මැතිවරණ කාලේ හැසිරෙන්නේ කොහොමද ? | සිළුමිණ

මැතිවරණ කාලේ හැසිරෙන්නේ කොහොමද ?

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර බාර දීමෙන් පසුව මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් කාල සීමාවේ හැසිරිය යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

එහි ප්‍රධාන අරමුණ වන්නේ අපේක්ෂකයින්, මාධ්‍ය හා සෙසු පාර්ශව නිසි ලෙස දැනුවත් කිරීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වන ව්‍යවස්ථාවේ (3) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වු ඡන්ද විමසීම, දැනට ධුරය දරන ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත් විය යුතුයි.

වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි මස 8 වන දින ඉකුත් වන බැවින් 2019 සැප්තැම්බර් 18 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද නාම යෝජනා කැඳවනු ලැබීය.

ඒ අනුව 2019 නොවැම්බර් 16 වන දින පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා බාර ගනු ලැබීය.

ඒ අනුව මෙම අපේක්ෂකයින් 35 දෙනෙකු නාමයෝජනා බාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ඒ අනුව ගොඩ නැඟෙන නීති පහත පරිදි වෙයි.

රාජ්‍ය සේවකයා...

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම රාජ්‍ය/සංස්ථා, මණ්ඩල, බැංකු යනා දී ව්‍යවස්ථාපිත ආයතනද පළාත් සභා හා පළාත් පාලන ආයතන යනා දී සියල්ල රාජ්‍ය ආයතන ලෙස සැලකෙයි.

මෙම රාජ්‍ය ‍දේපල ජනාධිපතිවරණයේ දී පක්ෂ/ ‍අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා නැතහොත් අගතියට පත් කිරීම සඳහා භාවිතා කිරීම සපුරා තහනම්.

දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළ ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලනමය ක්‍රියාවක නිරත විය නොහැක.

දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයින්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලානමය කටයුතු වන නිරත විය නොහැකියි.

සෑම රජයේ නිලධාරීයෙකුම, මැතිවරණ කොමිෂන් සභාව විසින් 2019.19.19 වන දිනැතිව අංක 2141/52 දරන ගැසට් පත්‍රය මගින් නිකුත් කරන ලද විධානවලට යටත්ය.

අපේක්ෂකයන් හා දේශපාලනඥයින් සඳහා වු ආචාරධර්ම...

ප්‍රජාතන්ත්‍රවාදී හා ශිෂ්ට සම්පන්න රටවල්වල ඡන්ද විමසීම් සඳහා තරග කරන අපේක්ෂකයන්ට හා රටේ පාලනය සඳහා ක්‍රියා කරන දේශපාලනඥයින්ට ආචාර ධර්ම පද්ධතිය හඳුන්වා දී තිබේ.

ඒ අනුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දැන් කලක සිට අපේක්සකයන් හා දේශපාලනඥයින් සඳහා ආචාර ධර්ම හඳුන්වා දී ඇත.

එම ආචාර ධර්මවලට අනුකූලව ක්‍රියා කිරීම සියලුම අපේක්ෂකයින්ගේ, මෙන්ම ඔවුන්ට සහාය දෙන දේශාපාලඥයින්ගේ වගකීම බව කාරුණිකව අවධාරණය කරයි.

මෙම ආචාර ධර්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2019.09.25 දිනැති 2141/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධ කර තිබේ.

මාධ්‍යවල හැසිරීම...

මෙම කාල සීමාව තුළ අප අන් කවරදාටත් වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කිවිවෙකුට විශේෂ බැඳීමක් හෝ විරුද්ධත්වයක් නොමැතිව ක්‍රියා කිරීමට රාජ්‍ය මාධ්‍යය ආයතන නීතියෙන් බැඳී සිටියි.

අංක 2140/53 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2019.09.12 දිනැතිව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන මෙම රාජ්‍ය මාධ්‍ය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වෙයි.

පෞද්ගලික මාධ්‍ය ආයතන ද මෙම ඡන්ද විමසීමේ දී කිසිදු අපේක්ෂකයෙකුගේ ප්‍රවර්ධනයට හේතුවන පරිදි හෝ ආගතියට පත් වන  පිරිදි හෝ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් හෙවත් සනාථ කළ නොහැකි ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමට බැඳී සිටියි.

