
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරටේ අභිනව සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ රාජ්‍ය නායකයකු පමණක් නොව සියලු ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වළක්වාලීමටත් දුසිරිත් හා දුෂ්ට ව්‍යාපාර මැඩලීමටත් අප්‍රමාණ ව කැපවී ක්‍රියා කළ දේශපාලන නායකයකු ලෙස ද ඉදිරියෙන් ම සිටියි. ස්වකීය ධුර කාලය තුළ සත්පුරුෂ සමාජයක් ගොඩනැංවීමටත්, දුගී බව, රෝ බිය තුරන් කිරීමටත්, ස්වදේශීය චින්තනයෙන් යුතු මානව බන්ධුත්වය තහවුරු කිරීමටත් මෛත්‍රී ජනාධිපතිවරයා නිරන්තරවම පෙනී සිටියේ ය. ඔහුගේ මේ සියලු සධාර්මික සේවා අතර මත්කුඩු ජාවාරම් කරුවන් මැඩලීම හා මතින් තොර රටක් ගොඩනැංවීමේ ක්‍රියාකාරකම් ද කැපී පෙනුණි. ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන අපේක්ෂකයාට රට බාර දීමට සූදානමින් සිටින මෛත්‍රී ජනාධිපතිවරයා තමන් විසින් ආරම්භ කරන ලද ඇතැම් ජනහිතවාදී ක්‍රියාකාරකම් බලාත්මක කිරීමේ අපේක්ෂාවෙන් ද පසු වේ. ඒවායෙන් කීපයක් ඉටුවී තිබෙන අතර තවත් කීපයක් අනාගතයට බාර වී තිබේ.
මෛත්‍රී ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ මෙරටේ ජාතික සමගියට හා ආගමික සහජීවනය උදෙසා ගත් සාධනීය පියවර කීපයක්ම විය.
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කර ත්‍රිපිටකය සුරක්ෂා කිරීමේ පියවර ඒ අතර කැපී පෙනුණි. ඊට අමතරව මෙරටේ කිතුනු ජනතාවගේ විශේෂ ගෞරවයට හා පූජාවට පාත්‍ර වූ මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඒ සඳහා අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කිරීමට ද ජනාධිපතිවරයාට හැකි විය.
ජනාධිපතිවරයා මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඒ සන්නස් පත්‍රය මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්ඩිනැන්ඩ් පියතුමා වෙත ප්රදානය කෙළේය. මඩු මංගල්ලය කිතුනුවන්ගේ උත්සවයක් වුව ද ඒ සඳහා බෞද්ධ හා හින්දු ජනතාව ද එක්වෙති.
වාර්ෂික මඩු වන්දනාව සඳහා ලක්ෂ ගණනක පිරිසක් සහභාගි වන අතර වසර පුරාම දෙස් විදෙස් සංචාරකයෝ ද මේ පුද බිම වෙත පැමිණෙති.
ප්රභාකරන්ගේ ත්රස්තවාදයේ භීෂණ සමයේදී මඩු පූජා භූමිය ද යුද පිටියක සිරි නොගත් යුද බිමක් වී තිබුණි. පාළුවට ගොස් තිබුණු ඒ භූමිය මිනිස් කටහඬින් ද තොර විය. මෛත්‍රී ජනාධිපතිවරයා 2019 වසර්දී මන්නාරම් ප්‍රදේශයේ කළ සංචාරයකදී මේ පූජා භූමියට ගිය අතර, එහි තිබුණු විලාශය දැක කම්පා විය.
අනතුරු ව මඩු පූජා භූමියට අවශ්‍ය පහසුකම් සලසා දී ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද උපදෙස් දුන්නේ ය. මුළු මහත් ජනතාවගේ ම පූජාවට පාත්‍ර වූ පුදබිමකට උචිත පරිසරයක් ද සකසා තම නිල කාලය තුළ ඒ සඳහා අවශ්‍ය සන්නස් පත්‍රය පිරිනැමීමට හැකිවීම ද එතුමා ලද භාග්‍යයක් වැන්න. ජාතික, ආගමික, පවුරු තුළ මිනිසුන් රැඳවීම වෙනුවට ඒ පූජාභූමි හැමදෙනාගේම උරුම බවට පත් කිරීම මොන අතින් බැලුවත් විශිෂ්ට ක්‍රියාවකි.
