විපක්ෂය යහපත් ආදර්ශයක් ලබා දුන්නා | සිළුමිණ

විපක්ෂය යහපත් ආදර්ශයක් ලබා දුන්නා

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු පිරිස් තවමත් අත්අඩංගුවට ගෙන නැති බවට ආණ්ඩුවට චෝදනා කරනවා හැර, විපක්ෂය ආණ්ඩුවට කිසිදු සහයෝගයක් දෙන්නේ නැහැ නේද?

චෝදනාවට ලක්ව තිබෙන පිරිස අඩුම තරමින් ප්‍රශ්න කිරීමටවත් අත්අඩංගුවට ගන්නැයි අප පාර්ලිමේන්තුවේදීත් ඉල්ලීම් කලා. ඒත් රජය එය සැලකිල්ලට ගත්තේ නැහැ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න අපට සිදු වනවා. පුපුරන ද්‍රව්‍ය වගේ දේ සමග අත්අඩංගුවට ගත් පිරිසටත් සතියක් වගේ කාලයක් තුළ මහාධිකරණයෙන් ඇප දෙන තැනට, පොලීසියේ සහ දේශපාලන නායකත්වයේ නොහැකියාවෙන් කටයුතු සිද්ධ වී තිබෙනවා.

ඒත් වගකිව යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා නේද?

ආරක්ෂ අංශවලට මැදිහත් විය හැක්කේ දේශපාලන නායකත්වයේ මෙහෙයවීමෙන් පමණයි. පසුගිය කාලයේ ලැබුණ තොරතුරු ආරක්ෂක අංශවලට දුන්නා නම් මේ විපත සිදු වන්නේ නැහැ. බුද්ධි අංශ දුන් තොරතුරු සැහැල්ලුවට ලක් කර ඇති නිසා ලැබුණ ප්‍රතිඵලයක් තමයි මේ ව්‍යසනය. අපේ රටේ දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් ඉන්නවා. ඒ අයගේ මානසිකත්වය පහතට හෙළලා, ඒ අය ත්‍රස්තවාදයට උදවු කළා කියලා චෝදනා කරමින් අත්අඩංගුවට අරගෙන අකර්මණ්‍ය කරලා තියෙනන්නේ. අද දවසේත් අප කියන්නේ අපේ බුද්ධි අංශවල දක්ෂ නිලධාරීන් ඉන්නවා.

පොලිස්පතිවරයාගේ අතින් නීතිය කඩාවැටෙන නැමෙන ආකාරයත් විවිධ අවස්ථාවල අප දැක්කා. ආණ්ඩුව ඉතා නිහඬ ප්‍රතිපත්තියක් තමයි මේ සෑම අවස්ථාවකදීම අනුගමනය කළේ. ඒ නිසා මේ සිද්ධිය වෙලා පැය හතළිස් අටක් ගිය පසු ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක සිට තමයි යුද හමුදාව, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශවලට බලය දීමට කටයුතු කළේ. මීට ඔවුන්ට පෙර බලය දුන්නා නම් මේ තත්ත්වය වළක්වාගන්න ඉඩ තිබුණා. දේශපාලන නායකත්වය දීමේදී ගනු ලබන තීරණවලදී මැළිකමක් දක්වනවා.

දැන් නම් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලැබී තිබෙනවා නේද? විශේෂයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට විපක්ෂ නායකවරයා කැඳවීමට යෝජනා කර තිබෙනවා...

ආණ්ඩුව මුලින්ම කරන්න ඕනෑ ආණ්ඩුවේ ඇමැතිවරන් ටික කැඳවලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි. අප දුටුවා ආරක්ෂක මණ්ඩලයට මේ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින අයත් කැඳවා තිබෙනවා. ඒ නිසා ඒ නිසා ආරක්ෂක මණ්ඩලයට විපක්ෂ නායක කැඳවනවාද කියන දේ රටේ ආරක්ෂාවට පියවරක් නොවෙයි. ආරක්ෂ අංශ ප්‍රධානීන්ට අවශ්‍ය දේශපාලන නායකත්වයයි දිය යුතු වන්නේ. විධායක ජනාධිපතිට, අගමැතිට සහ ඇමැතිවරුන්ටයි ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නායකත්වය ලබා දීමේ හැකියාව තිබෙන්නේ. එය විපක්ෂ නායකයා කැ‍ඳෙව්වා කියලා සිදු වන දෙයක් නොවෙයි.

