ජාතික සමගිය වගේ ද ඩොලර්! | සිළුමිණ

ජාතික සමගිය වගේ ද ඩොලර්!

සතුරන් හැඳින මිතුරන් ගොඩ හදාගෙන
සැකතැන් දුරැර වැරදුණ තැන් බලාගෙන
මෙඋතුම් බිමට එන උවදුරු මුදාගෙන
මහතුන් විලස යමු ජනහද දිනාගෙන

වෙස් බැඳ කෙළින පරගැති අමනයන් රටේ
උස් හඬ නගන මුත් රොද බැඳ හතර වටේ
දෙස්පාලනය වුවහොත් ගෙල සිඳින ගැටේ
අස් හැර බලව් අපි ඔක්කොම මකර කටේ

- ගාමිණි සුමනසේකර

අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරමු
නීතිපති දෙපාර්තමේන්තුව වගකීම් ඉටුකළාද?
මේ අවස්ථාවේ ජාතික සමගිය ඉතා වැදගත්
බුද්ධිමත් විසඳුම්වෙනුවට පඹගාලක්

දැන් සෑහෙන කලක සිට අප බොහෝ දෙනෙකුට සිදුව ඇත්තේ සමාජ, දේශපාලනය ඇතුළු බොහෝ කේෂත්‍ර වල උද්ගතවන කැළඹීම් හා ගැටුම් මෙන්ම ඒ මගින් නිර්මාණය කෙරෙන විකට හා නීරස දේශපාලන ජවනිකා ද නරඹමින් කල් ගෙවීමට ය. මේවා එකිනෙකට වෙනස් ජවනිකා ලෙස පෙනී ගියත් ඒ සියල්ල ම පාහේ අන්තර්ගතය වශයෙන් කිසියම් සබඳතාවකින් යුතු බව ද පෙනේ. එහෙත් බරපතලම සිද්ධිය වන්නේ මේ යථාර්ථය ආණ්ඩුව ගැඹුරින් වටහා නොගැනීමයි. නොඑසේ නම් ඒවා ඉතා සරල හා සැහැල්ලුවෙන් නොතකා සිටීම ය. ආණ්ඩුවක් යනු මහජනයා විසින් තෝරා පත් කර ගනු ලබන මහජනයාට වගකිව යුතු ආයතනයකි. එය තාවකාලික භාරකාරත්වයක් ලෙස ද හැඳින්වේ. එහෙත් ඒ තාවකාලික භාරකරුවන්ට තම වගකීම් පමණක් නොව තමන්ට දී තිබෙන බලය තාවකාලික දෙයක් බව ද අමතක වී තිබේ. පක්ෂ වලට ඇත්තේ බලය රැකගැනීම හා ස්වාර්ථය මත පදනම් වූ දේශපාලනයක් බව ද රහසක් නොවේ. රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පක්ෂ ක්‍රමය වැදගත් වන්නා සේම, ඒ පක්ෂ මහජන අභිලාෂයන් ඉෂ්ට කිරීමේ වගකීමෙන් ද සමන්විත විය යුතුය. එය ඉටු වී තිබේද යන්නට අමුතු පිළිතුරු අවශ්‍ය ද නැත.

පසුගිය දිනක මේ ආණ්ඩුවේම ප්‍රබල ඇමති ධුර හෙබ වූ නීති කේෂත්‍රයෙහිදි ප්‍රාමාණිකයකු ද වූ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මෙරටේ තිබෙන දූෂිතම ආයතනය පාර්ලිමේන්තුව බව ය. දුෂණය, වංචාව, අල්ලස ගැන මෙන්ම හොරුන් ලෙස ඇඟිලි දිගු කරන දේශපාලන චරිත අද කීයක් තිබේද? ඇත්ත වශයෙන් ම මේ රටේ ජනතාවට සාපේක්ෂව මන්ත්‍රීවරයකුට හිමිවන ජීවන තත්ත්වය කොතරම් ඉහළ ද? එය ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු වන්නේ නම් එහිදී ලැබෙන ප්‍රතිලාභ කොබඳු ද යන්නත් රට ම දනී. මන්ත්‍රීකම, ඇමතිකම, දූෂණයට, වංචාවට නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට දෙන බලපත්‍රයක් ලෙස සමහරු භාවිත කරති. එය ප්‍රාදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව දක්වා දැක ගත හැකිය. කුප්‍රකට බැඳුම්කර මගඩිය ඒ දූෂිත හා අධිපතිවාදී දේශපාලන මානසිකත්වයෙන් රටට සිදු වූ බරපතල හානියකි. ඒ ආර්ථික මංකොල්ලයේ කීප දෙනෙක් නීතිය ඉදිරියට රැගෙන ආවත් එහි ප්‍රබල චරිත අදත් අතුරුදන් ව සිටියි. මේ අතර ආණ්ඩුවේ ප්‍රබලයන් කීපදෙනකුට ම මූල්‍ය චෝදනා ද එල්ල වී තිබේ. සමහරු ව්‍යාපාර කටයුතු වල ද නිරතව සිටිති. නීති කේෂ්ත්‍රයට සම්බන්ධ අයෙක් මේ ලියුම්කරු සමඟ ප්‍රකාශ කළේ මන්ත්‍රී ධුරයක් දරන කිසිවකුට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කළ නොහැකි බව ය. එහෙත් එබඳු ක්‍රියාදාමයන්ට වැරදිකරු වී සිටි අය පවා අද යළිත් මහජන මන්ත්‍රීවරුන් ලෙස පත්ව සිටින බව ද ඔහු තහවුරු කළේ ය.

