
මධ්‍ය කඳුකරයේ පොල්පිටියේදී ආරම්භ වන කැලණි ගඟ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 18.4% ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 0.2% ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3% ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 0.5% ක්,කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 44% ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන්14% ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන්19.9% ක් ආවරණය කරමින් ගලා ගොස් කොළඹ මෝදර ප්‍රදේශයෙන් මුහුදට එක් වේ. කැලණි ගඟෙන් මුළු භූමිප්‍රමාණය හෙක්ටයාර 233,335කි. මේ අතුරින් ඉතා ඉහළ දායකත්වයක් ලබා දෙන උප ජලද්‍රෝණි වනුයේ ගුරුගොඩ ඔය, ඉහළ මධ්‍යම කැලණි ගඟ හා කෙහෙල්ගමු ඔයයි. කැලණි ගඟේ දිග දළ වශයෙන් කි.මී. 145ක් පමණ වේ. වාර්ෂිකව ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 7,019,000ක් පමණ වන අතර, එයින් 64%කට ආසන්න ප්‍රමාණයක් මුහුදට ගලා බසියි.
බස්නාහිර පළාතේ ජනගහනයෙන් වැඩි පිරිසකට මෙන්ම මූලික වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 80%කට වැඩි පිරිසකගේ පානීය ජල අවශ්‍යතාව සපුරන කැලණි ගංගාව මේ වන විට ලක්දෙරණේ දූෂිතම ගඟ බවට පත්ව ඇති පුවත මේ වන විට ප්‍රසිද්ධ කරුණකි. මධ්‍යම පරිසර අධිකාරියේ තොරතුරු මඟින් මෙන්ම මෑතකදී ජාතික විගණන කාර්යාලය නිකුත් කළ ‘කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධ පරිසර විගණන වාර්තාව’ ඔස්සේද මේ බව තවදුරටත් තහවුරු වෙයි.
කැලණි ගංගාවට මෙවන් ඉරණමක් අත්වීමට හේතු වූ කරුණු මොනවාද? එයින් පැනනඟින පරිසර හානි හා එමඟින් එහි ජලය පරිභෝජනය කරන මිනිසා ඇතුළු අනෙක් සත්තව සංහතියට අත්වන බලපෑම කෙසේ විය හැකිද? එය වළක්වාගැනීමට අප කුමක් කළ යුතුද? විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ කැලණි ගංගාව ආරම්භක ස්ථානයේ සිට මුහුදට වැටෙන තැන දක්වා වූ පිිහිටි 10,511කට ආසන්න කර්මාන්තශාලාවල බලපෑම මෙයට ඍජුව බලපා ඇති බවයි. ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවට අනුවද ඒ බව තවදුරටත් තහවුරු වේ.
අපනයන කලාපවල අහිතකර බලපෑම්
මේ විගණන වාර්තාව වැඩිදුරටත් හෙළිදරවු කරන්නේ කැලණි ගඟ අවට ඇති, මෙරට ප්‍රධාන අපනයන සැකසුම් කලාප වන සීතාවක හා බියගම ස්ථාපනය කර ඇති කර්මාන්ත ශාලාවල ක්‍රියාකාරකම් මෙලෙස කැලණි ගඟ දූෂණය වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. විගණන කාර්යාලයේ නිරීක්ෂණය වන්නේ මේ කලාපවල පිහිටි කර්මාන්ත ශාලා මඟින් බැහැර කරනු ලබන අපජලය සම්මත පරාමිතීන්ට අනුකූල නොවන ආකාරයට අභ්‍යන්තර ජල මූලාශ්‍රයවලට හා පරිසරයට මුදාහරිනු ලබන අතර, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි කළමනාකරණය නොවීම, අපජලය පිරිපහදුවෙන් පසු ඉතිරි වන මඩිති බැහැර කිරීමේ ක්‍රමවේදයන් පරිසර හිතකාමී අන්දමින් සිදු නොවීම අවසන් වශයෙන් ජල මූලාශ්‍රයවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
