ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව රැස්වේ | සිළුමිණ

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව රැස්වේ

කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට

ආපදාවක් සිදුවීමට පෙර එය වලක්වාගැනීම හා එහි හානිය අවම කිරීමට කටයුතු කිරීම ආපදාවක් සිදුවීමෙන් පසු සහනාධාර බෙදීමට වඩා වැදගත් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. ඔහු එසේ පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පසුගියදා රැස්වූ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ ද පැවසීය . වඩා වැදගත් වන්නේ ආපදාවක් සිදුවීමට පෙර එය වලක්වා ගැනීමයි. එමෙන්ම ආපදාවකදී සිදුවන හානිය අවම කරගැනීම සඳහාත් අපට යම් ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්. ඒ සඳහා ආපදාව හඳුනාගෙන එයට පූර්ව සූදානම් සිදුකිරීම අවශ්‍ය වෙනවා. පළමුව ප්‍රාදේශීයව පවතින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතුයි. දිස්ත්‍රික්කයේ තිබෙන සම්පත් කළමණාකරනය කරගෙන බාහිරෙන් ලබාගන්න පුළුවන් උදව් ගැන දැනුම්වත්ව වගකීමෙන් වැඩ කළොත් ආපදාවකට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන්. ස්වාභාවික විපත් වලක්වාගන්න බැරි වුනත් එහි හානිය අවම කරගන්න අපි සූදානම් විය යුතුයි. මේ සඳහා ආපදා පූර්ව සැලසුම් සකස් කළ යුතුයි. එවිට සහනාධාර බෙදීම් අවම කරගන්න පුළුවන්.

දිස්ත්‍රික්කයේ ඕනෑම හදිසි අවස්තාවකට මුහුණදීමට හැකිවන ලෙස ආයතන හා අංශ එක්රැස් කරමින් ප්‍රධාන මෙහෙයුම් කමිටු පහක් හඳුන්වාදීම මෙහිදී සිදුකෙරිණ. පූර්ව අනතුරු ඇඟවීම් කමිටුව, ඉවත් කිරීම් හා මුදවාගැනීමේ කමිටුව, සුරක්ෂිත මධ්‍යස්ථාන හා ආහාර සැපයීම් කමුටුව, පුනරුත්තාපන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ සෞඛ්‍ය සහ සුභසාධන කමිටුව ලෙස මෙම කමිටු නම්කර ඇත. දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කමිටු ක්‍රියාත්මක වන අතර එම කමිටු වල වගකීම් ආරක්ෂක ප්‍රධානීන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පැවරීම ද මෙහිදී සිදුවිය. එහිදී දිසාපතිවරයා පවසා සිටියේ කාළගුණයෙන් සිදුවන විපත් මෙන්ම ඇතිවියහැකි ඕනෑම හදිසි තත්ත්වයකදී ක්‍රියාත්මක විමට හැකිවන පරිදි මෙම කමිටු බලාත්මක කරන බවයි. ආපදා තීව්‍ර කරන ප්‍රාදේශීය ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සඳහා සම්බන්ධීකරණය කිරීම ද මෙහිදී සිදුවිය

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ කමිටුව රැස්වුණ අතර දිස්ත්‍රික්කය බාර ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස් ප්‍රධානීන්, සෞඛ්‍ය අංශ, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු වගකියයුතු නිලධාරීන් බොහෝ පිරිසක් රැස්ව සිටියහ.

Comments