
මිනිසුන් වන අපි අපගේ දරුවන්ට බෙහෙවින් සෙනෙහස දක්වමු. එහෙත් තිරිසන් සතුන් අතර මිනිසුන්ටත් වඩා ස්වකීය දරුවන්ට සෙනෙහස දක්වන, ඇතැම් විට දරුවන් වෙනුවෙන් ජීවිතය පවා පූජා කරන සතුන් සිටින බව විශේෂ කොට දැක්විය යුතුය. මිනිසුන් වන අප අපගේ දරුවන් මහමග අතරමං කර දමා යද්දී, ඇතැම් විට සිතා මතා ඔවුන්ගේ ජීවිත හානි කිරීමට කටයුතු කරද්දී, ඔවුන් මවුපියන් නොමැතිව ළමා නිවාසවලට ගාල් කරද්දී තිරිසන් සත්තු ඥාතීත්වයෙන් තොරව ස්වකීය කුඩාවුන් වෙනුවෙන් ජීවිත පූජා කරති. මෙසේ කිරීමට තරම් උසස් මනසකින් යුත් තිරිසන් සතුන් අතර අලියාට හිමිවන්නේ ඉදිරිපෙළ ස්ථානයකි.
මිය ගිය තම දරුවාගේ සිරුර අතැර නොගොස් ඒ අසලට එන සතුන් මෙන්ම මිනිසුන්ද එළවා දමමින් කොළ අතුවලින් දරුවාගේ සිරුර වසමින් ආරක්ෂා කරමින් සිටින ඇතින්නියන් ගැන අපි අපේ රටේ පශු වෛද්‍යවරුන්ගේ අත්දැකීම් ඔස්සේ අසා ඇත්තෙමු. පසුගිය දිනක එකවර ඇතින්නියන් කිහිප දෙනෙකු මියගිය අවස්ථාවේ තම මියගිය මව අසල සිටි පැටවා ඇයගේ සිරුර අසලට කිසිවකුට ලඟා වීමට ඉඩ නොදී සිරුර ආරක්ෂා කරමින් සිටියෙන් පැටවා නිර්වින්දනය කර සිරුර අසලට ළඟා වීමට පශු වෛද්‍යවරුන්ට සිදුවිය. තිරිසන් වුවත් තම වර්ගයේ එකිනෙකා අතර බෙදා ගන්නා ඒ සෙනෙහස, අවධානය මිනිසුන් වන අප ඇසට කඳුළු ගෙන ඒමට සමත්ය.
එවන් වූ නෙත කඳුළින් පුරවන පුවතක් පසුගියදා තායිලන්තයෙන් වාර්තා වූයේය. ඒ පැටවකු බේරා ගැනීමට ගිය අලින් එකොළොස් දෙනෙකු එරට දිය ඇල්ලකින් පහළට වැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතයි.
ප්‍රථමයෙන්ම තායිලන්ත මාධ්‍ය වාර්තා කරමින් අන්තර්ජාලයට මේ පිළිබඳ පුවත එක්වූයේ පසුගිය සෙනසුරාදා (5) දිනයේය. තායිලන්ත බලධාරීන් ප්‍රථමයෙන් හඳුනා ගත්තේ අලි මළසිරුරු හයකි. මේ මළසිරුරු හය තිබුණේ මධ්‍යම තායිලන්තයේ ක්ගඕ යායි වනෝද්‍යානයේ පිහිටා ඇති හේව් නරොක් දියඇල්ල පාමුලය. ඩ්‍රෝන යානා මගින් මේ මළ සිරුරු මනාව අධ්‍යයනය කිරීමට කටයුතු කළ තායිලන්ත වනජීවී නිලධාරීහු මේ මරණවලට හේතුව අලින් දියඇල්ලෙන් පහළට ඇදවැටීම බව තීරණය කළහ.
