පිය - දියණි විවාහ ඉරාන නීතියේ ඇත්ත මොකක් ද? | සිළුමිණ

පිය - දියණි විවාහ ඉරාන නීතියේ ඇත්ත මොකක් ද?

 

විවාහ කර ගත හැකි වන්නේ හදාගත්  දියණියන් පමණයි

ඉන්දීය වෙබ් අඩවියක් වැරදි තොරතුරු වාර්තා කරලා

පසුගියදා ඉන්දීය වෙබ් අඩවියක පළ වූ පුවතක් හේතුවෙන් ලොව පුරා සාදාචාර සම්පන්න ජනතාව තිගැස්මට පත් වූහ. එමගින් ප්‍රකාශ වූයේ ඉරානයේ පනවන ලද නව නීතියකට අනුව එරට පුරවැසි පිරිමින්ට තම දියණියන් විවාහ කර ගැනීමට හැකියාව ලැබෙන බවයි. මේ ප්‍රවෘත්තිය එසැනින් ලොව පුරා පැතිරෙන්නට වූ අතර එමගින් ඉරානයේ කීර්ති නාමයට ඇති වූ හානියද සුළු පටු නොවේ. මන්දයත් පියා සහ දියණිය අතර විවාහයක් සිදුවීම සදාචාර සම්පන්න සමාජය කිසිවිටකත් අනුමත නොකරන බැවිනි.

කෙසේ වුවද මේ ප්‍රවෘත්ති ඇත්ත නැත්ත සොයා බලන විට දැනගන්නට ලැබෙන්නේ එය සම්පූර්ණයෙන් සත්‍ය ප්‍රවෘත්තියක් හෝ සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රවෘත්තියක් නොවන බවයි.

සැබවින්ම ඉරානයේ පැනවූ නීතියෙන් ප්‍රකාශ වූයේ ඉරාන පියවරුන්ට තමන් ස්වකීය පවුලට ඇතුළත් කරගත් එනම් ‘හදාගත්‘ දියණියන් විවාහ කර ගැනීමට හැකියාව ලැබෙන බවයි. එසේ කිරීමට හැකියාව ලැබෙන්නේද ඉරාන රජයේ සුභසාධන වැඩපිළිවෙලේ ඉල්ලීමක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ඉල්ලීම විනිසුරුවරයකු විසින් අනුමත කිරීමෙන් පසුව පමණි.

මේ දීර්ඝ ප්‍රවෘත්තිය වෙනුවට අදාළ ඉන්දීය වෙබ් අඩවියේ පළවී තිබුණේ ‘ඉරාන පියවරුන්ට තම දියණියන් විවාහ කර ගැනීමට හැකියාව ඇතැයි‘ යනුවෙන් විකෘති වූ ප්‍රවෘත්තියකි.

සැබවින්ම මැදපෙරදිග කලාපයේ රටවල ඇතැම් යල් පැනගිය නීති සහ මැදපෙරදිගට පමණක් ආවේනික නීති බවතින බව රහසක් නොවේ. මේ සාකච්ඡාවට බඳුන්ව ඇති පිය - හදාගත් දියණි විවාහයද එවැන්නකි. එහෙත් සබවින්ම ඉරාන වාර්තා අනුව මෙවර සිදුවී ඇත්තේ එවැනි විවාහ අධෛර්යමත් කිරීමේ වෑයමක් නීතිගත වීමකි.

මේ විවාහ නීතිය අතීතයේ සිට ඉරානයේ පැවතී තිබේ. ඉරාන නීතියට අනුව අරන් හදාගත් දරුවන් සහ දෙමාපියන් අතර ලේ ඥාතීත්වයක් නොමැති බැවින් ඔවුන් සැමවිටම සැලකී ඇත්තේ ඥාතීත්වයෙන් තොර බාහිර පුද්ගලයන් වශයෙනි. ඒ අනුව හදාගත් දියණියන් තම පියා ඉදිරිපිට හිස වසාගෙන සිටිය යුතුය. හදාගත් පුතුන් ඉදිරිපට මවද හිස වසා සිටිය යුත්තේ ඔවුන් පුතුන් වුවද ඥාතීන් ලෙස නොසැලකෙන බැවිනි.