“ජාතිය, ආගම පමණක් නොව කුලය ද සමාජයක ප්‍රජාවට පීඩාකාරී වන්නේ නම් ඒ සමාජය පමණක් නොව රට ද පිරිහෙයි. ස්වදේශිකත්වය මත ජනතාව එක් කළ හැක්කේ ආගමික සංහිඳියාව තුළ පමණි”.
ඒ මෛත්‍රී ජනපතිඳුන්ගේ අදහස ය. බුදුසමය වෙනත් ආගම් සමඟ ගැටුම් ඇති කර නොගත් උතුම් දහමකි. බෞද්ධයා සෙසු ආගම් කෙරෙහි සම මෙතින් බැලිය යුතු බව බුදුන් වහන්සේ වැඩ විසූ ක්‍රි.පූ. 6 වැනි සියවස තරම් ඈත කාලයක දී ප්‍රකාශ වූවකි. මෙරටේ බුදුදහම පොදු ජනයා ආදරයෙන් වැලඳගත්තේ ද ඒ ආගමික සහජීවනය නිසාම ය.
මෛත්‍රී ජනාධිපතිවරයා ධර්මය යන්න පුළුල් අර්ථයකින් බාරගත් අතර ඒ ධර්මයට පටහැනි අධර්මය හෙවත් ධර්මානුකූල නොවන ව්‍යාපාර සඳහා දැඩි විරෝධයක් දැක්වූ රාජ්‍ය නායකයෙක් ද විය.
මෛත්‍රී ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ මත්කුඩු ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ආන්දෝලනාත්මක තීන්දුව ගත් බව රහසක් නොවේ. මත්කුඩු ජාවාරම මෙරටේ ඈත ගම් දනව්වල ද තදින් පැතිර ගිය එකකි.
මතට ඇබ්බැහි වූ දරුවන්ගේ මව්පියන් විසින් නඟන ලද දුක්මුසු අඳෝනා මෛත්‍රී ජනාධිපතිවරයාගේ දෙසවන් තුළ අදටත් ඉතිරි වී තිබේ. මිනිසකු මරා දැමීමෙන් අපරාධ නැවැත්විය නොහැකි බව සැබෑ ය. ඒ සඳහා වෙනත් පුනරුත්ථාපන ක්‍රමවේද වුවමනා ය. එහෙත් ලංකාවේ මත්කුඩු උවදුර ඉතා බිහිසුණු එකක් ලෙස පැතිර ගොස් තිබුණි. දුගීභාවය, වකුගඩු උවදුර, ජල හිඟය මෙරටේ විසඳුම් ඉල්ලා සිටින අර්බුද කීපයකි.
මත්උවදුර ඒ සියල්ලට ම උඩින් ය. මෛත්‍රී ජනාධිපති දැඩි තීරණයකට එළඹෙන්නේ ඒ පසුබිම තුළ ය. මත්කුඩු ජාවාරම් කරුවෝ බන්ධනාගාරවල රැඳී සිටිමින් ම ඒ අපරාධ මෙහෙයුම් සිදු කරති. ඒ මත්කුඩු ජාතියේ දූදරුවන් ද බිළි ගනිමින් සිටින ආකාරය හදකම්පා කරවනසුලුය. මෛත්‍රී ජනාධිපතිවරයා ඒ අපරාධකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැඩි තීරණයක් ගනියි.
පසුගිය දිනකත් මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කළේ ‘මගේ නිල කාලය තුළ ඒ දුෂ්ට අපරාධය වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි නම් මම දෙවරක් නොසිතමි. මා ඒ සඳහා ඉදිරිපත් වන්නේ ද කිසිදු පසුතැවිල්ලකින් නොවේ” යනුවෙනි. එහෙත් දැන් ඒ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව නීතිය විසින් වළක්වනු ලැබ ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිසා ය. මරණ දඬුවම අත්හිටවා තිබෙන නිසා අධිකරණයෙන් ඒ දඬුවම ලබා දුන්නත් මත්ජාවාරමුන්ගේ ජීවිත සුරැකේ.
