
අපේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර වෙළාගෙන ඇති මත් රකුසා නිසා රටේ ආර්ථිකයද ක්‍රමයෙන් පහත වැටී ඇත.
කොතරම් අත්අඩංගුවට ගත්තද රට තුළට ඇදී එන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ අඩුවක් නම් පෙනෙන්නට නැත. අපේ රටට පාත්ව ඇති මේ හෙණ ගෙඩිය ඉවත් කර-දැමීමට රටේ පාලකයන්, ආගමික නායකයන් මෙන්ම සමාජ සංවිධානද ක්‍රියාශීලිව දායකත්වය සැපයිය යුතු කාලය දැනටමත් පසු වී ඇත. මේ උවදුරට අනාගතයේදී ගොදුරු වීමට ඉන්නා තරුණ පරපුර මුදාගැන්මට නිසි පියවර නොවළහා ගත යුතුය.
එසේම දැනට මේ උවදුරට පත්ව සිටින තරුණ පරපුර බේරාගැන්මට නිසි ක්‍රමවත් වැඩපිළිවෙළක්ද තිබුණේ නැත. මීට වසර හයකට පෙර - දිනය හරියටම කියනවා නම්: 2013 වසරේ අගෝස්තු 20 වැනිදා - මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම උදෙසා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භ කරන ලදුයේ මෙවන් පසුබිමකය.
කන්දකාඩු මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණ යටතේම ක්‍රියාත්මක වන්නකි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මෙහි සියලු කටයුතු සිදු කෙරෙන්නේ යුද හමුදාවේ මූලිකත්වයෙනි.
පොලොන්නරු දිස්ත්‍රික්කයේ සෝමාවතී පුදබිමට නුදුරින් පිහිටා ඇති කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වන විට 1453 දෙනකු ප්‍රතිකාර ලබන අතර, ඔවුන් සියලු දෙනා මේ වන විට සමාජයට වැඩදායි වූවන් ලෙස යළි සමාජගත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මීට පෙරද වාර්ෂිකව අතිවිශාල පිරිසක් ප්‍රතිකාර සහිතව පුනරුත්ථාපනය කොට සමාජයට මුදාහැරීමට කටයුතු කර තිබේ.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ දැක්ම වන්නේ ජාතික සංහිඳියාව, සාමය, සෞභාග්‍යය පිරි නීතිගරුක සමාජයක් බිහි කිරීම නිසා, ඒ උදෙසා සමාජයට පිළිලයක් වන අය එයින් මුදා ගැනීම අරමුණ වී ඇත.
එහිදී කාන්තා, පිරිමි, ළමා හා අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ පිරිස් පුනරුත්ථාපන ක්‍රියාවලිය හා විවිධ ප්‍රතිකාර ක්‍රමවේදයන් මඟින් ඔවුන්ගේ අයිතීන් හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කරමින් සමාජීය, ආර්ථික සංවර්ධනය ඵලදායි කිරීමෙන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සිදු කෙරේ.
මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසුව රජයට භාර වූ සන්නද්ධ එල්ටීටීඊ සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ආරක්‍ෂක නවාතැන්දීමේ හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් නම් කර මේ මධ්‍යස්ථානය 2010 වසරේ අප්‍රේල් මස 19 දින ආරම්භ කර පවත්වාගෙන යනු ලැබූ අතර, ඒ කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2013 වසරේ අගෝස්තු මාසයේ සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මත බන්ධනාගාරගතව සිටි අය පුනරුත්ථාපනය කිරීම සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වශයෙන් නම් කර මේ දක්වා පවත්වාගෙන යනු ලබයි.
පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා 2013 අගෝස්තු මස දින වැලිකඩ බන්ධනාගාරය වෙතින් 21 දෙනකු ප්‍රථම වරට මේ වෙත යොමු කර ඇති අතර, මේ දක්වා උසාවි නියෝග මත 5257 දෙනෙක් යොමු කරනු ලැබ සිටිති. ඒ අනුව මාස 12ක පුනරුත්ථාපන කාලසීමාව තුළ මාස 6ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද ඉතිරි මාස 6 සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද මේ පුනරුත්ථාපන කටයුතු සිදු කෙරේ. එහිදී පළමු මාසය තුළ ‘කෘෂි ප්‍රතිකාර සහ මධ්‍යස්ථානයට’ අනුගත කිරීම සහ ස-මාසික උපදේශන කාර්යය සඳහා කායික මානසික පෙලඹවීම සිදු කෙරේ.
දෙවැනි මාසය තුළදී මත්ද්‍රව්‍ය සම්බන්ධ අධ්‍යාපන වැඩසටහන් පවත්වනු ලබන අතර, එහිදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදු වන ශාරීරික හා මානසික හානිය සහ ඒවා වළක්වාගැනීම සබැඳිව දැනුවත් කිරීම සිදු කෙරේ.
තුන්වන මාසය තුළදී මත්ද්‍රව්‍ය උපදේශනය සහ ප්‍රතිකාර සිදු කෙරෙන අතර, එහිදී තවදුරටත් මත්ද්‍රව්‍ය හානිය පිළිබඳ ගොදුරු වූ අය දැනුවත් කිරීම හා උපදේශනය සිදු කෙරේ.
සිවුවන මාසයේදී සමාජ උපදේශනය සිදු කෙරෙන්නේ පවුල් සංස්ථාව සහ යහපත් අන්තර්-පුද්ගල සබඳතා පවත්වාගැනීම සඳහා උපදේශනය ලබා දීමෙනි. එහිදී පවුලක අගය දරුවන්ගේ මානසික මට්ටමට මවුපියන්ගේ ආදරය හා පවුලේ අයගේ සමඟිය බලපාන ආකාරයද පෙන්නුම් කෙරේ.
පෞරුෂත්ව හා නායකත්ව සංවර්ධනය 5 වන මාසයේදී සිදු කරනු ලබන අතර 6 වන මාසයේදී ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා අවශ්‍ය කටයුතු සියල්ල සිදු කෙරේ.
එතැනින් පසුව සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සමාජගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දී අවශ්‍ය පාඨමාලා කරා යොමු කරනු ලැබේ. මේ පිරිස් යොමු කරනු ලබන පාඨමාලා අතර පෑස්සුම් ශිල්ප පාඨමාලාව, කොණ්ඩා මෝස්තර සැකසුම් පාඨමාලාව, බේකරි පාඨමාලාව, කෘෂිකර්ම පාඨමාලාව, භෝජනාගාර සේවක පාඨමාලාව ඇතුළු පාඨමාලාවන් රැසක් උදෙසා පුහුණු කෙරේ.
පාඨමාලා හදාරා සමාජගතව ඇති පිරිස 3051ක් වන අතර, ඔවුන් මේ වන විටත් විවිධ වෘත්තීන්හි නියැළෙමින් සිටිති. අද වන විට එහි පහසුකම් සැලසිය හැකි පිරිසත් අබිබවා යමින් 1453 දෙනකු පුනරුත්ථාපනය ලබන අතර එහිදී විවාහකයෝ 587 දෙනෙක් හා අවිවාහකයෝ 866 දෙනෙක් පුනරුත්ථාපනය ලබති. පුනරුත්ථාපනය ලබන පිරිස අතර වෛද්‍යවරයෙක්ද වේ. එසේම ඉංජිනේරුවකු මෙන්ම කන්ද උඩරට ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකුගේ පුත්‍රයකුද සිටීමෙන් පෙනී යන්නේ මේ ව්‍යසනය තරාතිරම, රැකියාව, උගත්කම යනාදිය පරයමින් පැතිර ඇති බවයි.
පුනරුත්ථාපනය ලබන අය ඇතුළත් වීමේ සිට යළි නිවෙස බලා යන තුරුම ඔවුන්ට අවශ්‍ය සියලු ඇඳුම් පැලඳුම් ඇතුළු අනෙකුත් අවශ්‍ය සියලු දෑ සපයනු ලබන අතර, ඔවුන් පවරා ඇති කාලසටහනකට අනුව කටයුතු කළ යුතුය.
