
ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම රජයකට මුහුණ දීමට සිදු නොවූ තරමේ විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් වුවද, රටේ ආර්ථිකය ස්ථාවර හා ශක්තිමත් කර ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. රට පුරා සෑම මැතිවරණ කොට්ඨාසයකටම රු. කෝටි 40 ක මුදලක් මේ වසර නිමාවීමට පෙර ලබාදෙමින් ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරන බවත්, ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය වැඩසටහන ක්‍රියාවට නංවා ඇතැයි ද ඇමැතිවරයා කියයි. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ මොනරාගලින් ඇරඹි එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික මහා ප්‍රදර්ශනය දෙවැනි වරටත් ඉකුත් මාසයේ 24 සිට 27 දක්වා ඓතිහාසික අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වූ බවද එහි තුන්වැනි පියවර ලෙස මේ මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා යාපනය කොටුවේ පැවැත්වීමට නියමිත බවද මංගල සමරවීර මහතා පවසයි.
2019 ජනවාරි 01 වැනිදා සිට මේ වසරේ අගෝස්තු 21 දක්වා කාලය තුළ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති 99882ක් රු. මිලියන 45477 ක මුදලක් වැයකොට ගම්පෙරළිය වැඩසටහන යටතේ සාර්ථකව ක්‍රියාත්මක කොට ඇත. එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන වැඩසටහන යටතේ මේ වන විට රු. බිලියන 92 ක මුදලක් ව්‍යවසායකයින් සහ සහන ඇවැසි රටවැසියන් 60,000 කට ආසන්න ප්‍රමාණයකට ණය මුදල් පිරිනමා ඇතැයි ද ඇමැතිවරයා කියයි. මෙතෙක් කිසිම රජයක දැඩි අවධානයක් යොමු නොවු ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කොට, ගල් අතුරා, වැඩි දියුණු කිරීම සඳහා ගම්පෙරළිය යටතේ විශේෂ අවධානයක් වත්මන් රජය ලබා දුනි. ඒ අනුව ඈත පිටිසර ගමේ ජනතාවගේ කෘෂි කාර්මික, කාර්මික, සේවා නිපැයුම් පහසුකම් සහිත නගරයට පමණක් නොව ලෝක වෙළෙඳ පොළ වෙත පවා යොමු කරලීමට හැකි අපනයන වැඩි දියුණු ආර්ථිකයක් ගොඩනැඟීම රජයේ අරමුණ වී තිබේ. ඒ අනුව ගමේ නිෂ්පාදන වැඩි දියුණුව සඳහා අවශ්‍ය දේ මෙන්ම රටේ මානව සම්පතේ උන්නතිය උදෙසා අවශ්‍ය පහසුකම් සියල්ල එකවර වැඩි දියුණු කිරීම සිදු කෙරේ. වැව් අමුණු, ජල යෝජනා ක්‍රම, විදුලි බලය, ක්‍රීඩා පහසුකම්, ළමා සුරැකුම් මධ්‍යස්ථාන, අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස, කෘෂි, ධීවර, ස්වයං රැකියා වැඩිදියුණු කිරීම් යනාදියට ගම්පෙරළිය වැඩසටහනින් ප්‍රමුඛතාවය ලබාදී තිබේ.
වසර 2018 සැප්තැම්බර් ඇරැඹි ගම්පෙරළිය වැඩසටහන යටතේ එක් මැතිවරණ කොට්ඨාසයකට රු. කෝටි 20 ක මුදලක් ලබා දුනි. එය වැඩිදියුණු කරමින් තවත් රු. කෝටි 10ක මුදලක් ලබා දී ඇත. ඉකුත් සතියේ රැස්වූ ඇමැති මණ්ඩලයේදී ගම්පෙරළිය වැඩසටහනේ තුන්වැනි පියවර ලෙස මෙම මාසයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ තවත් සංවර්ධන ව්‍යාපෘති වේගවත් කිරීමට අමතරව රු. කෝටි 10ක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත. 2018 ඔක්. 26 වැනිදා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්රණයකින් බලයට පත් මහින්ද රාජපක්ෂ මහතා පළමු කැබිනට් පත්‍රිකාව ලෙස ගම්පෙරළිය වැඩසටහන නතර කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එය අප පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුව ඇත.
ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ව්‍යාපෘති 98000ක් විශාල මුදලක් ඉතා කෙටි කාලයක් තුළ වියදම් කරමින් ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කළේ වත්මන් රජයයි.
රජය ගම්පෙරළිය ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ආරම්භ කළේ 2018 සැප්තැම්බර් මාසයේදියි. එය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා වැඩසටහන් ක්‍රියාත්මක විය. දින 52න් පසු ව්‍යස්ථානුකූලව බලය ලබාගෙන ගම්පෙරළිය වේගවත් කළේය. මේ වන විට ව්‍යාපෘති අනූ අටදහසක් ක්‍රියාත්මකයි. සෑම මැතිවරණ කොට්ඨාසයකම රුපියල් මිලියන 300 බැගින් ලබා දි ඇත. ගම්පෙරළියෙන් වැව් හා අමුණු 1340 ක් ප්‍රතිසංස්කරණය වී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1328ක මුදලක් වැය වී ඇත. ග්‍රාමීය මාර්ග, කුඩා පාලම් 38333ක් ඉදිකර ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 29783ක් වැය කොට තිබේ.
පාසල් 1463 කට වැසිකිලි පහසුකම් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 686.2 ක් වැය කර ඇත. ගමේ ක්‍රීඩා සමාජවලට රුපියල් මිලියන 2312 ක මුදලක් ලබා දී ඇති අතර පන්සල්, පල්ලි, කෝවිල් , දේවාල 10343 ක් නවීකරණය කර ඇත. ආගමික සිද්ධස්ථාන 963 ක සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්න පහසුකම් ලබා දී ඇති අතර වහලවල් නැති පුංචි ගෙවල්වලට වහලය සාදා ගැනීමට රුපියල් මිලියන 4189.5 ක මුදලක් වියදම් කර ඇත. නිවාස 30576 වැඩ අවසන්ව ඇති අතර මේ වසරේ ගම්පෙරළිය තුන්වන අදියර සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇත. මේ වැඩපිළිවෙළ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර ආයතන කිහිපයක ඇගැයීමට ලක් වී ඇත.
ශ්‍රී ලංකාවේ හොඳම දිස්ත්‍රික්කය ලෙස සියයට 87ක ප්‍රතිශතයකින් වැඩ කටයුතු කළ මාතලේ පත් වී ඇති අතර මහනුවර සියයට 73ක්ද, කිළිනොච්චිය සීයයට 77ක්ද, මඩකලපුව සියයට 58ක්ද, ත්‍රිකුණාමලයේ සියයට 65 ක්ද, වව්නියාවේ සියයට 55 ක්ද, අම්පාර සියයට 44 ක්ද, බදුල්ල සියයට 34ක්ද, ගාල්ල සියයට 29ක්ද, හම්බන්තොට සියයට 35ක්ද වෙයි.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට සොඳුරු පියස, ගොවි නවෝදා, රිය ශක්ති, රිවිසවි බල, ජය ඉසුරු, දිරි සවිය, මාධ්‍ය අරුණ, හරිත ණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධන ණය ඇතුළු ණය යෝජනා ක්‍රම 17ක් ක්‍රියාත්මක කෙරේ. ඊට අමතරව ණය ලබාගැනීමේදී ජනතාවට සහය වීම සඳහා ඇප සුරැකුම් ණය ක්‍රමවේදයක්, විදේශීය මූල්‍යාධාර සහිත ආපසු නොගෙවන දිරි දීමේ සහන යෝජනා ක්‍රම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මකය.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා තුන්වැනි ජාතික මහා ප්‍රදර්ශනය සැප්තැම්බර් 07 වැනිදා ජනාධිපති - අගමැති ප්‍රධානත්වයෙන් යාපනයේදී විවෘත කෙරේ.