මෛත්‍රී ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කළේ එමඟින් ඒ අපරාධකරුවන්ට ප්‍රබල අනතුරු හැඟවීමක් කිරීමට ය. එසේ නොමැතිව පෞද්ගලික වෛරයකින් හෝ වෙනත් දුෂ්ට අරමුණකින් හෝ මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ බව ද මෙහිලා සඳහන් කළ යුතු ම ය.
ජනාධිපතිවරයා අනුමාන කරන පරිදිම මේ මරණ දඬුවම වැළැක්වීම සඳහා නීතිය ඉදිරියට යන ඇතැම් අයට වුවද මත් ජාවාරම්කරුවන්ගේ මුදල් අප්‍රමාණව වීසි කෙරෙනු ද විය හැකිය.
මේ මොහොත වන විටත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ බන්ධනාගාරගතව සිටියත්, ඒවා තුළ රජසැප ලබන බව කියති. තම කුඩු ඒජන්තලා මගින් විවිධ ඝාතන සිදු කරවන බව ද කියති.
මෛත්‍රී ජනාධිපතිවරයා විසින් මත් ජාවාරමුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද තීරණයට මේ ආණ්ඩුවේ ඇතුළෙන්ම බාධා එල්ල වූ බව ද අපට මතකය. රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙබඳු අවස්ථාවල පළ කරන ව්‍යාජ සටකපටි රංගන ගැන අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. පන්සල් පල්ලි කෝවිල් වැනි ආගමික ආයතනයකට කිසිදිනක පය නොතබන මේ බොහෝ දෙනෙක් ආගමික මතවාද තම තමන්ගේ පරිමාණයට කපා ගෙන නටන නාඩගම් ද අපට අලුත් අත්දැකීම් නොවේ.
බුදුහු ඝාතනය අනුමත නොකළහ. ‘තමන් උපමා කොට නොනසන්න; නොමරන්න” යනු බුද්ධ වචනය විය. එහෙත් බුදුන්වහන්සේ වැඩ සිටි සමයෙහි පවා අපරාධකරුවන්ට මරණ දඬුවම නියම විය. රටක යහපැවැත්මට පනවා තිබෙන නීතිය නොමැනවයි කීමට උන්වහන්සේට අවශ්‍ය වූයේද නැත.
මේ දිනවල දේශපාලන වේදිකාවල (ධර්මානුශාසනා නොවේ) දේශපාලන අනුශාසනා කරනු ලබන ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ මුවින් ගලා යන ප්‍රකාශ කෙතරම් වෛරීද? එක් ජනාධිපතිධුර අපේක්ෂකයෙක් ඔහු උපන් නිවසෙහි ජනේලයක එල්ලීමට යෝජනා කළ හිමිනමක් ගැන මාධ්‍යවල පළ විය. තවත් හිමිනමක් අපූරු යෝජනාවක් ද කර තිබුණි; ඒ ප්‍රතිවාදී පිලට ඡන්දය ලබා දෙන අයට සිහිවිකල් වනතුරු මත්පැන් පොවා නිද්‍රාවට පත්කිරීම ය. මේ සිංහල බෞද්ධ නාමයෙන් සිටින ජනතාවගෙන් වැඳුම් ලබන බුද්ධපුත්‍රයන් වහන්සේලාගේ කථාද? සංවේගයකි. ඔව්; යැයි කීමට සිදුව තිබේ.
මේ සියලු තොරතුරුවලින් අපට පෙනී යන්නේ මරණ දඬුවම් විරෝධය බොරු සෝබන වැඩක් බව ය. ඇත්ත වශයෙන් ම මේ මත්ජාවාරම්කරුවන්ට මරණ බිය දැනවිය හැකි එක ම ක්‍රමය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පමණි. කුමක් වුවත් ලබන දෙසැම්බර් 10 වනදා තෙක් ඒ ජනාධිපති නියෝගය අත්හිටුවා තිබේ. එනිසා මෛත්‍රී ජනාධිපතිවරයාට ඒ තීරණයට හිස නමා සිය ධුරයෙන් ඉසිඹු ලෑමට සිදුවේ.