කෙසේ නමුත් මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ 1980 ජාතික පරිසර පනතෙහි 23(a) කොටසෙහි පනවා ඇති බලතල අනුව පරිසර ආරක්ෂණ බලපත් වැඩසටහන යටතේ කර්මාන්ත ක්‍රියාකාරකම් මගින් පරිසරයට අපජලය බැහැර කිරීම නීතිගත කර තිබෙන බවයි. එහෙත් එලෙස අපජලය පරිසරයට බැහැර කිරීමට නම් යම් කර්මාන්තයක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා සිටීම අනිවාර්යය. එලෙස බලපත්‍රයේ සඳහන් ප්‍රමිති සහ කොන්දේසි යටතේ අපජලය බැහැර කිරීම අදාළ කර්මාන්තයේ නියැළෙන්නන්ගේ වගකීම වන අතර, අවාසනාවකට කර්මාන්තශාලා මෙලෙස පරිසර ආරක්ෂණ බලපත් ක්‍රමය යටතේ ආවරණය වී ඇති මුත්, ඒවායින් බැහැර කෙරෙන අපජලය පනවා ඇති ප්‍රමිතීන්ට සහ කොන්දේසිවලට අනුකූලදැයි පරීක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් හෝ බැහැර කෙරෙන අපජලය ප්‍රමාණය පාලනය කිරීමක්ද සිදු නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.
සීතාවක කලාපයේ බලපෑම
මෙයට පැහැදිලි උදාහරණයක් විගණන වාර්තාවෙන් ගෙන හැරපායි. එනම්: කැලණි මිටියාවතේ ඇති ප්‍රධාන කර්මාන්ත පුරයක් වන සීතාවක අපනයන සැකසුම් කලාපය ලබා තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර 8කින් අලුත් කර නැත. සීතාවක අපනයන සැකසුම් කලාපය ආරම්භ වන්නේ 1999 වර්ෂයේදීය. අක්කර 431ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙහි ඇඟලුම්, ආහාර හා ප්ලාස්ටික් යනාදි ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත 37ක් අන්තර්ගතය. සීතාවක අපනයන සැකසුම් කලාපය සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 (ආ) වගන්තිය අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රය 2010 දෙසැම්බර් 30 දින දක්වා ලබාගෙන තිබිණි. එහෙත් එතැන් සිට ඔවුන් බලපත්‍රය අලුත් කර නැත. ඒ අනුව විගණන වාර්තාව පෙන්වා දෙන්නේ, පාරිසරික වශයෙන් ඉතා ඉහළ අවදානමක් සහිත කර්මාන්ත බලපත්‍රයක් ලබා නොගෙන කටයුතු කිරීමේදී සිදු විය හැකි පාරිසරික හානිය ඉතා ඉහළ බැවින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක සඳහන් කොන්දේසි සපුරා නැති වීම නිසා බලපත්‍රය අලුත් කිරීම සිදු නොකරන අවස්ථාවල එවැනි කර්මාන්තයක ක්‍රියාකාරිත්වයෙන් පරිසරයට වන හානිය වෙනුවෙන් පරිසර හානි අය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බවයි. එලෙසම බලපත්‍රය අලුත් කිරීමේදී ප්‍රතීතන මණ්ඩලය යටතේ ලියාපදිංචිය හා මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ලියාපදිංචිය යන අවශ්‍යතා දෙකම සපුරා තිබෙන රසායනාගාරවල වාර්තා පමණක් යොදාගැනීමට සහ අදාළ වන පරිදි නීති සංශෝධනය කිරීමට පියවර ගත යුතු බවයි.
