
අවාරයේ සිරිපා හිමේ සොඳුරු බව විඳ ගනිමින් සමනළ කන්ද තරණය කර රාත්‍රියත් සමඟම සිරිපා පද්මයට ගොඩ වු කල එහි මුරකරුවන් පැවසූ දේ ලිපිය ආරම්භයේම මෙසේ සටහන් තබන්නේ නිර්ව්‍යාජ වූ ඒ වදන් අතර අවාරයේ සිරිපා හිම කෙබදුදැයි යන සැබෑ අර්ථය සැගව ඇති නිසාවෙන්ය.
“සමනොළ කඳු මුදුනට රාත්‍රිය උදා වුණාම හැබෑම ලස්සනයි. කිරි බැබළෙන හඳ එළියට මුළු හිමේම (කැලේම) කිරි පාටින් තෙමෙනවා. සඳ කැන් නාන හිමේ මහ ඇත්තෝ (අලි) ධර්මරාජ ගල පහළ ඉඳන් නිදහසේ කෑ මොර ගානවා. දවසක් මම පල්ලම් බහිද්දින් කොටි හපුවා මහගිරි දඹේ පාමුල පඩි උඩ. මේ සමන් දෙවියන්නේ අඩවිය වෙද? උන්නාන්සේගේ ඇල්ම, බැල්ම තියෙන තුරාවට, උන්නාන්සේගේ අණසක යටත් මේ වනපෙත කිලිටි නොකරමින් ජීවත්වෙන ඇත්තන්ට වරදින්නේ නෑ. උදැහැනැක්කෙම ලැගුම් පළවල් වලින් නික්මෙන කූල්ලෝ (පක්ෂීන්) මේ හැම අස්සක් මුල්ලක් නෑරම හක්කලන් කොරනවා. වාරෙට එකෙක්වත් දැක ගන්න නැති කැලෑ කෙල්ලෝ (කැහි බෙල්ලා) හැම තැනම. හරි අපූරූ කූල්ලෙක් (පසු විපරමේදී මේ කුරුල්ලා ඉතාමත් දුර්ලභ, අවේණික, දැක ගැනීමට පවා අපහසු කුරුල්ලෙක් සේ ප්‍රකට, අරංගයෙක් බවට තහවුරු විය) මහගිරි දඹේ පඩි ටික දිගේ උඩහටත්, පහළටත් මීදුම මැදින් පැන පැන යන්නේ පේන නොපෙනෙන ගානටයි. ඒකා පිඹින උරුවම් බෑම වෙන එක කුරුල්ලෙකුටවත් පිඹින්න බෑ සත්තයි. සිරිපාදේ කවදත් ලස්සනයි. ගොඩාක්ම හැඩ අවාරෙටයි. එක එක පාටින් මල් පිපිලා. වෙන දවස් වල නොදැක්ක මල්ත් මේ අවාරේ පිපිලා. ගස් වළ කදන් වලත් මල් (ඔකිඩ්). තණ කොළ බිමෙත් මල් (බිම් ඕකිඩ්). එක එක විදිහේ පොකුරු පොකුරු එක එක හැඩේට. මල් පැණි උරන සමනලුන්ට නම් ඉස් පාසුවක් නැහැ. වද බඳින මැස්සෝ ඕසෙට. හඳ එළියේ බැබළෙන අර කඳු මුඳුන, ඒ තමයි කුණු දිය පරුවතය. මහ ඇත්තන්ගේ කදිම තිත් පොළක් ”
දුර්ලභ ඕකිඩ් වර්ග රැසක්
සිරිපා පද්මය වැද පුදා ගැනීමට කදිම සමය වන්නේ දෙසැම්බර් පෝය දින සිට එළැඹෙන වෙසක් පෝය දක්වා වු මාස හයක කාලයයි. ඒ කාලය තුළදි සමනළ අඩවිය වැසි වලින් අඩු වියළි කාලයක් වන බැවින් වන්දනා බැතිමතුන්ට කදු තරණය සඳහා පහසුවක්ද වේ. නමුත් ආවාරය යනු සුළං දැඩි වු වැසි සහිත සමය වන බැවින් වන්දනා කටයුතු සදහා සුදුසු වන්නේ නැත. එකී මාස හයකට ආසන්න වු කටුක සීතල සහ වැස්ස නිරන්තරවම පොර බදිනා සිරිපා මළුව තුළ රැදෙමින් සිරිපා අවාර සමය තුළදී සිරිපතුල සහිත වු පූජා භූමිය ආරක්ෂා කිරීමේ රාජකාරිය, දේව කාරියක් හා සමැව ඉටු කරනා මිනිසුන් කිහිප දෙනෙක් සිටින බව ඇතැමෙක්ට නම් රහසක්. ආගිය රස කතා, සිරිපාදේ හා බැදුණු ජනකතා, දුර්ලභ වනසතුන්ගේ හමුවන්, සිරිපා මළුව හා බැදුණු අද්භූත සිදුවීම් ආදී විවිධ කතා නිසාවෙන් අප අධ්‍යයන කටයුතු විවිධත්වයකින් යුතුව සිදු වු බවත් සිහිපත් කළ යුතුමයි. සිරිපා අවාරයේ වනබිමේ මල් දරනා ශාක අතරේ, එකී ශාක වලටද නවමු පෙනුමක් ලබා දෙමින් ගස් කඳන් මතත්, බිම් ස්ථරයේ විවිධ ස්ථාන වලත් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත් ශාක කුලයක් ලෙස ඔකිඩේසියේ (Orchidaceae) හැදින්විය හැකිය.
