පැණිබීම යොදා වැසිකිළි සේදිය හැකි බව කියන කතාවල ඇත්තක් තිබිය හැකියි | Page 2 | සිළුමිණ

පැණිබීම යොදා වැසිකිළි සේදිය හැකි බව කියන කතාවල ඇත්තක් තිබිය හැකියි

කොකාකෝලා බෙවරේජ්ස් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ

හිටපු පර්යේෂණ හා සංවර්ධන කළමනාකරු ආචාර්ය වී. යූ. රත්නායක

ප්‍රධාන පෙළේ විදේශ සමාගම් නිපදවන බීමවලට රසකාරක වර්ණක ගෙනෙන්නෙ පිටරටින්. ලංකාවේදී එකතු කරන්නෙ සීනි සිරප් සහ ජලය විතරයි

පැණිබීම ඇඟට අගුණ බව කියන්නේ අද ඊයේක නොවේ. පැණිබීමවල ඇති අධික සීනි ශරීරයට අහිතකර බව නොරහසකි. එසේම ඇතැම් පැණිබීම වර්ගවලින් අධික කහට පැල්ලම් සහිත වැසිකිළි පෝච්චි පවා පිරිසුදු වන බවත් කටකතා පැතිර ගොස් තිබේ. කනින් කොනින් ඇසෙන ආරංචි මිස පැණිබීම ගැන හරියටම දන්නේ මොනවාද? ඇත්තටම පැණිබීම ශරීරයට අහිතකරද? එසේ නම් ඒ කුමනාකාරයෙන්ද බොහෝ දෙනකුට ඇති ගැටලුය. මේ කොකාකෝලා බෙවරේජ්ස් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ හිටපු පර්යේෂණ හා සංවර්ධන කළමනාකරුවකු වන ආචාර්ය වී. යූ. රත්නායක සමඟ කළ සාකච්ඡාවකි.

 පැණිබීම කියන්නේ මොකක්ද?

පැණිබීම කියන්නේ සීනි යොදා සකස් කරන ලද ඕනෑම බීම වර්ගයක්. සීනි සහිත කුමන වර්ගක් බීමට එක් කළත් එය පැණි රස නම් එය පැණිබීම කියලා තමයි හඳුන්වන්නේ. හකුරුවර්ග, විවිධ පැණිවර්ග ආදී සියල්ලම සීනි වර්ගය යටතට ගැනෙනවා. සීනි වර්ගවල යම් යම් ප්‍රභේද තියෙනවා. 2017 වසරේ ශ්‍රී ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 497,952ක්ද 2018 වසරේ සීනි මෙට්‍රික් ටොන් 644,675ක්ද ආනයනය කළා. ඒ විදිහට ආනයනය කරපු සීනිවලින් කරන එකම කාර්ය වන්නේ පරිභෝජනය. පාරිභෝජනය සඳහා මිස සීනි ආශ්‍රිතව වෙනත් කිසිදු නිෂ්පාදනයක් සිදු කෙරෙන්නේ නෑ.

මේ වන විට පැණිබීම බෝතල්වල සීනි ප්‍රමාණය සඳහන් කිරීමක් වෙනවා?

රතු පාටින් අධික සීනි මට්ටමත්, කහ පාටින් මධ්‍යම සීනි මට්ටමත්, කොළ පාටින් අඩු සීනි මට්ටමත් දැක්වෙනවා. සාමාන්‍යයෙන් පැණිබීම වර්ගවල පැණිබීම මිලිලීටර් සියයකට සීනි සියයට දහයක්, පහළොවක් යනාදී වශයෙන් අන්තර්ගත වෙනවා. එනම් ග්රෑම්වලින් නම් සීනි ග්රෑම් 10ක් 15ක් වන ප්‍රමාණයකි.

නිවසක අපි බොන තේ කෝප්පයක ධාරිතාව මිලිලීටර් 150ක්. සීනි හැන්දක් කියන්නේ ග්රෑම් 5ක්. සීනි හැඳි දෙකක් යොදා තේ එකක් බොන්නේ නම් තේ එකක් බීමේදී සීනි ග්රෑම් 10ක - 12ක අතර ප්‍රමාණයක් ශරීරයට එක් වෙනවා. ඒ කියන්නේ පැණි බීම වගේම තේ බිව්වාමත් ශරීරයට සීනි එකතු වෙනවා.

