
මතක සිතුවම
මා නෙතු පිය ඇරිණ. නෙත ගැටුණ දසුන නුහුරු ය.
මේ කොහේ ද? මම නැගිට ගන්නට හැදුවෙමි.
සෙලවීමට පවා අපහසු ය. මා මතින් වයර් ඇද තිබිණ. මා හුස්ම ගත්තේ ද බටයකින් බව මට වැටහිණ.
මම තරමක් හිස හරවා විමසිලිමත් වීමි. මා සිටින්නේ රෝහලක බව මට පසක් විය. ඒ සමඟ ම සිදුවූ හදිසි අනතුරේ ඇතැම් අවස්ථා ද මනසේ මැවී ගියේ ය.
හෙදියක් සිනාපාමින් මවෙත ආවා ය.
‘ගුඩ් මෝනිං, ඔයාට කොහොමද?’
‘ගුඩ් මෝනිං’ මට ද ඉබේට ම කියැවිණ.
‘ඔයාට මොකද වුණේ කියල මතකද?’ ඇය මා අසල නැවතී එක එල්ලේ මා දෑසට එබුණා ය.
‘ඔව්. වාහනේ පෙරළුණා!’
‘කොහාටද?’
‘ප්‍රපාතෙකට’
‘කොහෙදිද?’
‘බෙරගලදි’
‘කොහොමද ඒක උණේ?’
‘මට තප්පර ගානකට නින්ද ගියා. එතකොට තමයි මේක වෙලා තියෙන්නෙ. ලොකු පුතා එතකොටම මාව කීද්දුව. එතකොටත් වාහනේ පාරෙන් පනිනව. කරන්ඩ දෙයක් තිබුණෙ නෑ. මං පාර අයිනෙ තිබිච්ච ගල් බැම්මට ඇල්ලුව. ඒකත් කඩාගෙන වාහනේ ප්‍රපාතෙට වැටුණ’
‘ඊට පස්සෙ?’
‘වාසනාවකට වගේ පුතාල දෙන්නට තුවාල තිබුණෙ නෑ. ඒගොල්ලො පෙරළිච්ච වාහනෙන් රිංගල එළියට ආව. මාත් එළියට ආව. පාරට එන්ඩ නං කන්ද නගින්ඩ ඕනැ. ඒත් මට බැරුව ගියා. ඉළ ඇට කැඩිල කියල මට තේරුණා...’
‘එතකොට ආවෙ කොහොමද?’
‘ඒ වෙනකොට සෙනඟ සීයක් විතර අපිව වට කරගෙනයි හිටියෙ. ඒ අතරෙ හිටපු කීප දෙනෙක් තමයි මාව කරේ තියාගෙන කන්ද නැගල පාරට ආවෙ’
‘එතකොට?’
‘ඒ වෙනකොට 1990ට කතා කරල ඇම්බියුලන්ස් එක ගෙන්නගෙනයි තිබුණෙ. පොලිසියෙ අයත් ඇවිත් හිටිය. මාව ඉක්මනටම හල්දුම්මුල්ලෙ ඉස්පිරිතාලෙට ගෙනිච්ච. එතනදි මූලික ප්‍රතිකාර කරල දියතලාව ඉස්පිරිතාලෙට යැව්ව. ඒ අය කඩියො වාගෙ එක්ස් රේ අරගෙන ඔළුවෙ තුවාලෙ සීටී ස්කෑන් එකක් කරන්ඩ මාව බදුල්ලෙ ඉස්පිරිතාලෙට මාරු කෙරුව. බදුල්ලෙ අයි. සී. යූ එකට ගිය හැටි මට මතකයි. ඉන් එහාට මතක නෑ’
‘ආ ඔය හොඳට මතක තියෙන්නෙ. ඒ කියන්නෙ ඔයාගෙ මතකයට හානියක් වෙලා නෑ’ හෙදිය යළිත් සිනා පෑවා ය. මට සැනසුම් සුසුමක් පිට විය.
‘මිස්, අද දිනේ මොකක්ද?’
‘අද 16’
‘මේක උණේ 13 නේ. අද 16 උණේ කොහොමද? එහෙනං සිංහල අවුරුද්දත් නොකියම යන්න ගිහිං’
‘ඔව්. ඔයාව මෙහාට ගේනකොට පෙණහලුවලට ලේ එකතුවෙලා හුස්ම ගන්ඩ බැරුව අසාධ්‍ය තත්ත්වයෙ තමයි හිටියෙ. ජීවත් වෙයි කියල හිතන්ඩ බැරි මට්ටමකුයි තිබුණෙ. ඔයාගෙ වාසනාවකටද කොහෙද අවුරුද්දට නිවාඩු යන්ඩ හිටිය ඩොක්ටර් ආනන්ද දෙයියො එව්ව වගේ අහම්බෙං ආව. එයා වහාම ඩොක්ටර්ස්ල කිහිප දෙනෙක් යොදවල කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය හයිකරවල පෙණහලුවල ලේ අයින් කරන්න පපුව දෙපැත්තෙන් බට දෙකක් ඇතුළු කෙරුව. දවස් දෙකහමාරකට පස්සෙ අදයි ඔයාට සිහිය ආවෙ... දැං ඉතිං විවේකෙන් ඉන්න. දැං ඩොක්ටර් එයි.’
පසුව දැනගත් කාරණා අනුව මගේ ජීවිතය බේරා දෙනු පිණිස බොහෝ දෙනෙකු ඇප කැප වී ඇත. ඒ හැම දෙනාට ම යහපත සැලසේවා!
නුගේගොඩ, ප්‍රසන්න සමරසිංහ මහතා විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10