2015 ජනවාරි 08 වැනිදා මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ලබා දීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රට බාර වුව ද ඒ ජනතා අපේක්ෂාව ඉටු නොවූයේ දූෂිත හා ආත්මාර්ථයෙන් මඬනා ලද අයගේ හරස් වීම් නිසා බව අද හෙළි වෙමින් තිබේ. මෛත්‍රීගේ යහපාලන සංකල්පයට ගිනි තැබු මහබැංකු මගඩිය පමණක් නොව 19 වැනි සංශෝධනයේ විකෘතිය ද අද රටට උදාකර දී ඇත්තේ කෙබඳු විනාශයක් ද යන්න දැන් ඒ ක්‍රියාදාමය මෙහෙයවූ අය ම වටහා ගෙන සිටිති. පසුගිය දිනවල ඇසුණු ඔවුන්ගේ ඇතැම් පාපෝච්චාරණ වලින් ද අපට පසක් වූයේ 19 යනු ජනතාවගේ ඇසට වැලි ගැසූ කූඨ මෙහෙයුමක් බව ය. රටේත් ජනතාවගේත් වාසනාවකට මෙන් විධායක බලයේ ශක්තිය මුළුමනින්ම අතට ගැනීමට හොර ගල් ඇහිලූ අය අද පසු බා සිටියත් මේ පාලනය කැද හැලියක් බවට පත්වී තිබේ.

අද මේ ආණ්ඩුව හා ජනාධිපතිවරයා අතර තිබෙන බෙදීම හුදෙක් 19 වැනි සංශෝධනයේම ප්‍රතිඵල පමණකැයි කිව නොහැකිය. එය කොළඹ ප්‍රභූ දේශපාලනයේ හා ග්‍රමීය දේශපාලන නායකත්වයක් අතර වු නොගැළපීම පිළිබඳ සටනකි. ශ්‍රී ලංකාව එයට හිමි සභ්‍යත්වය හා සංස්කෘතික ආධ්‍යාත්මය මත පදනම් ව නවීන ලෝකය සමඟ සම්බන්ධ විය යුතුය යන ස්ථාවරය නව ලිබරල්වාදී ආර්ථික විශාරදයෝ ප්‍රතික්ෂේප කරති. බටහිරයන්ගේ දාසයන් බවට පත්ව සිටින ඇතැම් ඇන්ජීඕ නඩ අද මේ ආණ්ඩුවට වහන්වී ගෙන යන දුෂ්ට ව්‍යාපාර සැඟවිය නොහැකිය. මෛත්‍රී ජනාධිපතිවරයා මේ නඩය දුර සිට ම හඳුනා ගත හැකි දේශපාලන විඥානයක් සහිත ජන නායකයෙකි. ඇන්ජීඕ නඩත් ඔවුන්ගේ ටයිකෝට් ප්‍රභූවරුත් ජනාධිපතිවරයාට එරෙහිව මතුපිටින් පමණක් නොව දිය යටින්ද ගින්දර රැගෙන යති. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, මානව හිමිකම් ගැන ලියන කියන දොඩන ඒ සියලු බල මුළුවලට මෛත්‍රී ජනාධිපතිවරයා වහ කඳුරු වීම ද පුදුමයක් නොවේ. එහෙත් අද මේ රට මෙතරමින් හෝ සුරැකී ඇත්තේ 19 වැනි සංශෝධනයෙන් ඩැහැ ගත නොහැකිව ඉතිරි වූ කිසියම් බලයක් මෛත්‍රී ජනාධිපතිවරයා අත ඉතිරිව තිබීම නිසා බව ජනතාව ද වටහා ගෙන සිටිති. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රබලයකු වන ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ අලුතින් පත්වන අභිනව ජනාධිපතිවරයාට වුව ද අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට කෙණෙහිලිකම් කළ හැකි බවකි. එය සැබෑවක් නම් මේ සංශෝධනවාදීහු දැන දැනම රට අවුලකට ඇද දැමුවෝ ද? කුමක් වුවත් වංක දේශපාලන පොතේ ගුරුවරුන් පසු බැස්ස වීමට තරම් දේශපාලන සමාජ විඥානයක් මෛත්‍රී ජනාධිපතිවරයාට හිමි වී තිබීම නම් රටේ ම භාග්‍යයක් වැන්න. සැබැවින්ම මෛත්‍රී ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම නොවන්නට මුස්ලිම් අන්තවාදින් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරයේ විපාක මෙයට වඩා සිය දහස් ගුණයකින් ඉහළ යෑමට තිබුණි. ජනාධිපතිවරයා සඳහන් කළ පරිදිම ලෝකයේ කිසිම රටක එවැනි ත්‍රස්තවාදී සංවිධානයක් සති තුනකින්, මාසයකින් විනාශ කර දමා නැත. රාජ්‍ය බලය මුළුමණින් ම යොදවා රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා හා පොලිසියේ සහාය ජනාධිපතිවරයාට ලබා ගත හැකි වීම ද ජයග්‍රහණයකි.