දවසකට අවම වශයෙන් පරිභෝජනය කළ යුතු සීනි ප්‍රමාණයක් තියෙනවාද?

සීනි පරිභෝජනය ඕනෑම මිනිස් ශරීරයකට අගුණ දෙයක්. නමුත් ශරීරයේ සීනි පාලනය කිරීම සඳහා ශරීරයට ප්‍රතික්‍රියා දැක්විය හැකි නම් ගැටලුවක් නෑ. ඒත් බොහෝ මිනිස් ශරීරවලට එසේ ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාවක් නෑ. එසේ ශරීරය ප්‍රතික්‍රියා නොදැක්වීම හේතුවෙන් දියවැඩියා තත්ත්වය ඇති වෙනවා. ‍

සීනි දහනය කිරීමට නම් ශරීරය අධික ලෙස වෙහෙස වෙන්න ඕනෑ. රැකියාවට බර වැඩ කරන මිනිසුන් සීනි හැඳි එකක් දෙකක් වැඩිපුර ආහාරයට ගැනීම ගැටලුවක් නෑ. ඒ ඔවුන් ශක්තිය වැය කරන නිසා.

දිනකට පුද්ගලයකු සීනි වශයෙන් කිසියම් හෝ ප්‍රමාණයක් ශරීරයට එක් කරගැනීමේ කිසිදු පල ප්‍රයෝජනයක් නෑ. මිනිසුන් ආහාරයට ගන්නා කෑමවල අවසාන ප්‍රතිඵලය වන්නේ සීනී නිෂ්පාදනයයි.

පැණි බීමවලින් ගැස්ට්‍රයිටීස් හැදෙනවා කියන්නේ ඇත්තද?

ශරීරයට ආහාර මඟින් එකතු වෙන විෂබීජහරණය සඳහා ස්වාභාවික ආමාශ අම්ලයක් නිපදවනවා. ඇතැම් ජනප්‍රිය බීමවර්ගවල අම්ලවල PH අගයට ආමාශ අම්ලවල PH අගයට සමානව සමාන වෙනවා. එවැනි බීම වර්ග භාවිත කිරීම නිසා ආමාශයට නිකුත් කරන ද්‍රාවණයේ ආම්ලික තත්ත්වය අඩු වීමක් සිදු වන්නේ නෑ. එම බීම වර්ග බීමෙන් ආම්ලික තත්ත්වය වැඩි වෙනවා.

එසේම බීමවර්ග සෑදීමේදී (ජලයට) කාබන්ඩයොක්සයිඩ් එකතු කරනවා. කාබන්ඩයොක්සයිඩ් ජලයට එකතු කිරීමෙන් පසුව ඇති වන තත්ත්වය රසායන විද්‍යාත්මකව හඳුන්වන්නේ කාබෝනික් ඇසිඩ් කියලා. එනම් එය අම්ලයක්. එම අම්ලය නිසාද ශරීරයේ ආම්ලිකතාව වැඩි වෙනවා. ඇතැම් ශරීරවලට එම ආම්ලිකතාව පාලනය කළ හැකි මුත් හැම ශරීරයකට එසේ පාලනය කරන්න බෑ. එවිට ශරීරයේ ආම්ලිකතාව වැඩි වෙනවා. එම නිසා ගැස්ට්‍රයිටීස්, වමනය, බඩ ඉදිමීම වැනි රෝග හා රෝග ලක්ෂණ ඇති වෙනවා.

ඇතැම් පැණිබීම දමා වැසිකිළිවල දැඩි පැල්ලම් යැවිය හැකි බවටත් මතයක් තියෙනවා?

බීම වර්ග යොදා වැසිකිළි සේදිය හැකි බව ඇතැම් අය කියන්නේ ඒවායේ ඇති ඇසිඩ්වර්ග නිසා. ඒ අනුව එහි සත්‍යතාවක් තියෙන්න පුළුවන්.

