47ක් සිටින නමුත් එම මදුරුවන් ඩෙංගු වෛරසය රැගෙන යන්නේ නැත. ඩෙංගු වෛරසයේ වාහක මදුරුවන් පාලනය කළහොත් ඩෙංගු රෝගය මැඬ පැවැත්විය හැකිය. එහෙත් මෙතෙක් කළ නොහැකි වූයේ ද ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමට නොහැකි වීමයි.
වොල්බැකියා
“අපි ලබන මාසේ සිට ඩෙංගු මදුරුවන් මර්දනය කරන්න බැක්ටීරියාවක් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම බැක්ටීරියා වර්ගයේ නම වොල්බැකියා (Wolbachia). ගෙන්වන්නේ ඕස්ට්‍රේලියාවෙන්. මෙම බැක්ටීරියාව ඩෙංගු මදුරු බිත්තරවලට ඇතුළු කළාම වොල්බැකියා බැක්ටීරියාව ශරීරගත වුණු මදුරුවන් බිහි වෙනවා. වොල්බැකියා ශරීරගත වූ මදුරුවන්ට ඩෙංගු වෛරසය අරං යන්න බැහැ. ඒ වගේම ආයු කාලය කෙටි වෙනවා. ඒ නිසා වෛරසය පැතිරෙන්න තිබෙන හැකියාව නැති වෙනවා.
මෙම බැක්ටීරියාව ශරීරගත වූ මදුරුවන්ගේ ඩෙංගු වෛරසය වර්ධනය වෙන්නේ නැහැ. ඒ තුළින් ඩෙංගු මර්දනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමය ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, ඕස්ට්‍රේලියාව, කොලොම්බියාව, බ්‍රසීලය, මෙක්සිකෝ ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා.
ඕස්ට්‍රේලියාව 100%කින් ම ඩෙංගු පාලනය කර තිබෙන්නේ මෙම බැක්ටීරියාව මදුරු බිත්තරවලට ඇතුළු කරලා වොල්බැකියා බැක්ටීරියා සහිත ඩෙංගු මදුරුවන් ඇති කිරීමෙන්. සාමාන්‍යයෙන් මදුරුවන්ගේ ආයු කාලය දින 120 - 150ක්. ඩෙංගු වෛරස් වාහක මදුරුවන් මාස 4කින් 5කින් මිය ගියාම ඊළඟට වොල්බැකියා බැක්ටීරියා ශරීරගත වූ මදුරුවන් බිහි වන්නේ. ඒ නිසා අපට අවුරුද්දක් වැනි කෙටි කාලයකින් ඩෙංගු පාලනය කරන්න පුළුවන්.” යනුවෙන් විස්තර කළේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ය.
මෙම ව්‍යාපෘතියට මූල්‍යාධාර සහ රසායනාගාර පහසුකම් ඕස්ට්‍රේලියානු රජයෙන් හිමි වේ. එහෙත් වොල්බැකියා බැක්ටීරියා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ 2020 දීය. එතෙක් අප නිහඬව බලා සිටිය යුතු නැත. මන්ද ඩෙංගු රෝගය ඒ වන තුරු නිශ්ශබ්ද වී බලා නොසිටින නිසාය. තවත් නොබෝ දිනකින් ඊසාන දිග මෝසම් වැසි ඇරඹේ. එම වැසි තත්ත්වය සමඟ උතුර, නැගෙනහිර පළාත්වල ඩෙංගු සක්‍රීය වනු ඇත. නිරිත දිග මෝසම් වැසි ලැබෙන පළාත්වල ද තවමත් වැසි ලැබෙන බැවින් ඩෙංගු වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩිය. මෙම ඩෙංගු තත්ත්වය මැඬ පැවැත්වීමට නොපමාව කටයුතු කළ යුතුය.
ඒ සඳහා ජලය රැඳිය හැකි ඉවතලන භාජන, ටයර්, පොල් කෝම්බ, පොල්කටු වැනි දෑ විනාශ කළ යුතුය. අවහිර වූ වැහි පීලි සහ කොන්ක්‍රීට් තට්ටු පිරිසිදු කළ යුතුය. පක්ෂීන් නාන තටාක සහ පොකුණු, ශීතකරණයේ සහ වායු සමනය කිරීමේ යන්ත්‍රවල ජලය රැඳෙන තැටි පිරිසිදු කළ යුතුය. කෙසේ හෝ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කළ යුතුය. සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවන් සක්‍රීය වන්නේ පෙරවරු 6.00 සිට පෙරවරු 11.00 දක්වා සහ පස්වරු 3.00 සිට පස්වරු 7.00 දක්වා බැවින් එම කාල සීමාවන් තුළ මදුරු දෂ්ටනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම වටී. අත් පා ආවරණය වන සේ ඇඳුම් ඇඳීමෙන් සහ අනුමත කළ මදුරු විකර්ශන සමෙහි ගැල්වීමෙන් මදුරු දෂ්ටනයෙන් වැළකී සිටිය හැකිය.
තද උණ
“මේ දවස්වල ඉන්ෆ්ලුවන්සා උණත් වෛරස උණකුත් පැතිරිලා තියෙනවා. ඒ නිසා තද උණක් ආපු ගමන් ඩෙංගු කියලා තමුන් තීරණ ගන්න එපා. හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවෙන්න යන්න. නිශ්චිතවම හැදිලා තියෙන උණ මොකක්ද කියලා රුධිර පරීක්ෂාවකින් දැනගන්න පුළුවන්. කොහොමටත් තද උණ සමඟ ඔක්කාරය සහ වමනය, හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඬු සහ සන්ධි කැක්කුම, සමෙහි රතු ලප මතු වී තිබීම වැනි රෝග ලක්ෂණවලින් කීපයක් හෝ තිබෙනවා නම් එය ඩෙංගු රෝගය විය හැකි යැයි අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා ළඟම රෝහලකට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. ඩෙංගු බරපතළ වෙන්නේ ඒ ගැන සැලකිල්ලක් නොදක්වා දින කීපයක් ගත වුණොත් තමයි. ඒ නිසයි හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවෙන්න කියලා උපදෙස් දෙන්නේ.” යනුවෙන් වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ ඩෙංගු අවදානම අඩු කරගත හැකි ආකාරය පැහැදිලි කරමිනි. විශේෂයෙන් ළදරුවන්, ගර්භිණි මවුවරුන් හා වයෝවෘද්ධ වැඩිහිටියන්ට උණ වැලඳුණු විට බලා සිටීම ඉතා අවදානම්ය.
විවේකය
ඩෙංගු රෝගයට ගොදුරු වූ විට ක්‍රීඩා කිරීමෙන්, ව්‍යායාම හා වෙහෙසකර කටයුතුවලින් වැළකී සිටිය යුතුය. හැකි තාක් විවේකයෙන් කාලය ගත කළ යුතු අතර දියර පානය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඩෙංගු රෝගින් උණ හා වේදනාවට පැරසිටමෝල් නිවැරදි මාත්‍රාවෙන් ගැනීම සුදුසු වුවත් ඉබුයුප්රෝෆන්, ඩයික්ලෝෆෙ නැක් සෝඩියම්, මෙෆනමික් ඇසිඩ් වැනි NSAIP කාණ්ඩයේ සහ ස්ටීරොයිඩවලට අයත් ප්රෙඩ්නිසොලේන්, ඩෙක්සාමෙතසෝන් වැනි ඖෂධ භාවිතයෙන් වැළකී සිටිය යුතුය.