ඒ අනුව තම වියදමින් තම පවුල තුළ හැදී වැඩෙන කාන්තාවන් නිසි වයසට පත් වූ පසු විවාහ කර ගැනීමට හැකි නීතියක් අතීතයේ එරට පැවතී තිබේ. 2013 වසරේදී එය නීතිගත කිරීමට ඉරාන රජය උත්සාහ දරා ඇති අතර එවර ඉරාන අධිකරණය එම යෝජනාව ඉවත දමා ඇත්තේ එය ශරියා නීතියට පටහැනි බව දන්වමිනි. නීතිය සම්මත කර ගැනීමට අවශ්‍ය නම් සංශෝධන සහිතව එය ඉදිරිපත් කළ යුතු බවද ප්‍රකාශ වී තිබේ. එ් අනුව මෙවර සිදුවී ඇත්තේ එම නීතිය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමයි. ඒ අනුව ඉරනයේ පවුලක පියෙකුට තම පවුල තුල දියණියක ලෙස හදාවඩාගත් තරුණියක් විවාහ කර ගැනීමට හැකියාව ලැබේ. එසේ කළ හැකි වන්නේ එරට රජයේ සුභසාධක වැඩපිළිවෙලේ ඉල්ලීමක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන යෝජනාවක් විනිසුරුවරයකු විසින් අනුමත කිරීමෙන් පසුවය.

මෙය තරමක් දීර්ඝ ක්‍රියාවලියක් බැවින් මෙවැනි විවාහ අධෛර්මත් කිරීම ඉරාන අධිකරණයේ අරමුණ බව එරට විනිසුරුවරයකු පවසා තිබේ. එමෙන්ම මේ දක්වා තම අධිකරණ ඉතිහාසයේ මෙවැනි විවාහයක් තමන්ට වාර්තා නොවූ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

එහෙත් හදාගත් දියණියක් වුවද පවුල තුළ හැදී වැඩෙන්නේ එම පවුලේ දෙමාපියන්ගේම දියණියක් ලෙස බැවින් එවැනි විවාහයක් තුළදී දරුවන්ට දැනෙන හැඟීම කෙසේදැයි මානුෂිකව සලකා බැලිය යුතුය. මැදපෙරදිග කලාපයේ දී කාන්තාවන්ගේ අයිතිවාසිකම් යනු වැලිකැට මෙන් නොසලකා හරින දෙයක් බැවින් මෙවැනි මානුෂික හැඟීම් සම්බන්ධයෙන් කතා කිරීම පලක් නොමැති දෙයකි. එහෙත් තමන්ගේම දියණියක් හෝ හදාගත් දියණියක් වුව ලොකුමහත් වූ පසු බිරියක් ලෙස තබාගැනීමේ වැඩි වෙනසක් සදාචාර සම්පන්න සමාජය අනුදකින්නේ නැති බවනම් කිව යුතුය.

අතීත ඉරානය තුළ මෙවැනි විවාහ සිදු වූයේ නම් මෙවර සිදුවූයේ එම විවාහ නීති ගත කිරීමක් වෙනුවට එම විවාහ අධෛර්මත් කිරීමේ උත්සාහයක් බව ඉරානයම පවසයි නම් මැද පෙරදිග තරම දන්නා සෙසු ලෝකය එයින් සැනසීමට පත් විය යුතුය.

ඉරානයේ දුශ්කර ප්‍රදේශවල තවමත් අඩු වයස් දැරිවියන් විවාහ කරවන බවට වාර්තා තිබේ. බටහිර මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට ඉරානයේ ගැහැණු ළමුන්ගෙන් සියයට 17ක් වසය අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාපත් වෙති. සියයට 3ක් වයස අවුරුදු 15ට පෙර විවාහ වෙති. කෙසේ වුවද මේ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ ඉරාන විවාහවලින් වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි නොකරන බැවින් මේ විවාහවල සත්‍ය වයස නිශ්චිතව වාර්තා නොවන බවයි.

ඉරානය බටහිර සමග දීර්ඝ කාලීන මදවාදීමය ගැටුම්වලට මුහුණ දී සිටින රටක් බැවින් බටහිර මාධ්‍ය ඔවුන් සම්බන්ධයෙන් ගෙන එන වාර්තාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් වෙනම විමසා බැලිය යුතුය.

කෙසේ වුවද ඉරානය 1991දී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පණතට අත්සන් තැබූ නමුත් 1994දී ඉන් ඉවත් වී තිබේ. මැදපෙරදිග කලාපයේ බොහෝ රටවල විවාහ නීතියේදී පමණක් නොව සෙසු නීති රාමුවතුළදීද කාන්තාවන්ට වෙනම හැන්දකින් බෙදන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

Comments