ඔබ ආණ්ඩුවට චෝදනා කරනවා බුද්ධි අංශ අඩපණ කරලා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කළ නිසා තමයි මේ ව්‍යසනය සිදු වුණේ කියලා. ඒත් බුද්ධි අංශයේ නිලධාරීන් දසදහසක් කටයුතු කරනවා. එයින් සත් දෙනකු පමණයි සිරගත වී තිබෙන්නේ...

වසර හතර හමාරක් මුළුල්ලේ ආරක්ෂක අංශවල නිලධාරීන් තුන්සිය දෙළොස් දෙනකු ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. එයින් හතළිස්හත් දෙනකු රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා තිබෙනවා. මේ අයගෙන් හතළිහකට අධික සංඛ්‍යාවක් රඳවා තබාගෙන තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගත් විට නඩු කටයුත්තක් අවසන් වන තෙක් ඔවුන්ට ඇප ලැබෙන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් රඳවා තබාගෙන ඔවුන්ගේ මානසිකත්වය කඩාවට්ටලා.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂක අංශයේ අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ පිරිස් විසිහය දෙනකු ඉන්න බවට චෝදනා තිබෙනවා...

පසුගිය කාලයේ බුද්ධි අංශවල නිලධාරීන්ටත් මේ චෝදනාම එල්ල කළා. බුද්ධි අංශ නිලධාරීන්ට චෝදනා ගොනු කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඒල්ටීටීඊ සංවිධානයට තොරතුරු දුන්නා කියලා. එල්ටීටීඊ සංවිධානය පරාජයට පත් කරන අවස්ථාවේ ඒ සංවිධානයේ යම් යම් තොරතුරු ගන්න ඒ වෙනුවෙන් උපක්‍රමික කටයුතු කරන්න සිදු වනවා. යම් යම් සම්බන්ධතා පවත්වන්න අවශ්‍ය වන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල බුද්ධි අංශ නිලධාරියාට ඒ සම්බන්ධයෙන් වියදම් දරන්න සිදු වනවා. මුදල් දෙන්න සිදු වන අවස්ථා තිබෙන්නට පුළුවන්. ඒ වගේ තමයි මේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට යෑමේදීත් එහි අභ්‍යන්තරයේ ඉන්න අයගෙන් තමයි තොරතුරු ගැනීම් සිදු වන්නේ. මේ වෙලාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සිතා බලා මෙවැනි තොරතුරු අනාවරණය නොකළ යුතුයි කියලයි මගේ අදහස.

පසුගිය කාලයේ එතරම් ශක්තිමත් බුද්ධි අංශයක් තිබුණා නම් පොදු අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව දැනගත යුතුයි කියලා කියනවා ඇතැමුන් කියනවා...

දේශපාලනඥයන් පසුපස නොවෙයි එදා අපේ බුද්ධි අංශ ක්‍රියාත්මක වුණේ; ජාතික ආරක්ෂාව වෙනුවෙනුයි.

රටේ උද්ගත වී තිබෙන මේ හදිසි තත්ත්වය නිසා ආණ්ඩුවට චෝදනා කරමින් දේශපාලන වාසි අත් කරගැනීමට විපක්ෂය කටයුතු කරනවා කියලා චෝදනාවක් නැ‍ඟෙනවා‍...

අප දේශපාලන වාසි ගැනීමට කටයුතු කරන්නේ නැහැ. විපක්ෂය යහපත් ආදර්ශයක් ලබා දී තිබෙනවා මේ අවස්ථාවේ.

Comments