මේ පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජනතාවගේ සහායක් නොලැබුණත් ඇතැම් මුස්ලිම් සංවිධාන හා ඇතැම් නායකයන් ගැනද චෝදනා එල්ල විය. මේ චෝදනා එල්ල වූ වහාම ආණ්ඩුවට සම්බන්ධව සිටි මුස්ලිම් නායකයෝ කිසියම් ප්‍රහසනයක් ද රඟ දැක්වූහ. ඔවුහු ආණ්ඩුවේ ඇමතිධුර අත්හැර දැමූහ. පුවත්පත් සාකච්ඡා පවත්මින් රටට ප්‍රකාශ කළේ තම සගයන්ට තිබෙන චෝදනා වලින් නිදොස් වන තුරු වෙනම ආණ්ඩුව තුළ ම සිටින බවකි. සැබෑවකි; ඔවුහු එය අකුරට ම ඉටු කළහ. ඇමති පදවි අත්හළ නමුදු ඔවුහු ඒ වරප්‍රසාද භුක්ති විඳිමින්ම සිටියහ. අන්තිමේදී තමන් නිදොස් බව පොලිසිය ප්‍රකාශ කළ බව කියමින් යළි ඒ ධුර වලට පත්වූහ. දීකිරට බළලුන් සාක්ෂිවෙතියි කියමනක් ද වේ. කුමක් වුවත් කීපදෙනෙක් තවමත් නොවිසඳුණු ගැටලු ඇති බව කියමින් එම ධුර බාර නොගෙන සිටිති.

