බුද්ධි අංශ දෙස බුද්ධියෙන් බලන්න | සිළුමිණ

බුද්ධි අංශ දෙස බුද්ධියෙන් බලන්න

බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිසා රටේ ආරක්ෂාව අනතුරට පත්ව ඇති බවත්, බුද්ධි අංශ අඩපණ වී ඇති බවත් දේශපාලන කරළියේ හා ඇතැම් සමාජ විචාරකයන්ගේ කතාබහට ලක්ව ඇත. මේ කතාවල සැබෑ මුහුණ කුමක්ද? අපි අද මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළෙමු.

එහිදී පළමුවම මෙරට බුද්ධි අංශ පිහිටුවීම හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සුදුසුය. 80 දශකය ආරම්භයට පෙර මෙරට ජාතික ආරක්ෂාව පිණිස ස්ථාපිතව තිබුණේ ජාතික බුද්ධි කාර්යාංශය හෙවත් NIB ආයතනයයි. රටේ ආරක්ෂාව පිණිස හේතු වන කාර්යයන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය දෙමින් හා ප්‍රභූ ආරක්ෂාව හා අනෙකුත් ආරක්ෂක ජාලයන් උදෙසා කටයුතු කරන්නට මේ කාර්යාංශයට හැකි විය.

එහෙත් ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී යුද්ධය ඇරැඹීමත් සමඟම ජාතික බුද්ධි ප්‍රධානියකු මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයක්ද ආරම්භ කරන ලද අතර, ජාතික ඔත්තු සේවාවන් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරන ලදි. ජාතික ඔත්තු සේවාවන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළද එහි සේවය කළේ පොලිස් නිලධාරීන්මය. මේ සමඟම යුද, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදා බුද්ධි අංශද ආරම්භ කරන ලද අතර, එය වෙනම ඒකකයක් යටතේ ස්ථාපිත කරනු ලැබීය. මේ බුද්ධි සේවා ඔස්සේ රටේ සමස්ත ආරක්ෂාව සැලසුණාක් මෙන්ම එය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍යම සාධකයක් විය. විශේෂයෙන්ම යුද හමුදාවේ බුද්ධි අංශය මෙරට ස්ථාපිත වූ ප්‍රබලම බුද්ධි අංශයක් විය. වසර 30කට ආසන්න කාලයක් මෙරට ආරක්ෂාවේ කේන්ද්‍රස්ථානය වූයේ යුද හමුදා බුද්ධි අංශයැයි පැවසුවද වරදක් නැත. යුද හමුදා බුද්ධි අංශ කොතරම් සූක්ෂ්ම ලෙස කටයුතු කරන්නේද යන්න සොයාබැලීමේදී අපට ලබා දීමට හොඳම උදාහරණ දෙකක් ඇත.

එයින් එකක් අදින් දශක දෙකකට අධික කාලයකට පෙර සිදු වූවකි. එවකට යුද හමුදා රෝහල පිහිටියේ වත්මන් යුද හමුදා මූලස්ථානය පිහිටි භූමියේමය. දිනක් යුද හමුදා රෝහලට යෑමට කාන්තාවක් ආවාය. ත්‍රස්තවාදී තර්ජන තිබූ හෙයින් හමුදා මූලස්ථානයට ඇතුළු වන සියලු දෙනා පුළුල් පරීක්ෂාවට භාජන කෙරිණි. වෙනෙකක් තබා සපත්තු පවා ගලවා පරීක්ෂා කරනු ලැබීය. හමුදා මූලස්ථානයට ඇතුළු වූ කාන්තාව අඹගෙඩි දෙකක් තන පට තුළ සඟවාගෙන සිටියාය. ඒ සම්බන්ධ වාර්තාවක් ලබා දුන් විට යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂාව පිළිබඳ තත්ත්වය මෙසේ නම් අනෙක් තැන්වලට යුද හමුදාව ආරක්ෂාව සලසන්නේ කෙසේද යන ප්‍රශ්නය පැන නැඟිණි. අඹගෙඩි සඟවාගෙන ආයේ බුද්ධි අංශ නිලධාරිනියකි. හමුදා බුද්ධි අංශ ආරක්ෂක කටයුතුවල යෙදුණේ ඒ තරම් සූක්ෂ්ම ලෙසිනි.