ඒ කාලසටහනේ ක්‍රීඩා කිරීමට සහ විනෝද වීමටද අවස්ථාව සලසා ඇතිවාක් මෙන්ම ඔවුන්ට සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා ඇත. එහිදී ඔවුන් විසින්ම සංගීතය සපයාගෙන පවත්වනු ලබන ප්‍රසංග පවා එළිදක්වා තිබේ. චිත්‍රපට දර්ශන සඳහාද මෙහිදී අවස්ථාව සලසා ඇත.
එමෙන්ම ඔවුන් විසින් පිටපත් රචනා කර සකස් කරගත් නාට්‍ය පවා වේදිකාගත කිරීමට අවශ්‍ය ශාලා පහසුකම්ද සපයා ඇත. සියලු දෙනාට ව්‍යායාම කිරීමට හැකි වන පරිදි නූතන පහසුකම්වලින් සමන්විත ව්‍යායාම අභ්‍යාස ආයතනයක්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථාපිත අතර, මේ සියලු පහසුකම් හමුවේ මේ වසර ගණනාවටම පසුබැස ගොස් ඇත්තේ 15 දෙනෙක් පමණි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජානක රත්නායක හා නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් දර්ශන ලියනගේ මෙන්ම කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන කර්නල් පී.කේ.පී.සී. පැස්කුවෙල් මහත්වරුන් විසින් මේ සම්බන්ධව නිරතුරුවම සොයා බලා කටයුතු කරනු ලබන හෙයින් මේ ව්‍යායාමය සාර්ථක මට්ටමකට පැමිණ තිබේ.
මාස 6 තුළදී පුහුණුව නිම කර ලබා ගන්නා පාඨමාලාව සඳහා NVQ III මට්ටමේ සහතිකයක් පිරිනැමීමට කටයුතු කර ඇති අතර, නිසි අධ්‍යාපනයක් නැති අයට පවා අධ්‍යාපන මට්ටම ඉහළ නංවාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. එසේම ඒ අයට සම් භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම පාවහන් නිෂ්පාදනය සහ බෑග් නිෂ්පාදනය වැනි වෘත්තීය පුහුණුව දීමට කටයුතු කර තිබේ. අවශ්‍යතාව පරිදි ඉංග්‍රීසි භාෂාවද මේ පිරිස් වෙත ලබා දීමට කටයුතු කෙරේ.
පුනරුත්ථාපනය කරනු ලබන පිරිස් බහුතරයක් පවසන්නේ මේ පුහුණුවෙන් පසුව යළි කිසිසේත්ම තමන් පෙර වැරදි කරා යොමු නොවන බවයි. එසේ වුවත් කොළඹ ඇතුළු නාගරික අඩු ආදායම්ලාභීන් ලෙස පුනරුත්ථාපනය වන කිහිප දෙනකු නම් යළි පෙර වැරැදි කරා යොමු වීමට ඉඩ ඇති අතර, ඔවුන් වෙනුවෙන් සිදු කරනු ලබන මේ වියදම් අපතේ නොයා තබාගැන්මට නම් මේ පුනරුත්ථාපනය වන පිරිස් හා ඉදිරි සබැඳියාවන් නිසි ලෙස පවත්වාගැනීමට පවුලේ අය සමඟ පසු-විපරම් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමද වැදගත් වන්නේය.
පුනරුත්ථාපනය ලබන එක් අයකු වෙනුවෙන් රජය විසින් වසරකට ලක්ෂ 12ක පමණ අධික වියදමක් කරනු ලබන හෙයින්, මත් උවදුර වහා දුරලීමට කටයුතු කළ යුතුය. එසේ නොවුව හොත් රටේ සංවර්ධනයට ඇති අතිවිශාල මුදලක් මේ සඳහා වැය කිරීමට සිදු වනු ඇත.
සේයාරූ -
විමල් කරුණාතිලක