ඒ වගේම සාමාන්‍යයෙන් පැණිබීම බෝතලයේ ප්‍රමාණය මෙන් තුනහමාරක ගුණයක් පැණිබීම බෝතලයට ගෑස් (කාබන්ඩයොක්සයිඩ්) එකතු කරනවා. එනම් උදාහරණයක් ලෙස මිලිලීටර් 300ක බෝතලයට මිලිලීටර් 1050ක ප්‍රමාණයක ගෑස් එකතු කරනවා. ඇතැම් බීමවල බෝතලය මෙන් පස්ගුණයක් ගෑස් එකතු කරන අවස්ථාද තියෙනවා. මුඩිය අරින කොට බුබුළු වශයෙන් හඬ නඟමින් ඉතිරී යන්නේ එම ගෑස් පිටවීමයි.

පැණිබීමවලට එකතු කරන පාට වර්ග ශරීරයට හානිකරද?

පැණිබීම වර්ග සඳහා පාට (LAKES) වර්ග එකතු කරනවා. සාමාන්‍යයෙන් ශරීරයට එකතු කරගන්නා ආහාර පාන, බොහෝ බෙහෙත් වර්ග ආදිය ක්‍රියාවලියක් ඔස්සේ රුධිර පටක බාධකයන් (Blood tissues barrier) හරහා ගොස් රුධිරයට එකතු කරනවා. එසේ රුධිරයට එකතු නොකරන කොටස මලපහ සහ මුත්‍රා ලෙස ශරීරයෙන් බැහැර කරනවා. පැණිබීමවල නිසි ප්‍රමිතිගත පාටවර්ග අඩංගු වන්නේ නම් එම පාටවල අණු, blood tissues barrier හරහා ගමන් කරන්නේ නෑ. එයට හේතුව පාටවර්ගවල අණු blood tissues barrier ගමන් නොකළ හැකි තරම් විශාල වීම. එසේ blood tissues barrier ගමන් කරන කොට රුධිරයට එකතු වූ පාට වර්ගයක් තිබේ නම් මුත්‍රා එම පාට වර්ගයට හැරී තිබෙනු දකින්න පුළුවන්.

පැණිබීම සහ ආහාර සඳහා එකතු කළ යුතු පාටවර්ග සහ භාවිත කළ යුතු ප්‍රමාණයන් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිගත කර තිබෙනවා. බීම වර්ග සඳහා ලීටරයකට මිලි ග්රෑම් 5ක් පමණ අදාළ වර්ණක යෙදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තියෙනවා.

සමාගමක නිෂ්පාදනය කරන ලද බීම වර්ගයකට ආදේශක ලෙස බීම වර්ග සකස් කිරීමේදී පාටවර්ග සමාන කිරීමට යෑමේදී සම්මත ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් පාට වර්ග පැණිබීමට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර සඳහා භාවිත කිරීමට නිෂ්පාදනය කරන පාටවර්ග වෙනුවට වෙනත් අරමුණු සඳහා භාවිත කරන පාට වර්ග උදාහරණ ලෙස බිත්ති වර්ණ ගැන්වීමට යොදාගන්නා පාටවර්ග ආදිය, ආහාර සහ පාන නිෂ්පාදනය සඳහා යොදාගැනීමද ශරීරයට අහිතකර වෙනවා.

සමහර රටවලට ආහාර සඳහා භාවිත කරන පාට වර්ග සම්බන්ධයෙන් ඔවුන් සකසා ගත් ප්‍රතිපත්තියක්ද තියෙනවා.

සීනි රහිත බීම වර්ගත් වෙළෙඳපොළේ තියෙනවා. ඒවායේ අන්තර්ගතය මොකද්ද?

එහිදී අදහස් වන්නේ ස්වාභාවික සීනි නොදමා එහෙත් සීනි වෙනුවට කෘත්‍රිම සීනි වර්ගයක් යෙදීමයි. එම කෘතිම සීනි ස්වභාවික සීනි ඒකකයට වඩා පන්සිය ගුණයක් පැණි රසභාවයෙන් ඉහළයි. එනම් ආහාර හෝ පාන නිශ්චිත ඒකකයක් රස ගැන්වීම සඳහා කෘත්‍රිම සීනි යෙදිය යුත්තේ ස්වාභාවික සීනි ඒකකයකින් පන්සීයෙන් එකක්. එනම් උදාහරණයක් ලෙස රස ගැන්වීම සඳහා ස්වභාවික සීනි ග්රෑම් එකක් යොදනවා නම් ඒ වෙනුවට කෘත්‍රිම සීනි යෙදිය යුත්තේ ස්වාභාවික සීනි ග්රෑම් එකෙන් පන්සීයෙන් කොටසක්. එය කුඩාම අගයක්.