තවද සීතාවක කලාපයට අයත් කර්මාන්‍ත 37ක අපජල පිරිපහදුව සඳහා පවතින පොදු අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ ධාරිතාවද ප්‍රමාණවත් නොවන බවත්, අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ යන්ත්‍රය අක්‍රීය වී තිබීම පාරිසරික වශයෙන් ඇතිව තිබූ බලපෑමක් බවත්, සීතාවක සහ බියගම අපනයන සැකසුම් කලාපවල කර්මාන්තශාලාවලින් ජනිත වන මඩිති (sludge) ඉවත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් යොදා නැති බැවින් මඩිති වැසි ජලය සමඟ මිශ්‍රව ජල මූලාශ්‍රය දූෂණය වීමේ අවදානමක් පවතින බවත් ඔවුන් තම වාර්තාවේ සඳහන් කර තිබේ. මෙම පොදු අපජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය බිඳ වැටීම හේතුවෙන් මල අපද්‍රව්‍යවල අඩංගු බැක්ටීරියා ප්‍රවාහ ජලයේ පැවතිය යුතු ප්‍රමාණයට වඩා පස් ගුණයකට ආසන්න ප්‍රමාණයක් වැඩි වී ඇත. මෙම බැක්ටීරියා කැලණි ගඟට එකතු වෙයි. පාරිසරික නීති රෙගුලාසිවලට අනුව ගංගාවට මුදා හැරෙන ජලයේ තිබිය යුතු E'COL: බැක්ටීරියා ජලය ඒකක වලට සාපේකෂව මිලිලීටර් 4000 ක් වුවද පරිසර වාර්තා අනුව පැවැති මට්ටම18000ත් මිලිලීටර් 19000ත් අතර වේ.
ඒ ඔස්සේ තවදුරටත් හෙළිදරවු වන්නේ, කැලණි ගඟ සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණ චාරිකාවලදී, ගඟ දෙපස අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගං ඉවුරු ඛාදනය වීම, ගඟට මායිම්ව ඉදි කළ හෝටල් සහ අනවසර ලෙස ඉදිකර තිබූ නිවාසවලින් බැහැර කරන ඝන අපද්‍රව්‍ය, මල අපද්‍රව්‍ය සහ අපජලය ගංගා ජලයට එකතු වීම, වාහන සේවා ස්ථානවලින් සහ කර්මාන්තශාලාවලින් බැහැර කරන අපජලය පිරිපහදු කිරීමකින් තොරව බැහැර කිරීම ගංගා ජලය දුෂණය වීමේ ප්‍රධාන හේතු කාරක වන බවයි.
බියගම කලාපයේ බලපෑම
බියගම අපනයන සැකසුම් කලාපයද කැලණි ගඟ දුෂණය වීමට බලපා ඇති තවත් ප්‍රධාන සාධකයකි.
මෙය 1985 වර්ෂයේ ඇරඹී ඇති අතර, අක්කර 450ක භූමි ප්‍රමාණයක ඇඟලුම්, ආහාර හා ප්ලාස්ටික් යනාදි කර්මාන්ත 60කින් සමන්විතය. විගණන වාර්තාව පෙන්වා දෙන අන්දමට බියගම අපනයන සැකසුම් කලාපයේ පිරිපහදු කරන අප ජලය මධ්‍යස්ථානය අසල පිහිටි රැඳවුම් පොකුණකට (retention pond) නිකුත් කරනු ලබන අතර, අවසානයේදී රැඳවුම් පොකුණේ අපජලය මැණික්අගාර ඇළ ඔස්සේ කැලණි ගඟට එකතු වන බවයි. එහිදී බියගම කලාපයේ පිහිටි කර්මාන්තශාලා අතුරින් පරෙීක්ෂාවට ලක් කළ එක් කර්මාන්තශාලාවක ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම රැඳවුම් පොකුණ ආසන්නයේම අවිධිමත්ව සිදු කරන බැවින් පිරිපහදු කරන ලද ජලයට දූෂ්‍යකාරක ඍජුවම එක්වීමේ හැකියාව පවතින බවත්, අවසානයේදී කැලණි ගඟේ ජලයට එහි බලපෑමක් සිදුවිය හැකි බව නිරීක්ෂණය වූ බවත් වාර්තාවේ සඳහන් වෙයි. එබැවින් පිරිපහදු කරන අපජලය ජල මූලාශ්‍ර වලට අවසාන වශයෙන් බැහැර කිරීමට පෙර පිරිසුදු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කොට, ප්‍රමාණවත් අධීක්ෂණයක් කළ යුතු බව විගණන වාර්තාවේ අදහස වී තිබේ.