අප මේ ක්‍රියාදාමය ප්‍රහසනයක් ලෙස හැඳින්වූයේ තවමත් ඔවුන් අතර සිටින ඇතැම් නායකයන්ට තිබෙන චෝදනා සැලකිල්ලට ගනිමින් ය. එබඳු පසුබිමක් තුළ ඔවුන් විසින් කරන ලද්දේ රංගනයක් බව රටට ම පැහැදිලි වීමත් නිසා ය. මේ අතර ඒ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ද චෝදනාවක් එල්ල වී තිබෙන අතර ඒ ක්‍රියාදාමයට ද මුස්ලිම් ජාතිකයකුගේ නම ගෑවී තිබීමද තවත් සංකීර්ණ ප්‍රශ්නයකට හේතු වේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන් ඒ නිලධාරියාට තමන් විසින් වගකීම පැහැර හරින ලද නිසා ඒ ප්‍රහාරය සිදූ වු බව පිළිගැනීමට සිදු විය. වසර එකහමාරක් තිස්සේ තමන් වෙත ලැබුණු බරපතළ අනතුරුදායක විපතක් පිළිබඳ අනාවරණයකට අවශ්‍ය ප්‍රතිකර්ම නොයෙදීම මහා ජාතික විපතකට මුල වූ බව ඒ නිලධාරියාගේ හෘදය සාක්ෂිය පවසනු නිසැක ය. ඒ නිලධාරියා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පිළිතුරු දුන් ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ දුටු කවරකු තුළ ද ඔහුගේ ව්‍යාජ හැසිරීම් පිළිබඳ බලවත් සැකයක් ද මතු කර ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක් වූ ජ.වි.පෙ. බිමල් රත්නායක මන්ත්‍රීවරයා චෝදනා කළේ නීතිපති දෙපාර්තමේන්තුව වගකීම් පැහැර හැර ඇති බව කියමින් ය. එපමණක් නොව මේ තේරීම් කාරක සභාව ඉදිරියේ බොහෝ දේ අනාවරණය වෙමින් තිබෙන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ වන විටත් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන ‘බැටිකලෝ කැම්පස්’ සඳහා මේ රටට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව ද මේ කාරක සභාවේදී කරුණු හෙළි විය. මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළ පරිදි බැංකුව නොදැනුවත්ම විදේශ මුදල් නීති රීති සංශෝධනය කර ඇත. කාරක සභාව මතු කළ ප්‍රශ්නවලට මහ බැංකුවෙන් ලැබුණු පිලිතුරු වලින් මතු වී තිබෙන සැක සංකා දුරලීම ද ආණ්ඩුවේ වගකීමකි. කෝටි ප්‍රකෝටි ගණනක මුදල් කන්දරාවක් මේ සිදුවීමට අදාළ ව රටට ගලා ආ බවද ඉතා පැහැදිලි ය. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ පරිදිම මහ බැංකුවේ මුදල් පාලනය දුබල කර තිබේද? විනිමය නීති රීති ලිහිල් කර බේරි යෑමට ඉඩ දුන්නේ කාගේ වුවමනාවට ද? යන්නත් රටට පැහැදිලි විය යුතුය.

මේ අතර අද ආණ්ඩුවට එල්ල වන තවත් චෝදනාවක් වී ඇත්තේ මේ රට ආසියාවේ කුණු කන්දක් බවට පත් කරමින් සිටින බව ය. මෙහිදි ආණ්ඩු පාර්ශ්වයේ සමහරුන්ගේ තර්කය වූයේ මේවා 2013 ප්‍රතිඅපනයනයට අදාළ ගැසට් පත්‍රයක් නිසා රටට ගෙන්වා තිබෙන කසල තොග බව ය. රේගුව ඒවා පරීක්ෂා කළ නොහැකි බවක් ද කියැවිණි. එහෙත් විපක්ෂය ඒ පනතේ එබඳු තහංචි නැති බවත් රේගුවට ඒවා පරීක්ෂා කළ හැකි බවත් කියා සිටියහ. පසුව ඒ පනත එබඳු කුණු කඳු වලට රට යට කරන්නක් නොවන බව ආණ්ඩුව ම පිළිගත්තේ ය. කුමක් වුවත් අද නීතියේ සිදුරු සොයමින් මඬි තර කර ගන්නා ජාවාරම්කාරයන් හිස ඔසවමින් සිටින බව මේ සියලු සිදුවීම වලින් රටට පැහැදිලි වන යථාර්ථයයි. කුඩුකාරයන්ට මෙන්ම, කුණුකාරයන්ට ද මේ රට තුළ පෙම් කෙළීමට ඉඩදී බලා සිටීම නම් කිසිසේත් නොකළ යුතු බව අපි අවධාරණයෙන් කියන්නෙමු. මෛත්‍රී ජනාධිපතිවරයා කී ආකාරයට අද කුඩු ජාවාරමුන් ජයපැන් බොන ආකාරයට ම කුණු කාරයන් හෙවත් කසල ජාවාරම්කරුවන් ද නිදහසේ සැරිසරනු ඇත.

එහෙත් මේ ජරමර අස්සේ මුස්ලිම් දේශපාලනය තම ගුප්ත අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන බවක් ද පෙනේ. ආණ්ඩුවෙන් ඉවත් වූ ඇතැම් මුස්ලිම් නායකයන්ට කල්මුණේ කේන්ද්‍ර කරගත් වෙනම දේශපාලන බල ප්‍රදේශයක් සකසා ගැනීමට අවශ්‍ය වී තිබේද යන්න අපි නොදනිමු. එහෙත් අද එබඳු දේශපාලන කප්පමක් ලබා ගැනීමට සමහර මුස්ලිම් නායකයෝ පෙලඹී සිටිතියිද කියනු ඇසෙයි. මෙහිදී අපට කිව හැක්කේ එකම දෙයකි. එනම් මුස්ලිම් හා දෙමළ පොදු ජනතාව ගෙන් බහුතරයකටම අද මේ ජාතිවාදී බෙදීම්, වෙන්වීම් එපා වී තිබෙන බව ය. ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න මේ නායකයන් හරිහැටි තේරුම් ගෙන නැති බව ය. එපමණක් නොව ඊළඟ ජනාධිපතිවරණයේදී තම ජනතාවගේ ඡන්ද මල්ල පෙන්වා දකුණේ සිංහල නායකයන් හීලෑ කර ගත හැකි යැයි සිතන මුස්ලිම් හා දෙමළ නායකයන් කීප දෙනෙක් ද සිටිති.

නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය ෂික් මොහොමඩ් බීන් අබ්දුල් කරීම්ගේ අවධාරණය වූයේ ජාතික සමගිය සංහිඳියාව හා ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ මුස්ලිම් සමාජයේ ද කැපවීමෙන් බව ය. මේ රටේ මුස්ලිම්වරුන් මෙන්ම දෙමළ මිතුරන් ද සිංහලයන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අරාබි මෝස්තරයේ මුස්ලිම් විජිතයක සිහින දකින්නෝ ද මුස්ලිම්වරුන් අතර ම සිටිති. අප පරාජය කළ යුත්තේ ඒ අරාබි මුස්ලිම් මානසිකත්වයයි. ඒ ජාතික සමුළුවට එක් වූ මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කරන ලද අවධාරණය තුළ රැව් දෙන්නේ ද ඒ සාමයේ හා සුහදතාවයේ හෘදයංගම ආයාචනයයි.

‘අප්‍රේල් 21 සිදුවීම අපට වළක්වා ගන්න තිබුණා. ඒ තොරතුරු ලැබුණ වෙලාවේ ඒ අදාළ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු කළා නම්. මා නිසි ලෙස දැනුවත් කළා නම්. නමුත් අන්තිමේ මාත් වැරදිකාරයෙක් කරන්න උත්සාහ කළා. මට අභූත චෝදනා කළා. මේ සිදුවීම වෙන්න කලින් මම දන්නවා කියලා චෝදනා කළා. ඒ තරම් කුහක, ඒ තරම් තමන් නිවැරදි වෙන්න වැඩකරපු නිලධාරීන් පිරිසක් හිටියා. ඒ අහිංසක ජීවිත අපට බේරාගන්න තිබුණා අදාළ නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කළා නම්. ඒ නිසා ඔබ ගෙන එන පණිවුඩය මාගේ ආදරණීය මාතෘභූමියට, මේ අන්තර්ජාතික මුස්ලිම් නායකයන් විදියට ඔබ සියලු දෙනාම, මේ රටේ ජාතීන් තුළ සහජීවනය ගොඩ නඟන්න අවංකවම කැපවෙනවා කියලා මම විශ්වාස කරනවා.’

ඇත්ත වශයෙන් ම සමහරුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ද පාස්කු ප්‍රහාරයේ වේදනා සමනය කිරීම හෝ එමඟින් බිඳීගිය හදවත් සුවපත් කිරීම හෝ නොව වෙනත් දේශපාලන අරමුණු දිනා ගැනීම බව අපට ද දැනෙන යථාර්ථයයි. අප්‍රේල් 21 න් පාඩම් ඉගෙන ගෙන ජාතිය එකමුතු විය යුතුය යන මෛත්‍රී ජනාධිපතිවරයාගේ ආයාචනය ඒ දේශපාලන මූග්ධත්වයට දෙන පිළිතුරක් වැන්න.

‘අපට පැහැදිලිවම ප්‍රශ්න රාශියක් තිබෙනවා. රට තුළ සිටින අන්තවාදී කොටස්වල හැසිරීම, අපි කොච්චර සමගි කරන්න උත්සාහ කළත් ඇතැම් අයගේ තිබෙන ක්‍රියාකාරකම්. ඒවා බරපතළ ප්‍රශ්න. ඇතැම් අයට අවශ්‍ය වන්නේ ගැටුම්, බෙදීම්, වෙන්වීම්, තමන් ගැන පමණක් සිතීම. අපි කොතෙක් දුරට එකිනෙකාට වෛර කරනවාද. “ නහි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං, අවේරේනච සම්මන්ති - ඒස ධම්මෝ සනන්තනෝ ” තමුන් ඒ ආධ්‍යාත්මික ධර්මයන් අනුව අපි කොතෙක් කටයුතු කළත් මිලේච්ඡත්වයට එකතු වන ත්‍රස්තවාදීන් ඒ ආධ්‍යාත්මික ගුණ ධර්ම වලට ගරු කරන්නේ නැහැ.’