එසේම වන්නියේ හමුදා කඳවුරකට පහර දීමට පැමිණි ත්‍රස්ත කණ්ඩායමක් සහමුලින්ම විනාශ කළේ බුද්ධි අංශ මගින් ලද තොරතුරක් නිසාය. අද තත්ත්වය සලකා බලන විට දිවයින පුරා 10,000කට අධික බුද්ධි අංශ නිලධාරීහු පිිරිසක් විසිර සිටිති.

ඔවුන්ගෙන් ඇතැමකු බුද්ධි අංශ රාජකාරියේ නිරත වන සිටින්නේ වෙනත් රාජකාරියක නිරතව සිටියදීය. ඒ අය හමුදා සාමාජිකයෝම නොවන අතර, තොරතුරු සපයන රාජ්‍ය ආයතනයේ විශේෂ ගිණුමකින් විශේෂ දීමනා ලබන්නෝ වෙති.

දැන් අපට මතුව ඇති ප්‍රශ්නය වන්නේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් බුද්ධි අංශ අඩපණ වූයේද යන්නයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම නිසා බුද්ධි අංශවල කිසිදු ආකාරයක අඩපණ වීමක් සිදුව නැති නමුත් ඔවුන් තුළ යම් පසුබෑමක් ඇතිව තිබෙන බවයි. එය සත්‍යයකි. 'මම බුද්ධි අංශයේ සේවයේ යෙදී සිට කුමක් නිසා බෙල්ල දෙන්නේද?' යන ප්‍රශ්නය ඒ නිලධාරීන්ගේ සි‍ත්හි ඇති වන්නට පුළුවන.

කෙසේ වෙතත් මේ වන විට අත්අඩංගුවට ගත් නිලධාරීන්ගෙන් ඇප පිට නිදහස ලබා පිටව ගොස් ඇති අය හැරෙන්නට අත්අඩංගුවේ සිටින්නේ 8 දෙනකු පමණි. ඒ අයද කප්පම් ගැනීම්, අතුරුදන් කිරීම් වැනි සාපරාධි ක්‍රියාවලට සම්බන්ධ අයයි.

සැබැවින්ම බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිසා රටේ ජාතික ආරක්ෂාව අඩු වෙලාද?

10,000ක පමණ බුද්ධි අංශ නිලධාරීන් අතුරින් 10ක්-15ක් හෝ අඩුවීමකදී ඒ පද්ධතියට බරපතළ බලපෑමක් එල්ල නොවනු ඇත.

එහෙත් කඳවුරක මුරපොළක ආරක්ෂක රාජකාරි සේවාවක නිරතව සිටින මුර සෙබළුන් තුන් දෙනකුගෙන් දෙදෙනකු එම ස්ථානයෙන් ඉවත් වුව හොත්, වෙනත් සෙබළුන් දෙදෙනෙක් ඒ සඳහා යෙදවිය හැකි පරිදි සරලව බුද්ධි අංශ නිලධාරීන් එසේ පත් කළ නොහැකි බව බැහැර කළ නොහැකි සත්‍යයකි.

යුද හමුදාපතිවරයා පවසන්නේද බුද්ධි අංශ නිලධාරීන් යම් පාඨමාලා සඳහා විදේශගත වන බවත්, ඇතැම් විට විශ්‍රාම යන බවත්, යම් ස්වාභාවික හේතු නිසා මිය යෑමටද හැකි බවයි.

එවන් අවස්ථාවල බුද්ධි අංශ සැමවිටම ක්‍රියාත්මකව ඇත්තේ සියලු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අතිශය සූක්ෂ්ම අන්දමිනි.