මේ අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ, කැලණි ගංගාවෙහි සහ එහි ඇතැම් අතු ගංගාවන්හි දූෂිත තත්ත්වය ජලයේ පී.එච්. අගය, සන්නායකතාව, ආම්ලිකතාවය, දිය වූ ඔක්සිජන් ප්‍රමාණය, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම, රසායනික ඔක්සිජන් ඉල්ලුම, ක්ලෝරයිඩ, නයිට්රේට සහ ෆොස්ෆේට සහ ක්ෂුද්‍ර ජීවී ඝනත්වය ආදිය වෙනස් කිරීමට සමත් වන බවයි. එසේම, ජලයේ ද්‍රාවිත ඇතැම් බැර ලෝහ ප්‍රමාණයන්ද (ඊයම්, ක්‍රෝමියම් වැනි) ජල දුෂණයට දැඩි ලෙස බලපෑම් කරන බවයි.
ජනතාවගේ අවම දායකත්වය
එලෙසම මේ පිළිබඳ ජනතාවගේ දායකත්වය අවම මට්ටමක පැවැතීමද ගංගාවේ ජල දූෂණයට හේතුවක් වන බව මේ පිළබඳ අදහස් දක්වන විද්වත්හු පෙන්වා දෙති. මැණික් ගැරීම, ගංගා වැලි ගොඩ දැමීම වැනි කැලණි ගඟ ආශ්රයෙන් ලබා ගන්නා ආර්ථික වාසිවල වර්ධනයක් සිදුව තිබුණද එමගින් ගංගා ඉවුරුවලට දැඩි හානි සිදුව ඇති බවත්, මේ හේතුවෙන් ගංගා ජලයට රොන්මඩ එක් වීම ඉහළ ගොස් රොන්මඩ තැන්පත් වීම හා ක්ෂුද්‍ර ජීවී ඝනත්වය ඉහළ යෑම ගංගාවේ ජල දූෂණයට බලපා තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති. එනිසා ගඟේ පාරිසරික අසිරිය හා පාරිසරික වටිනාකම ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ ලැබිය යුතු අනිවාර්ය දායකත්වය මේ වන විට අවම මට්ටමක පවතින නිසා ගංගා ජලය දූෂණයට ලක්වීම දිනපතා සිදුවන බව ඔවුන්ගේ අදහසයි.
අනවසර සහ අවිධිමත් ඉදිකිරීම්
අනවසර සහ අවිධිමත් ඉදිකිරීම්ද කැලණි ගඟ දුෂණය වීමට ප්‍රධාන සාධකයක් බව පෙනෙන්ට ඇත. විගණන වාර්තාවට අනුව ගඟේ පළල මීටර් 15ට වඩා වැඩි ස්ථානවල ගං ඉවුරේ සිට අඩි 198ක වෙන් කිරීමකින් පසු ඉදිකිරීමක් සිදුකළ යුතු වුවත්, ඊට පටහැණිව ගං ඉවුරු ආසන්නයේම ස්ථීර හා තාවකාලික ඉදිකිරීම් ගණනය කළ නොහැකි තරම් සිදුකර ඇති බව ඉහත වාර්තා සඳහන් කරයි. එයට උදාහරණයක් ලෙස ගඟ පහළ දකුණු ඉවුරේ පිහිටි කොහිලවත්ත සුසාන භූමියේ බැම්ම ගඟ දෙසට කඩාවැටී මළ සිරුරු හා ආවරණය කර තිබූ ඉටිකොළ ගඟට එකතු වීමේ අවදානම මෙන්ම රක්ගහවත්ත ඇළ, රාක්ෂපානගල ප්‍රදේශයේ ස්ථානයන්හි ගං ඉවුරට වන්නට ඇති අනවසර ඉදිකිරීම් නිසාද කැලණි නදිය දූෂණය වීමේ ඉඩකඩ වැඩි බව ඔවුහු පෙන්වා දෙති.
අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම
මෝදර, මට්ටක්කුලිය, වැල්ලම්පිටිය, පෑලියගොඩ, කොලොන්නාව සහ අංගොඩ ප්‍රදේශවලදී කැලණි නදියට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් විශාලවශයෙන් සිදු වන බවත්, එහිදී ප්ලාස්ටික්, බෝතල්,පොලිතීන්, කඩදාසි සහ ගොඩනැඟිලි කඩා ඉවත්කිරීම් සියල්ල ගඟට එකතු කරන බවත් මධ්‍යම පරිසර අධිකාරය මෙන්ම විගණන වාර්තාන්ද පෙන්වා දෙන තවත් ප්‍රධාන කරුණකි.
එමෙන්ම කර්මාන්තශාලාවලින් බැහැර කරනු ලබන සියලු දූෂ්‍යකාරක මෙන්ම ගඟට ඉතා ආසන්නව ඉදිකර තිබෙන වැසිකිළිවල අපද්‍රව්‍යද ගඟ අවට ඇති ඇළ මාර්ග ඔස්සේ ගලා විත් කැලණි ගං දියට එක් වන බව නිරීක්ෂණය කර තිබේ.
කැලණි ගඟ රැකගැනීමට නම්:
ගං ඉවුරු ආරක්ෂා කිරීමට කටයුතු කිරීම,
අනවසර ඉදිකිරීම් නතර කිරීම,
ගඟ ආශ්‍රිතව පවතින ගොඩනැගිලි නවීකරණයේදී හා නව ගොඩනැගිලි ඉදිකිරීමේදී පරිසරයට ඇති වන හානිය අවම කිරීම සම්බන්ධ වගකීම පළාත් පාලන ආයතනවලට පැවරීම,
මල අපද්‍රව්‍ය ගඟට එක් වීම වැළැක්වීම,
ඉතිරි වන ඝන අපද්‍රව්‍ය ගඟට සම්බන්ධ වන ඇළ මාර්ගවලට බැහැර කිරීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම,
මහජනතාව ඒ පිළිබඳ දැනුම්වත් කිරීම අඛණ්ඩව සිදු කිරීම
වැනි ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව විගණන වාර්තාවේ සඳහන් වේ. කෙසේ නමුත් කැලණි ගංගාවේ පාරිසරික, ආර්ථීක හා සාමාජීය වටිනාකම් ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම් උසුලන ආයතන කිහිපයක්ම ඇත. ඒ අතර මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තතමේන්තුව, පළාත් පාලන ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල දායකත්වය වඩා සක්‍රිය වීම ඉතා වැදගත් වන බව කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධ පරිසර විගණන වාර්තාව පෙන්වා දෙයි.
මේ කවර අභියෝග තිබුණත් අවසානයේ කැලණි ගඟේ ජලය කිසිදු බියකත් සැකක් නැතිව පානය කළ යුතු තත්වයට පත් කළ යුතුය. ශ්‍රී ලංකා ප්‍රමිති අංක SLS 614 පරාමිතියට අනුව ජලය පිරිසිදු කළ යුතු අතර ඒ අභියෝගය පැවරෙන්නේ අඹතලේ සහ පට්ටිවිල ජල පවිත්රාගාර වෙතය. බස්නාහිර පළාතේ ජන ගහනයෙන් සියයට අසූවක ප්‍රමාණයක පානීය ජලඅවශතා සපුරන මෙම පවිත්රාගාර වල පිරිපහදු වියදම පසුගිය වසර පහතුළ ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත.
මේවාට වගකිවයුතු කාගේ කාගෙත් අවධානය යොමු වී කැළණිගඟ පිරිසිදු කිරිමට යම් ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු කාලය එළැඹ ඇත.