ජනාධිපතිවරණ සමයේ දී පෞද්ගලික රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකා පවා, එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය සඳහා පමණක් ක්‍රියා කිරීමෙන් හා අනෙක් අපේක්ෂකයන් අගතියට පත් කිරීමට ක්‍රියා කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

මේ සම්බන්ධයෙන් අවැසි නියාමන ක්‍රියාවේ යෙදවීමට මෙම සංඛ්‍යාතවල හිමිකාරීත්වය හා පාලන බලය සතු රාජ්‍ය ආයතන ක්‍රියා කරනු ඇති බවත් පෙන්වා දෙන මැතිවරණ කොමිෂන් සභාව මෙම පෞද්ගලික හිමිකාරීත්වය ඇති මුද්‍රිත මාධ්‍යවලට ද අදාළ බව අවධාරණය කරයි

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පනතේ 83 වන වගන්තිය අනුව අසත්‍ය තොරතුරු සනාථ කළ නොහැකි ප්‍රවෘත්ති/තොරතුරු පළ කිරීමෙන් වැලකී සිටිමට පුවත්පත් සංස්කාරකවරු බැඳී සිටියි.

එම වරද කළහොත් දණ්ඩනය ද පනතින් නියම කර තිබේ.

සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම ...

සමාජ මාධ්‍ය ජාලා හරහා තොරතුරු හුවමාරු කිරීම අද සමාජයේ ප්‍රමුඛතම සන්නිවේදන ක්‍රමවේදයක් වෙයි.

සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙන් වෛරී අදහස් පැතිර වීමෙන් එවැනි සමාජගත කිරීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ඡන්දය දෙන අවස්ථා ඡායාරූප ගත කිරීම හා ඡන්දය දුන් ආකාරය ප්‍රසිද්ධ කිරීම...

ඡන්දය දෙන ආකාරය හෝ ඡන්දය දී ඇති ඡන්ද පත්‍රිකා හෝ ඡායාරූප ගත කිරීම හා එවැනි ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීම කිසිසේත්ම නොකළ යුතුයි.

නිහඬ කාල සීමාව...

ජනාධිපතිවරණය පැවැත් වෙන 2019 නොවැම්බර් 16 වන දිනට පැය 48 කට පෙර සිට නිහඬ කාලසීමාව ආරම්භ වෙයි.

එවැබින් එම කාල සීමාව තුළ සියලූම අපෙක්ෂකයන් දේශපාලන පක්ෂ, දේශපාලනඥයින්, ආධාරකරුවන් මෙන්ම ජන මාධ්‍ය ආයතන ද සියලූම ආකාරයේ පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනය කිරීමේ ප්‍රචාරක කටයුතුවලින් හෝ අගතියට පත් කිරීමේ ප්‍රචාරක කටයුතුවලින් වැලකී සිටිය යුතුයි.

මෙහිදී රැස්වීම් පැවැත්වීම පමණක් නොව ජන මාධ්‍ය තුළින් දැන්වීම් ප්‍රචාරය කිරීම, සමාජ මාධ්‍ය ජාල හා දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ හරහා සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු කිසිවක් සිදු නොකල යුතුයි.

එම කාල සීමාව තුළ අපේක්ෂකයන් හා පක්ෂ සෘජුවම හෝ වක්‍රව ප්‍රවර්ධනය සඳහා අගතියට පත් කිරීම සඳහා පැරණි රැස්වීම් හෝ වැඩසටහන් පිළිබඳ තොරතුරු, චිත්‍රපට යනාදිය ප්‍රදර්ශනය කිරීමෙන්, කරවීමෙන් වැලකී සිටිමට සියලු දෙනා වගබලා ගත යුතුයි.

නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්විය හැක්කේ සියලූම අපේක්ෂකයන්ට ඡන්ද හිමියන්ට හා සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ඇති බව සැලකිල්ලට ගැනීමෙන් පමණකි.

තමා දරණ මතයට විරුද්ධ මතයක් දැරීමට, එය ප්‍රකාශ කිරීමට, ඒ වෙනුවෙන් පෙනී සිටිමට හා එම මතය ජය ගැනීම සඳහා අනීතික නොවන ක්‍රියාමාර්ග ගැනීමට අන් අයට ඇති අයිතිය සියලු දෙනා පිළිගැනීමෙන් පමණි.

 

 

 

 

 

 

 

Comments