මේ තමා ඇත්ත. අපේ දේශපාලනය තුළ රටක් විදිහට ජාතියක් විදිහට සිතන පතන අයගේ සංඛ්‍යාව ඉතා අඩු ය. ආගම් භේද, ජාති භේද, ගෝත්‍ර භේද වලින් ඇරඹී ඇන කොටා ගැනීමත්, ඒ විනාශයට ජනතාව උසි ගැන්වීමටත් සමහරුන්ට අවශ්‍ය ව තිබේ. ඒ වියරු දැක්ම සමාජය නොමඟට හා විපතට ඇද දමයි. ඕනෑම භීෂණයකදී එයට බුද්ධිමත් ම විසඳුමක් සෙවීම වෙනුවට සිදු වන්නේ එය පඹගාලක් බවට පත් කිරීම ය. මේ රට බෞද්ධ රටක් බව ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරමින් සෙසු සියලු ජාතීන්ට, ආගම්වලට හා සංස්කෘතීන්ට ගරු කළ යුතු බව මෛත්‍රී ජනාධිපතිවරයා නිබඳව කරන අවධාරණයයි.

මේ වනවිට ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70 ක් තුළ රට ඉදිරියට නොයෑමේ මෙන්ම ජාතිවාදී ගැටුම් උද්ගත වීමේ සැබෑ හේතූන්ද අපි දනිමු. එහෙත් බෙදීම විනා එක්වීම යන්න අපට හුරු වී නැත. එය අපේ ජාතික දුබලතාවක් වැන්න. එයට එක් සාක්ෂියක් වන්නේ නිදහසින් වසර 70 ක් ගෙවී යනවිට දේශපාලන පක්ෂ ද 70 කට නොඅඩු සංඛ්‍යාවක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියා පදිංචි වී තිබීම ය. මේ බොහෝ පක්ෂ ත්‍රීවීලර් පක්ෂ හෝ තනි පුද්ගල පක්ෂ වේ. ඒවාට ප්‍රධාන මැතිවරණයක් තබා ප්‍රාදේශීය මැතිවරණයක එක අසුනක්වත් දිනාගත නොහැකිය. එහෙත් ඒ පක්ෂවල ගෝරනාඩුව “වොයිස්කට්” දේශපාලනයේ “බයිට් එකක්” වී තිබේ.

මේ අතර අද සමාජ දේශපාලන අර්බුදය උත්සන්න කිරීමට ජාතිය මත පදනම් වූ මුස්ලිම් හා දෙමළ පක්ෂවල ඇතැම් නායකයෝ ද වලි කති. බල තෘෂ්ණාවෙන් අන්ධ වූ සිංහල නායකයන්ට ද අවශ්‍ය වී ඇත්තේ කෙක්කෙන් හෝ කොක්කෙන් බලය ලබා ගැනීම පමණි. ඇතැම් මුස්ලිම් හා දෙමළ නායකයන්ට අවශ්‍යව ඇත්තේ ද සිය ජනතා බලය වෙන්දේසි කිරීම හෝ එමගින් දේශපාලන කප්පම් ලබා ගැනීම පමණි. මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කරන්නාක් මෙන් ජාතිවාදය වෙනුවට ජාතිකත්වයත් පරදේශකාමය වෙනුවට ස්වදේශකාමයත් අද රටට හා ජනතාවට අවශ්‍යව තිබේ එහෙත් එය කවදා කෙලෙස වටහා ගනු ඇද්ද? මේ ඒ යථාර්ථයේ දේශපාලන විඥානයයි.

“මේ ප්‍රශ්නවල බැරෑරුම්කම මම හොඳට තේරුම්ගෙන තිබෙනවා. ඇතැම් අය මේ ප්‍රශ්න වලින් අයුතු ප්‍රයෝජන අරන් තිබෙනවා. මෙතැනදී අපි රටක් විදියට හිතන්නට ඕන. මේ ඇතිවුණ භීෂණකාරී තත්වයේ සැබෑ ස්වරූපය අපි තේරුම් ගන්න ඕන. අපිට ඇතිවුණ ජීවිත විනාශය, ආර්ථික විනාශය, රටේ ඇතිවුණ අසමගිය. මේ සියල්ල ඩොලර් වලින් මනින්න බැහැ”

Comments