අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු සායන සැලසුමක් | සිළුමිණ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු සායන සැලසුමක්

වොල්ටර් දයාරත්න - අනුරාධපුර දිසා විශේෂ

චන්ද්‍රදාස මලවරආරච්චි - මිහින්තලය විශේෂ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගය පිළිබඳ සායන කටයුතු නගරයට පමණක් සීමා නොකර ගම තුළට ගෙනයෑමේ නවතම සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරියට අයත් දිස්ත්‍රික් වකුගඩු නිවාරණ ඒකකයේ වෛද්‍ය චමිලා දිල්රුක්ෂි හේවාවසම් මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය එම ප්‍රකාශය කළේ අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී වකුගඩු රෝග නිවාරණ කටයුතු පිළිබඳව ප්‍රකාශයක් කරමිනි.

තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිලධාරිනි, දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් දල වශයෙන් දස දහස් හත්සියයක් (10,700) ක් පමණ ජිවත් වන අතර ඔවුන් සුවපත් කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවද කීවාය.

ගමේ සායන කටයුතු එම්.ඕ.එච්. කාර්යාලයේද සහය මත කරගෙන යන බවත්, දැනට මිහින්තලය, මැදවච්චිය, හොරොව්පොතාන, තඹුත්තේගම, රාජාංගනය, ගලෙන්බිඳුණුවැව, කැබිතිගොල්ලෑව ඇතුළු සියලුම ප්‍රාදේශීය රෝහල් කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ගෙනයන අතර අවශ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟය නිසා රුධිර කාන්දු කිරීම වැනි ප්‍රතිකර්ම වලට එය බාධාවක් වී ඇතැයි ද කීහ.

මෙම සායන තුළින් වකුගඩු රෝගයට පමණක් නොව පිළිකා වැනි අනිකුත් රෝගවලට ප්‍රතිකාර ලබාදි නිරෝගිමත් පරපුරක් නිර්මාණය කිරිම මෙහි අරමුණ බවද කීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිම ඇතුලු නවතම ක්‍රමවේද හඳුන්වා දෙමින් ඉතා උසස් සේවයක් සිදු කරන අතර, එම කටයුතු ප්‍රාදේශීය රෝහල් වලටද ගෙනයෑමට අවශ්‍ය පියවර ගෙන ඇත. තඹුත්තේගම රෝහලට මේ සඳහා අවශ්‍ය නිලධාරි හිඟයක් පවතින අතර කැබිතිගොල්ලෑව රෝහලට ද එම තත්ත්වය පැනනැගී ඇත. මේ සේවක හිඟය ගැන අමාතයාංශයට දන්වා ඇතැයි ද වැඩිදුරටත් පැවසුවාය.

Comments