අනෙක් අතට යුද්ධය පැවැති සමයේ බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය වූ අතර, එසේ ඝාතනය වූ ආකාරයට බුද්ධි අංශ අඩපණ වූවා නම් රටේ ජාතික ආරක්ෂාව පවත්වා ගෙන යෑමට හැකි වේදැයි අපට විමසීමට සිදු වේ. විශේෂයෙන් යුද්ධය පැවති සමයේ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨයන් වන මේජර් මුතාලිෆ් වැනි බුද්ධි අංශ නිලධාරීන් ඝාතනයට ලක් වුවද බුද්ධි අංශ අඩපණ වූයේ නැත.

එවන් තත්ත්වයක් යටතේ නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවේ සිටි පමණින් බුද්ධි අංශ කඩාවැටීමක් හෝ ජාතික ආරක්ෂාවට හානි පැමිණීමක් සිදු වන බව යම් අයකු පවසන්නේ නම් ඒ තැනැත්තා හෝ කණ්ඩායම හමුදා බුද්ධි අංශ ගැන නොව හමුදාමය කාර්යයන් ගැන හෝ 'අ-යන්න' හෝ නොදන්නා අයකු විය යුතුය.

බුද්ධි අංශ කටයුතු කරන්නේ තම බල සීමාව කොටු කරගෙන නොවේ. ඒ සඳහාද හොඳම උදාහරණයක් දැක්විය හැකිය.

ප්‍රභාකරන් සමඟ උරණ වූ කරුණා අම්මාන් රජයට සහාය දැක්වීමට ඉදිරිපත් විය. ඒ අවස්ථාවේ කරුණා අම්මාන් ප්‍රභාකරන්ගෙන් වෙන් කරන හමුදා බුද්ධි මෙහෙයුමේදී හමුදා බුද්ධි අංශය ක්‍රියාත්මක වූයේ රටේ ආරක්ෂාව ගැන සිතාය. එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ බුද්ධි මෙහෙයුම් නවත්වන්නට නියෝග කරද්දී හමුදාපතිව සිටි ජෙනරාල් ලයනල් බලගල්ල බුද්ධි අංශවල කාර්යය හා දේශපාලන කාර්යය ගැන ජනාධිපතිනියට කරුණු පැහැදිලි කර දී, එය අත්‍යවශ්‍ය කටයුත්තක් බව කී අතර, හමුදා බුද්ධි අංශය විසින් ඒ මෙහෙයුම් අඛණ්ඩව ගෙන යමින් කරුණා අම්මාන් ගල්කිස්සේ ආරක්ෂිත නවත්වා දෙවනුව එංගලන්තය කරා රැගෙන යනු ලැබීය.

එසේම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව (චෝගම්) කොළඹ පැවැත්වෙද්දී යුද හමුදාව වෙනම බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාවටය. ආබාධිත එහෙත් අත්දැකීම් ඇති තුන්සියයක භට පිරිසක් බුද්ධි මෙහෙයුම් සඳහා වෙනම තෝරාගත්තේ අනෙකුත් බුද්ධි අංශවලට අමතරවය. එවකට සමුළුවේ ආරක්ෂාව භාරව සිටි මේජර් ජනරාල් සුමේධ පෙරේරා මාස ගණනාවකට පෙර නව ඒකකය සාදා ඔවුන් සූපවේදීන්, ආරක්ෂකයන් උද්‍යාන අලංකාර කරන්නන්, කාමර පිරිසුදු කරන්නන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අදාළව හෝටල් තුළ සේවයට යොදවා තිබුණේ රහසිගතවය. මේ ගැන බොහෝ හමුදා නිලධාරීන් පවා දැන සිටියේ නැත.

අපේ බුද්ධි අංශ ඉතිහාසයේදී කටයුතු කර ඇත්තේ ඒ තරම් සූක්ෂ්මවය.

