
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කළ යුතු බව පෙන්වා දෙමින් එය සංශෝධනය කිරීමේ කාලීන වැදගත්කම හා අවශ්‍යතාව පිළිබඳ මේ වන විට සමාජයේ පුළුල් කතාබහකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. වසර 25කට අධික කාලයක් මුළුල්ලේ සිට විවිධ මුස්ලිම් සංවිධාන හා ක්‍රියාධාරිනියෝ මේ පනත සංශෝධනය කළ යුතු බවට හඬක් නඟති. මේ පිළිබඳ රාජ්‍ය අංශයේ ද කතාබහට ලක්ව ඇති බව පෙනී යන්නේ පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ සෑම ජන කොටසකටම එක නීතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සමගාමීව මුස්ලිම් විවාහ හා දික්කසාඳ පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කිරීමත් සමඟය.
ආරම්භය
ශ්‍රී ලාංකික මුස්ලිම් විවාහ හා දික්කසාද පනත 1770 ලන්දේසි පාලන යුගය දක්වා වූ ඉතිහාසයකට දිව යයි. ඒ බටාවියාවෙන්( අද ඉන්දුනීසියාව) ගෙන එන ලද විවාහ සහ දික්කසාද නීති සංග්‍රහයයි. එවකට සිටි ප්‍රමුඛ නීති හා ආගමික පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් 1806, 1852, 1929, 1931, යන වසර කාල පරාසවලදී එම නීති සංග්‍රහය විවිධ සංශෝධනය කිරිම්වලට ලක් වුව ද පවත්නා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත නීති ගතවන්නේ 1951 වසරේ දීය. එය අද දක්වාම මුස්ලිම් විවාහ සහ දික්කසාද සඳහා බලපැවැත්වේ.
මුස්ලිම් නීතිය යටතේ විවාහයක් කරගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි. ලේ ඥාතීන් අතර සිදු වන විවාහ වලංගු විවාහ නොවේ. එමෙන්ම විවාහක බිරිය ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය. එලෙසම විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම්වරුන් දෙදෙනෙකු අතර පමණි. එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12ක ගැහැනු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය.
මුස්ලිම් විවාහ නීතිය යටතේ බහු විවාහ සඳහා ඉඩ ලබා දෙයි. ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියලු භාර්යාවන්ට විවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය. පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාළ චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි.
මේ සම්බන්ධව ඇති ප්‍රධාන ගැටලු ලෙස බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මඟින් මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිදු වන බවයි. එම කාන්තාවන්ගේ යුක්තියට, නිසි ක්‍රියාදාමයන්ට හා ඔවුනට සහන සඳහා ඇති ප්‍රවේශය පනතෙහි සීමා කිරීම දක්නට ලැබෙන බවයි. ඒ සඳහා පනතේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මෙන්ම ක්වාසි උසාවියේ් දී සිදු වන ක්‍රියාපටිපාටි සහ ඒවා ක්‍රියාවට නැංවීමේ දී සිදු වන ප්‍රායෝගික ගැටලු ද කාන්තාව කෙරේ ඇති වන බව පෙන්වා දෙයි.
පනත සම්බන්ධව ඇති ගැටලු
එයින් කිහිපයක් ලෙස මුස්ලිම් මානව හිමකම් ක්‍රියාකාරීහු දක්වන්නේ මුස්ලිම්වරුන්ට විවාහය සඳහා අවම වයස 18 නොකිරීමෙන් ළමා විවාහ සඳහා ඉඩ ලබාදීමත්( වයස12ක දරුවෙකුගේ විවාහයට පවා කාතිවරයෙකුට අනුමැතිය දිය හැකිය) එලෙසම මනාලියගේ කැමැත්ත අනිවාර්යය(හා ලිඛිත) අවශ්‍යතාවක් නොවීමත්, කාන්තාවන්ට හා පුරුෂයන්ට දික්කසාදය සඳහා වෙනස් ආකාරයේ කොන්දේසි තිබීමත්. ( හේතුවක් නොමැතිව ඒක පාර්ශ්වීය දික්කසාදවීමේ අයිතිය ස්වාමිපුරුෂයන්ට පමණක් ලබාදීම. භාර්යාවන් සඳහා දීර්ඝ වූ දික්කසාද වීමේ ක්‍රියාවලිය, කාති මත පදනම්ව භාර්යාවට හා දරුවාට නඩත්තු ප්‍රතිපාදන අත්තනෝමතිකව ලබාදීම, භාර්යාවන් හෝ අනාගත භාර්යාවගේ අනුමැතිය අවශ්‍ය නොමැතිව මෙන්ම ස්වාමිපුරුෂයාට නඩත්තු කළ හැකිද යන්න තහවුරු නොකර බහු විවාහ සිදු කර ගැනීම යනාදිය එම කාරණා අතර ප්‍රධාන ගැටලු වන බවයි.