ක්ගඕ යායි වනෝද්‍යානයේ පිහිටා ඇති හේව් නරොක් දිය ඇල්ල උසින් අඩි 500 ඉක්මවන්නේය. අපේ රටේ ඇති දියඇලි සමග සසඳා බලනවිට හේව් නරොක් දෙවැනි වන්නේ බමරකන්ද සහ දියලුමට පමණි. මේ දියඇල්ල උසින් වැඩිවීම සහ පිහිටීමේ පවතින භයානක බව හේතුවෙන්ම අපායේ ගිරිකඳුර (Ravine of Hell) යන අන්වර්ත නාමය ලැබී තිබේ. අලින් පහළට වැටී මියගොස් ඇත්තේ මේ අපායේ ගිරිකඳුරෙනි.
ප්‍රථමයෙන් සොයා ගත් අලි මළසිරුරු අතර පැවති වයස අවුරුදු 3ක් පමණ වේ යැයි සැකකරන කුඩා අලිපැටවාගේ සිරුර හේතුවෙන් මේ අලින් මියගිය හේතුව සොයා ගැනීමට තායිලන්ත බලධාරීන්ට හැකි විය. ඒ අනුව ඔවුන් පවසා සිටියේ දියඇල්ලේ උඩ කොටසේ ගල්පරයක් අතර හිර වූ කුඩා පැටියා බේරා ගැනීමට ගිය සෙසු අලින් දිය ඇල්ලෙන් පහළට වැටී ඇති බවයි. තායිලන්තයටද මේ වර්ෂා සමය වන අතර වර්ෂා සමයේ හේව් නරොක් දියඇල්ල ප්රචණ්ඩය.
සිදුවීම වඩාත් ඛේදනීය වුයේ පසුගිය බදාදා වන විට දියඇල්ලෙන් පහළට වැටී තිබුණු තවත් අලි මළසිරුරු පහක් සොයා ගැනීම හේතුවෙනි. මේ මළසිරුරු හඳුනාගන්නා ලද්දේ ඩ්‍රෝන කැමරා මගිනි. ඒ අනුව සිදුවීම හේතුවෙන් මියගිය අලින් සංඛ්‍යාව එකොළහක් දක්වා වැඩි විය. මේ අතර දිය ඇල්ල ඉහළ රැඳී සිටින තවත් අලින් දෙදෙනෙකු හඳුනා ගැනීමට බලධාරීන්ට හැකිවූ අතර ඔවුන් වහා මේ අලින් දිය ඇල්ල ඉහළ වනයට පළවා හැරීමට කටයුතු කළහ. පසුව ඔවුන් ප්‍රකාශ කළ පරිදි මේ අලින් සියල්ලෝම එකම රැළකට අයත්ය. අලි රැළක අලින් අතර ඉතා දැඩි බැඳීමක් පවතින අතර මේ සා විශාල දිය ඇල්ලකින් පහළට ඇද වැටීමට හේතු වී ඇත්තේද රැළේ එකිනෙකා වෙත දක්වන එම බැඳීමය. තම රැළේ සාමාජිකයන් විශාල පිරිසක් දිය ඇල්ලෙන් පහළට ඇද වැටෙද්දී දිවි බේරාගත් අලින්ද එම ස්ථානය අත් නොහැර සිටීමෙන්ද ඒ බව තහවුරු වේ.
තායිලන්තය තම භූමියේ වෙසෙන අලි සම්පත ගැන ආඩම්බරයට පත් වන අතර මේ වන විට ඔවුන් සතු සමස්ත අලි සංඛ්‍යාව 300ක් ලෙස ගණන් බලා තිබේ. ඒ අනුව අලින් එකොළොස් දෙනෙකු එකවර මියයෑම ඔවුන් විශාල අහිමි වීමකි.
කෙසේ වුවද තම අලින් රැක ගැනීමට තායිලන්ත බලධාරීන් ඉදිරියට කටයුතු කරනු ඇත.
එක් පැටියකු වෙනුවෙන් එකොළොස් දෙනෙකු ජීවිත පූජා කරයි නම් මිනිසුන් සමග සසඳා බලන විට අලින් කොතරම් දයාර්ද්‍ර සතුන් කොට්ඨාසයක් දැයි වටහා ගත හැකිය.