කෙසේ වෙතත් යුද්ධය පැවති සමයේදී ඇතැම් අවස්ථාවල ත්‍රස්තවාදීන් බුද්ධි අංශ ඉක්මවා යමින් ප්‍රහාර එල්ල කළ බවද අප අමතක නොකළ යුතුය. රාජ්‍ය නායකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා මෙන්ම නාවික හමුදාපතිවරයා වූ ක්ලැන්සි ප්‍රනාන්දු ඝාතනයද එබඳු අමිහිරි සිදුවීම් දෙකකි. ඊට අමතරව වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී යුද හමුදා මූලස්ථානයටම ඇතුළු වූ මරාගෙන මැරෙන කොටි සාමාජිකයකු ඔහුට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ලෝක ඉතිහාසයේ හමුදාපතිවරයකුට එලෙස එල්ල වූ පළමු ප්‍රහාරය ලෙසිනි.

අපේ බුද්ධි අංශ ඉතිහාසය එලෙස පවතිද්දී වර්තමානයේ අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන් 8 දෙනාට එල්ල වී ඇති චෝදනා මොනවාද යන්න සොයා බැලිය යුතුය.

ඒ අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට සහ මාධ්‍යවේදි පෝද්දල ජයන්තට පහර දීම, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාසා රවිරාජ් හා රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට යම් අයුරකින් සම්බන්ධ වීම්ද වේ.

මේ අතර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පසුගියදා ප්‍රකාශ කර සිටියේ ආරක්ෂක හමුදා බැරැක්කවලට සීමා කිරීම බරපතළ වැරැද්දක් බවයි. එමෙන්ම වත්මන් රජය මාර්ගබාධක හා පරීක්ෂා කිරීමේ ස්ථාන ඉවත් කිරීමද ආරක්ෂාවට ගැටලුවක් බවයි.

කෙසේ වෙතත් හදිසි නීතිය ක්‍රියාත්මක නොකර හමුදාව සිවිල් ජනතාව පරීක්ෂා කිරීමට හෝ මෙහෙයුම් සඳහා යොදාගත නොහැකි බව රටේ පොදු නීතියයි. ඒ අනුව හදිසි නීතිය පැනවීමකින් තොරව ආරක්ෂක හමුදා මුර කපොළු යෙදිය නොහැකි අතර, අවශ්‍ය නම් පොලිස් පරීක්ෂා කිරීම් සිදු කළ හැකිය. කෙසේ වුවත් යුද සමයේ තිබූ එම මුරකපොලු ඉවත් කරන ලද්දේ 2015 වසරේ නොව, 2010 දී පමණ බවත්, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් සිහිපත් කළ යුතුය.

ඒ කෙසේ වේවා, මෙහිදී සිදුව ඇත්තේ බුද්ධි අංශ ගැටලුවක් නොව, ඒ ඒ බුද්ධි අංශ අතර මනා සම්බන්ධීකරණයක් සිදු නොවීම බව නුදුරේ රට තුළ පැනනැඟුණු අවාසනාවන්ත සිද්ධි කෙරෙහි අවධානය යොමු කරන කල්හිද මැනැවින් පෙනී යන කරුණකි. සියලු බුද්ධි අංශ රහස්‍ය තොරතුරු හුවමාරු කරගනිමින් ඒකාබද්ධ මෙහෙයුම් කරනු වෙනුවට දැන් ඇත්තේ තනි-තනිවම ලකුණු දමාගැනීමේ මෙහෙයුම් පමණකි.

පසුගිය ඉරිදා පාස්කු ප්‍රහරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු යුද හමුදාවට ලබා දීමට කටයුතු කර නැත. එසේ ලබා දුන්නා නම් එම ප්‍රහාර වළක්වාගත හැකිව තිබිණි.

දැන් කළ යුත්තේ පොලීසියට ලැබෙන බුද්ධි තොරතුරු තමන් අතර පමණක් බෙදාගෙන ඒ වෙනුවෙන් දින 14ක් ඇතුළත පිළිතුරු සපයන ලෙස දන්වා යැවීම නොව, අවශ්‍ය සියලු ආරක්ෂක අංශ සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමය.

Comments