වසර විසිපහකට වැඩි කාලයක සිට මේ පිළිබඳ හඬක් නඟමින් මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරීත්ව සංසදය පවසන්නේ, එම පනත අදට උචිත ලෙස අනිවාර්යයෙන් සංශෝධනය විය යුතු බවයි. ඒ අනුව 2005 වසරේ දී එම සංගමය මුස්ලිම් පෞද්ගලික නීති ප්‍රතිසංස්කරණයට ස්වාධින කමිටුවක් සඳහා මුලපුරන ලදී. එම කමිටුව දීප ව්‍යාප්තව විවිධ ක්‍රියාධරයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර එම වාර්තාව 2009 වසරේ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවට යොමු කර කඩිනම්න් මේ නීති සංශෝධනය කර යුතු බව යෝජනා කර ඇත.
ඒ පිළිබඳ අදහස් දක්වන එහි අධ්‍යක්ෂික ජෙසීමා ස්මයිල් මහත්මිය පවසන්නේ, දැනට පවත්නා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතින් මුස්ලිම් කාන්තාවනට වෙනස් ලෙස සැලකීම බලවත් අසාධාරණයක් බවයි. හඬක් නැති මුස්ලිම් කාන්තාවනට යුත්කිය හා සාධාරණය ඉටු වීමට නම් අද පවතින මේ පනත සංශෝධනය වීම අවශ්‍යම කරුණක් ලෙස තමා ඇතුළු සංසදය දකින බවයි. ඒ අනුව පනත සංශෝධනයේ දී ඇතුළත් විය යුතු නව කරුණු කිහිපයක් ඔවුන් ගෙන හැර දක්වන්නේ මෙලෙසයි. ඔවුන් පවසන්නේ,
විවාහය සඳහා මනමාලියගේ කැමැත්ත සහ මනමාලියගේ අස්සන, ඇතුළත් විය යුතු බවත් විවාහයේ වයස - අවුරුදු 18ක් (කලින් අවුරුදු 12) වීමත් ,දික්කසාදය නොගැළපුම ඇතුළත් කරමින් බිරිය විසින් ආරම්භ කරන ෆාෂා දික්කසාදය සඳහා අවශ්‍ය කටයුතු පුළුල් කිරීමත්, විවාහ ගිවිසුමක් තුළ ඇතුළත් කළ යුතු කොන්දේසි ලබාදීමත්, තලාක් ඊ - ටෆ්විස් (Talaq – e – tafwiz) එනම් ප්‍රකාශිත කොන්දේසි යටතේ දික්කසාදය පිළිබඳ බෙදාහැරුණු අයිතිය, දක්වා ඇති නිර්දේශ/ කොන්දේසි පරිදි බහු විවාහක විවාහය සඳහා අයිතිය සීමා කිරීමත්, ස්වාමි පුරුෂයා විසින් කොන්දේසි විරහිත ඒකපාර්ශ්වික දික්කසාදය (හේතුවක් නැති දික්කසාදය) සීමා කිරීම,1 වැනි, 2 වැනි, 3 වැනි හෝ ඉන්පසු විවාහ වාර්තා කිරීම සඳහා විවාහ ගිවිසුමේ සිරස්තලයක් ඇතුළත් කිරීම, කිසිදු ප්‍රමාදයක් නැතිව ප්‍රදානය කළ යුතු කුලා (Khula) සඳහා අයිතිය මූල්‍ය වන්දි ගෙවීම සහ මහර් (Mahar)(ස්වාමි පුරුෂයා විසින් ලබා දෙන වත්කම්) ආපසු දීමෙන් බිරියට දික්කසාද වීමට කොන්දේසි විරහිත අයිතිය ඇති බවත්. යම් නිකායක් (සාෆි, හනාෆි, මලිකි හෝ හන්බාලි) අයත් කර ගැනීමේ අයිතිය හෝ පෞද්ගලික තීරණයක් නොවීම සහ පුද්ගල අයිතියක්, පීඩාවට පත් වන බිරියට සහ ළමුන්ට දික්කසාය මත ඵලදායීව ක්‍රියාත්මක කළයුතු නඩත්තු අයිතියත් , කයිකුලි(දෑවැද්ද) (Kaikuli) සහ නැවත ලබාගැනීම පිළිබඳ කරුණ කෙරෙහි දැඩිව සිතා බැලීම,මතා (Mathah) වන්දි වශයෙන් ත්‍යාගය ෆාෂා (Fasah) (බිරිය විසින් ආරම්භ කරන දික්කසාද) සහ තලාක් (Talaq) පුරුෂයා විසින් ආරම්භ කරන දික්කසාද) දක්වා දීර්ඝ කිරීමට,ක්වාසිවරුන් පත්කිරීම, පාරිශ්‍රමිකය සහ පුද්ගලයින්ගේ තත්ත්වය, ක්වාසි ලෙස පත්වීමට කාන්තාවන්ගේ අයිතිය පිළිගැනීම. යන කරුණුය.
මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් ඇතුළු මුස්ලිම් ක්‍රියාධාරිනියන් පවසන්නේ, මෙම පනත සංශෝධනය නොවීම නිසා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවයි. විශේෂයෙන්ම නැඟෙනහිර පළාතේ කළ සමීක්ෂණයකට අනුව මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ඇය මාධ්‍යයට පවසා ඇත.
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යෝග්‍ය පරිදි සංශෝධනය කිරීම සඳහා 2016 වසරේ දී ද එවකට අධිකරණ අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරනු පිණිස අමාත්‍ය අනුකාරක සභාවක් පත්කිරීම සම්බන්ධයෙන්ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. එහෙත් තවමත් එය ක්‍රියාත්මක වී නැත. මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරීත්ව සංසදයේ අධ්‍යක්ෂිකා ෆයිසුන් සැකරියා පවසන්නේ, දැනට වසර දහයකට ආසන්න කාලයක සිට මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කළ යුතු බවට තමන් ඇතුළු තම සංගමය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
“1951 දී නීති ගත වූ මේ පනත වසර හැට හතක් පමණ පැරණියි. මේ පනත තුළ දුර්වලතා තිබෙනවා. අදට මෙහි සමහර කාරණා කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. අද මුස්ලිම් කාන්තාව හැම අතකින්ම ඉදිරියට ගිහිල්ලා තිබෙනවා. එනිසා ඔවුනට ගැළපෙන ලෙස මුස්ලිම් කාන්තාව සම්බන්ධයෙන් පවත්නා නීතිරීති පද්ධතියත් වෙනස් විය යුතුයි. එනිසා තමයි අපි ඉහත සඳහන් සංශෝධන පනතට එක්කළ යුතු බව පවසන්නේ. අප මේ දේවල් පනතට ගෙන ආවේ වසර ගණනක් තිස්සේ සිදුකළ පර්යේෂණ හා සොයා බැලීම් මතයි. යහපත් ප්‍රතිචාර ලැබෙනවා වගේම සමහර පිරිමි පාර්ශ්ව මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදිමදි කරනවා. ' සැකරියා පවසයි.
පනත සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට යෝජනාවලි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඒවාහි ඇතුළත් යම්යම් කරුණු සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවකට නොපැමිණීම නිසා පනත සංශෝධනය කිරීමේ කටයුතු ප්‍රමාදව ඇති බවට කරුණු ඉදිරිපත් වෙයි. පළමුව කොටස් දෙකකින් යුතුව භාර දෙන ලද වාර්තාවේ එක් කොටසක් විශ්‍රාමික විනිසුරු සලීම් මර්සූෆ් ඇතුළු පිරිසකගේ අස්සනින් යුතුව භාර දෙනු ලැබූ අතර, තවත් කොටසක් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් ) සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ඇතුළු කණ්ඩායමකගේ අස්සනින් යුතුව භාරදෙනු ලැබ තිබේ. මීට අමතරව Y.M.M.A සංවිධානය ද අධිකරණ අමාත්‍යාංශය වෙත පනත සංශෝධනය සඳහා සංශෝධනයක් ඉදිරිපත් කර ඇත.