මේ අතර ජනාධිපතිවරයාට තමන් තුළ ප්‍රසාදයක් නැති මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාදාමයන්ට තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ද පසුගිය දිනවල සිදුවී තිබුණි. ඉන් ප්‍රධාන වන්නේ ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC ගිවිසුම) ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් දක්වන ලද අප්රසාදයයි.
මේ ගිවිසුමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුවද ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තෘප්තිමත් නොවීම කැපී පෙනුණි. ජනාධිපතිවරයාගේ විවේචනය වූයේ මේ ගිවිසුමෙන් රටට අහිතකර යෝජනා ඉවත් විය යුතු බව ය.
රටේ මාර්ග තදබදයට විසඳුම් ලබාදීම ඇතුළු ප්‍රවාහන පද්ධතියේ ප්‍රතිසංස්කරණ ක්‍රියා පිළිබඳව තමන්ට ගැටලුවක් නැති වුව ද මෙරටේ ඉඩම් ලියා පදිංචිය, අලුත් ආයෝජන කලාප ඇතිකිරීම, ඇමෙරිකානු සෙබළුන්ට විශේෂ නීතියක් ක්‍රියාත්මකවීම වැනි කරුණු තමාට අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා විය.
මෛත්‍රී ජනාධිපතිවරයා මේ සමස්තයට එකඟ නොවන්නේ තමන් විසින් අනුගමනය කරනු ලබන ස්වදේශීය ප්‍රතිපත්තිවලට මෙන් ම රටේ ස්වෛරීභාවයට එරෙහි වන කරුණු මෙහි ඇතුළත් වී තිබීම නිසා බව අපගේ ද අදහසය. එසේම ශ්‍රී ලංකාව මේ ගිවිසුමට එකඟවීම පිළිබඳ ව ඇමෙරිකාව සතුටට පත්වන බවට නිවේදනයක් ද පළ විය. එය සැබැවින්ම විස්මය දනවන සතුටකි.
ඇමෙරිකාව, ඉන්දියාව, චීනය ඇතුළු ඕනෑම රටක් සමඟ අපට ගිවිසුම් ඇතිකර ගැනීමට බාධාවක් තිබිය යුතු නැත. එහෙත් ඒ හැම ගිවිසුමකම මුඛ්‍ය අභිලාෂය විය යුත්තේ අපේ ස්වාධීනත්වය ආරක්ෂා වීම ය. අද ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවා අනුගමනය කරන්නේ පළමුව ඇමෙරිකාව’ යන ප්රතිපත්තියයි.
ඇත්ත වශයෙන් ම තවමත් මේ රටට ශාපයක් වී ඇත්තේ දේශප්‍රේමය, ස්වදේශිකත්වය, ජාතිකත්වය වැනි උතුම් වටිනාකම් පටු අරමුණු උදෙසා යොදා ගැනීමය. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා නිරන්තරව කැප වූයේ මේ පටු අරමුණු නැති ශ්‍රී ලාංකික මනසක් සහිත රටක් ගොඩනැගීමට ය.
මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් මෛත්‍රී ජනාධිපතිවරයා විසින් දක්වන ලද ප්‍රතිචාරය පිළිබඳව ද කිසියම් අදහසක් දැක්විය යුතුය. මේ තේරීම් කාරක සභාව ද්වේෂ සහගත ලියවිල්ලක් බව ජනාධිපතිගේ විවේචනයයි.
අදාළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සාකච්ඡා කිරීම පමණක් සිදු කළ බවත්, එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වාර්තාවක් ලෙස නොසැලකිය හැකි බවත් ජනාධිපතිවරයාගේ අවධාරණය වූ බව ජනමාධ්‍යවල පළවී තිබුණි.
