දිවි පෙවත අසීරු කළැයි මරා දැමුණු සමාජ මාධ්‍ය තරුව | සිළුමිණ

දිවි පෙවත අසීරු කළැයි මරා දැමුණු සමාජ මාධ්‍ය තරුව

පළමු වතාවට පාකිස්තානයේ සමාජ මාධ්‍ය ජාල තරුවක් බවට පත් වූ ඛන්දීල් බලෝච් (Qandeel Baloch) ඝාතනය ලොව පුරා ප්‍රධාන පුවතක් බවට පත් විය.

ඛන්දීල්ව ඝාතනය කළ ඇයගේ සහෝදරයාට මේ වන විට දඬුවම් නියම වී තිබේ.

කෙසේවෙතත්, පාකිස්තානය තුළ ඛන්දීල් ගෙවූ වෙනස් දිවි පෙවත ඇයගේ මරණයට හේතු වී ඇති බව වසර ගණනාවක් මෙම කතාව නිරීක්ෂණය කළ බී.බී.සී මාධ්‍යවේදී සනම් මහර් සිය ලිපියේ විස්තර කර ඇත.

සිද්ධිය වී වසර තුනකට පසු පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 27) පාකිස්තානයේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ එම නඩුව අවසන් විය.

26 හැවිදිරි වූ ඛන්දීල් බලෝච් පාකිස්තානයේ ප්‍රථම සමාජ මාධ්‍ය ජාල තරුව වූ අතර 2016 ජූලි මස දී ඇය සිය සහෝදරයා අතින් ඝාතනයට ලක්විණි.

එය 'පවුලේ ගෞරවය රැක ගැනීම' වෙනුවෙන් කළ ඝාතනයක් ලෙස හඳුන්වා ඇත.

ඛන්දීල් සමාජ මාධ්‍ය ජාලවල පළ කරන ලද ඡායාරූප සහ වීඩියෝ නිසා ඔවුන්ගේ පවුලට අගෞරව වන බව හැඟී යාමෙන් සහෝදරයා මෙම ඝාතනය සිදු කර තිබේ.

දෙමාපියන් නින්දට ගොස් සිටියදී සිය සහෝදරියගේ ගෙල සිර කර මරා දැමූ වසීම් ඔවුන්ගේ පාරම්පරික ගම්මානය වන ෂාහ් සදාර් දින් වෙත ගොස් තිබේ.

නිවසේ සිට පැය දෙකක කාලයකින් යා හැකි දුරකින් පිහිටි මෙම ගම්මානය වෙත ගිය ඔහු කිසිවෙකුගෙන් සැඟවී සිටින්නට ද උත්සහ කර නැත.

සිය සහෝදරිය ඝාතනය කළ දිනට පසු දා උදෑසන ඔහු එම ගම්මානයේ වෙළෙඳපොළ වටා සිය මෝටර් බයිසිකලය පදවාගෙන යන අයුරු බොහෝ දෙනෙකු දැක ඇති බව වාර්තාවල දැක්වේ.

තමන් කළ අපරාධය ගැන ගම්මුන් දැනගැනීම ඔහුට අවශ්‍ය වී තිබිණි.

ඛන්දීල්ගේ සත්‍ය නම ෆවුසියා අසීම් බව ඇයගේ ගමන් බලපත්‍රයේ පිටපතක් සමඟ පුවත්පතක පළ කර තිබුණේ ඝාතනයට දින කිහිපයකට පෙරය.

මේ අනුව, ඛන්දීල් පැවසූ පරිදි ඇය ධනවත් ඉඩම් හිමියෙකුගේ දියණියක් නොව, පංජාබ්හි දුෂ්කර ගම්මානයක, අපවිත්‍ර වූ පොළොවක් සහිත නිවසක හැදී වැඩුණු තැනැත්තියක් බව සමාජ මාධ්‍ය ජාලවල ඇයගේ ග්‍රාහක පිරිසට දැනගන්නට ලැබිණි.

(බී.බී.සිය ඇසුරෙනි)

 

 

 

 

 

 

 

 

 

Comments