ඉදිරිපත් වූ යෝජනාවලි
මේ අතුරින් විනිසුරු සලීම් මර්සූෆ් ඇතුළු පිරිස ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මුස්ලිම් කාන්තා ක්‍රියාධාරිනියන්ගේ බහුතර කැමැත්තක් හිමිව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට බලපවත්වන මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කළ යුතු බව, එසේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය නොකරන්නේ නම් පමණක් කැමති මුස්ලිම් ජනතාවට සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහවීමට/ දිකක්සාදවීමට අවස්ථාව සලසා දිය යුතු බව,ළමා විවාහ අතුගා දැමීමේ අරමුණින් මුස්ලිම් දරු දැරියන් විවාහවීමේ අවම වයස අවුරුදු 18 ලෙසින් නියම කළ යුතු බව , කිසියම් හේතුවක් නිසා වයස 16ත් 18ත් අතර දරුවන් විවාහ කරදීමට සිදු වන අවස්ථාවක එය අදාළ දරුවා වෙනුවෙන් කළ යුතු කාර්යයක් බවට ක්වාසි අධිකරණය සෑහීමකට පත් වන අවස්ථාවක පමණක් එම විවාහය සිදු කිරීම, මුස්ලිම් කාදි (ක්වාසි) අධිකරණ රටේ ප්‍රධාන අධිකරණ පද්ධතියට සම්බන්ධ කරමින් ක්වාසි අධිකරණවල තත්වය නඟා සිටුවිය යුතු බව, මුස්ලිම් කාන්තාවන්ට ද කාදි අධිකරණවල විනිසුරුවරුන් වශයෙන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරුන් වශයෙන් සේවය කිරීමට අවස්ථාව දිය යුතු බව එහි දැක්වෙන ප්‍රධාන කරුණු අතර වේ.
මුස්ලිම් නීතිවේදිනියක වන එස්. සහීඩ් මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් පවසන්නේ, මෙම පනත සංශෝධනය සිදු කළ යුත්තේ, මර්සූෆ් විනිශ්චයකාරතුමාගේ නිර්දේශයනට අදාළව බවයි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම බවත් එම වගකීම මුස්ලිම් පුරුෂයන්ට භාර නොකළ යුතු බව ද ඇය මාධ්‍ය අමතමින් වැඩිදුරටත් පවසයි.
මේ පිළිබඳව ලංකාවේ පැරණිතම මුස්ලිම් සංවිධානයක් වන Y.M.M.A සංවිධානයේ (මුස්ලිම් තරුණ කටයුතු සංවිධානය) මහලේකම් ෂාහීඩ් එම්. රිස්මි පවසන්නේ, මේ වන විට අධිකරණ අමාත්‍යාංශය වෙත මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය සඳහා ඔවුන්ගේම සංශෝධනයක් ලබාදී ඇති බවයි.
කෙසේ වුවත් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ෆාසිල් ෆාරුක් මවුලවි මාධ්‍යයට පවසන්නේ,පවත්නා ක්වාසි අධිකරණ ක්‍රමයේ පවතින පරිපාලන දුර්වලතා නිරාකරණය කිරීම හැර ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතියේ ප්‍රබල සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි . එලෙසම දැරියක විවාහ කිරීමේ අවම වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට සිය සංවිධානය ද යෝජනා කර තිබෙන බව ඔහු පවසයි. මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින පරිදි (සහ සලීම් මර්සූෆ් නිර්දේශ ප්‍රකාර) මුස්ලිම් කාන්තාවන් ක්වාසි අධිකරණ විනිසුරුවන් ලෙසින් පත්කිරීම ඉස්ලාම් ධර්මයට අනුකූල නොවන බවත් ,ඒ වෙනුවට ක්වාසි අධිකරණ සඳහා ජූරි සභාවේ බහුතරය කාන්තාවන් පත් කරන මෙන් ඔවුන් යෝජනා කරන බවයි.