සැබැවින්ම මේ තේරිම් කමිටුවේ සංයුතිය පිළිබඳ ව සමාජ දේශපාලන මෙන්ම විද්වත් ක්ෂේත්රවල ද විවිධ සංවාද සිදු විය. විශේෂයෙන් මේ ඝාතනයේ මහ මොළකරු වූ සහරාන් සමඟ ඇතැම් මුස්ලිම් නායකයන් විසින් පවත්වන ලද බව කියන සබඳතා ජනතාවගේ බලවත් සැකයට තුඩු දී තිබේ. මේ කමිටුවට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ප්‍රමුඛ ඒ කණ්ඩායමේ අනුග්‍රහයක් නොලැබුණි.
ඔවුන්ගේ ප්‍රබල විවේචනයක් වූයේ මේ කමිටුවල අශුද්ධ එකක් බව ය. දැනට ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත්, ඡායාරූප ආදිය පිළිබඳ අපට නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් ඒවා හුදු මනඃකල්පිත දේවල් නොවන බව අපට ද හැඟී ගිය අවස්ථා තිබේ. එසේම ඒ ම්ලේච්ඡ ප්‍රහාරකයන් සමඟ කවර හෝ සබඳතාවක් තිබුණු කවරකුට වුවද ඒ කටයුතු ස්වාධීනව විමර්ශනය කළ නොහැකි බව නම් අපට කිව හැකිය.
දැනට චෝදනා ඉදිරිපත්ව තිබෙන චරිත හා ප්රහාරකයන්ගේ බැඳියාවන් පිළිබඳ සත්‍යය මතු අනාගතයේ දී හෝ රටට හෙළිකරගත යුතු බවද අවධාරණයෙන් කිව යුතුය.
කෙසේ වුවද මෛත්‍රී ජනාධිපතිවරයා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද පංච පුද්ගල කමිටුව තවදුරටත් සිය කටයුතු සිදුකරමින් සිටින බවද වාර්තා වේ. ඒ පිළිබඳ ව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ සහාය අපේක්ෂා කරන බවට රහස් පොලිසිය ඉල්ලා ඇතැයිද අගරදගුරු මැදුරෙන් වාර්තා වේ.
ජනාධිපතිවරයා සිය ධුරයෙන් විශ්‍රාම ගියත් ක්‍රියාකාරීව දේශපාලනයේ නිරත වීමට අපේක්ෂාවෙන් සිටින බවද රහසක් නොවේ.
සිය නිල කාලය තුළ රට වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා එතුමා දැක්වූ උද්යෝගය මෙන්ම කැපවීම ද අගය කළ යුතුය. පසුගිය කාලය තුළ මුළු ජනතාවගේම සුවිශේෂ අවධානයට යොමු වූ මහබැංකු මංකොල්ලයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ලෙස කරන ලද මැදිහත්වීම් ද අපට මතකය.
රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ග්‍රාමීය ආර්ථිකය තුළින් ලබාගත හැකි ශක්තිය ප්රතිලාභ කෙරෙහි ද ජනාධිපතිවරයා උනන්දු විය.
ග්රාමශක්ති ව්‍යාපාරය එහි එක් සාධනීය ක්‍රියාන්විතයකි. රජරට වෙළාගත් වකුගඩු රෝගයට තිරසාර විසඳුමක් ලබාදීමේ මෙහෙයුම ද ඒ අතර විය. රජරට හා උතුරේ ගොවිබිම්වලට ජල පහසුකම් ලබාදීමටත් ඔවුන්ගේ පානීය ජල ගැටලු විසඳීමටත් මෛත්‍රී ජනාධිපතිවරයා නිරන්තරයෙන් ම කැපවිය.
පරිසර හා මහවැලි අමාත්‍යාංශය සිය ජීවිතයේ කොටසක් සේ සැලකූ ප්‍රථම රාජ්‍ය නායකයා ද ඔහු විය. එළඹෙන ජනාධිපතිවරණයෙන් රාජ්‍ය නායකයා ලෙස ජනතාව විසින් තෝරා ගනු ලබන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුට මේ සාධනීය සැලසුම් හා ජනතා මෙහෙවර ඉවත දැමිය නොහැකි බව ද අපගේ අදහසය.