මේවායේ ඇත්තටම සීනි නැද්ද?

කෘත්‍රිම සීනි වර්ගවල කැලරි නෑ. එනම් ඒවා පරිහරණය කිරීමෙන් ශරීරයට ශක්තිය එකතු වන්නේ නෑ. එමඟින් දියවැඩියා තත්ත්වයට පත් වන්නේ නෑ.

එසේ නම් කෘත්‍රිම සීනි වර්ග නිවසේත් පාවිච්චි කරන්න පුළුවන් නේද?

කෘත්‍රිම සීනි නිවසේ පරිහරණය කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. එනම් ඒවා භාවිත කළ යුතු ප්‍රමාණය ප්‍රමාණත්මකව විශාල නෑ. උදාහරණයක් කියන්නම්. කේක් කිලෝ එකක් හැදීමට යොදන පිටි, සීනි ආදියේ ප්‍රමාණයක් තියෙනවා. කේක් කිලෝ එකක් හැදීමට ස්වාභාවික සීනි ග්රෑම් 250ක් යොදන්නේ නම් කෘත්‍රිම සීනිවලින් යෙදිය යුත්තේ ග්රෑම් 250න් පන්සීයෙන් එකක්. එය ඉතා කුඩාම අගයක්. එවිට කේක් එක කිලෝ එකක් ලෙස නිම වෙන්නේ නෑ. ඒ කියන්නේ බල්ක් එක ගන්න බෑ.

එහෙත් බීම වර්ග නිෂ්පාදනය කිරීම සඳහා කෘත්‍රිම සීනි වර්ග භාවිත කරන්න පුළුවන්. ඒවාට අවශ්‍ය ප්‍රමාණය නිමැවීම සඳහා ජලය ඇති තරම් එක් කරන්න පුළුවන්නේ.

කෘත්‍රිම සීනි වර්ග ශරීරයට හානි කරනවා කියලා දැන් දැන් මතයක් යනවා?

කෘත්‍රිම සීනිවර්ගද ශරීරය තුළදී දිරවිය හැකි නම් එය ගැටලුවක් නෑ කියලා විද්‍යාගාර පරීක්ෂණවලින් කියන්නේ. ඒ වගේම කෘත්‍රිම සීනිවර්ග යොදන ප්‍රමාණය ඉතාම කුඩා බැවිනුත් එහි හානිය අවම වෙන්න පුළුවන්.

සාමාන්‍ය පුද්ගලයන් කොහොමද තමා බොන පැණිබීම ගැන අඳුනාගන්නේ?

පැණිබීම වර්ගවලට යොදන පාටවර්ගවලට අදාළ E අංක ආදිය බීම බෝතලයේ පැහැදිලිව පෙනෙන සේ මුද්‍රණය කර තියෙනවා. ඒ වගේම පැණිබීම බෝතලයක පැණිබීම මිලිලීටර් සීයක අඩංගු සීනි ප්‍රමාණය හොඳින් පැහැදිලි වන සේ මුද්‍රණය කර තියෙනවා. අඩංගු ඇසිඩ්වර්ග ආදියද සඳහන් කර තියෙනවා. අඩංගු අනෙකුත් ද්‍රව්‍ය පිළිබඳ එහි සඳහන් කර තියෙනවා.

සමහර පැණිබීම වර්ග නිෂ්පාදනය කරන්න ශ්‍රී ලංකාවෙන් යොදන්නේ සීනි සිරප් පමණයි. අනෙක් ද්‍රව්‍ය පිටරටවලින් වෙන වෙනම ගෙන්වනවා. ඒවා කලවම් කරලා හදන පැණි බීම තමයි ප්‍රමුඛ විදේශ සන්නාම සහිත ව්‍යාපාර මේ රට ඇතුළේ විකුණන්නෙ.

Comments