සිරිලක පුරා ඕකිඩ් විශේෂයන්හි ව්‍යාප්තිය ගත් කල විශේෂ 188 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර ඉන් විශේෂ 46 කට ආසන්න ගණනක් සමනල වනපෙත ඇසුරේදී හමු වේ. එම වනගත ඕකිඩ් විශේෂ 46 න් විශේෂ 16 කට ආසන්න සංඛ්‍යාවක් ආවේණික විශේෂයන් වීමද සමනල වනපෙත සතු ශාක ජෛව විවිධත්වයේ අගය මොනවට පසක් කර සිටිනා නිදර්ශකයක් හා සමය. බොහෝ විශේෂයන් හැදින්වීම සඳහා සිංහල නම් භාවිතයේ නැති අතර විද්‍යාත්මකව නාම ගන්වා ඇති පරිදි ලතින් බසින් වර නැගෙන වනගත ඕකිඩ් විශේෂ කිහිපයක නම් Coelogyne odoratissima, Eria braccata, Seidenfadeniella filiformis, Bulbophyllum elegans, Phains wallichii, Habenaria plantaginea, Robiquetia rosea ලෙස හැදින්විය හැකිය.
නගා මැරූ අල
ගස් කඳන් මත වැඩී වනය හැඩ කරනා ‘උඩවැඩියා’ අතරත්, බිම් මට්ටමේ හැදි වැඩෙමින් වනබිම වර්ණවත් කරනා උඩවැඩියා විශේෂයන්ද සමනල වනපෙත තුළ ස්වකීය පැවැත්ම තහවුරු කර ගෙන සිටියි. විද්‍යාත්මකව Ipsea speciosa ලෙස හදුන් වන බිම් උඩවැඩියා විශේෂය හැදින්වීමට සිංහල ව්‍යවහාරයේ භාවිතා වන ‘නගාමැරූ අල’ යන නමට සරිලන අයුරින්ම මහා ඛේදවාචකයකට හේතු වූ ශාකයක් බවට මේ උඩවැඩියා විශේෂය පත්වූ බැව් ජනප්‍රවාදයන්හී සදහන් වෙයි. නගා මැරූ අල ශාකය හට ගන්නේ සෙසු උඩවැඩියා හා සමැව ගස් කඳන්මත වෙනුවට බිම් මට්ටමේ තණකොළ ආදිය අතරේය. මෙකී ශාකයේ අල දෙකත් – එකත් අතර සංඛ්‍යාවක් හට ගන්නා අතර මේ අලවල යුෂයන්හී යම් වාජීකාරක ගුණයක් ඇතැයි ගැමි විශ්වාසයක් ද පවතිනුයේ පුරා ජනකථාවට සමගාමීවය. කහ පාටැති මල් දරනා මෙම උඩවැඩියා විශේෂයේ කොළ ඉඳි කොළ හා සමානය.
වර්ණවත් වු විවිධ පැහැ අවදීන්ගෙන් යුතු පුෂ්පයන් දරනා උඩවැඩියා ශාක වාණිජමය පරමාර්ථයන් මුල් කර ගෙන ජන්ම ස්ථානයෙන් බැහැරට ගෙන ගොස් විකිණීමේ සහ ජාත්‍යන්තර ජාන මංකොල්ලයන් සඳහාද භාවිතයට ගැනීමේ වැඩි නැඹුරුතාවයක් පවතී. විද්‍යාත්මකව Dendrobium maccarthiae ලෙස නම් කර ඇති වෙසක් ඕකිඩ් වැනි සුන්දර පුෂ්පයන් දරනා උඩවැඩියා ශාක සඳහා යෝග්‍ය වු පාරිසරික සහ දේශගුණික තත්ත්වයන්ගෙන් අනූන වු සමනල වැනි වනපෙත් වෙත ජාන සොරුන්ගේ අවධානය යොමු වන්නේ නිතැතින්ය.
මන්ද යත් මිනිස් සිත ආකර්ෂණය කර ගත හැකි හැකියාව වෙසක් සහ සෙසු බොහෝ ඔකීඩ් මල් සතුව පවතී. එක් මලකින්, මල් දෙකකින් හෝ මල් කිනිති රැසකින් හැඩ වන ඕකිඩ් සොබා සුන්දරත්වයට එකතු කරන්නේද අපූර්වත්වයකි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් වනජීවී රක්ෂිතයක් සේ ප්‍රකාශයට පත් කර ඇති සමනළ අඩවියේ ආරක්ෂාව සඳහා ප්‍රධාන සිරිපා මං පෙත් දෙක වන පළාබද්දල සහ නල්ලතන්නිය කේන්ද්‍ර කර ගිනිමින් වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල ද්විත්වයක් ස්ථාපිත කර ඇත්තේ සමනළ වනපෙතේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ කාර්යය වෙනුවෙනි.
සමනළ අඩවිය සතුව ඇති අනගි ජෛව සම්පත් මංකොල්ල කෑමට සිරිපා වාරයේදී මෙන්ම අවාර සමය තුළදීද වනපෙත් තුළට රිංගීමට මාන බලන්නන් සුලභය. එබැවින් සිරිපතුල වැද නමස්කාර කර ගැනීම සඳහාම පැමිණෙන ඔබ සෙසු බැතිමතුන්ගේ ක්‍රියාකලාපය පිළිබදවත් අවබෝධයෙන් පසු විය යුතුය.
සේයා රූ - නුවන් චතුරංග