ශ්‍රී ලංකාව නොබිඳෙයි | සිළුමිණ

ශ්‍රී ලංකාව නොබිඳෙයි

ඒ දිනය, අපේ සිත් තුළ සදාකාලික වේදනාවක් ඉතිරි කළ දිනයකි.

දණින් වැටී යාඥා කරමින් සිටි අහිංසක බැතිමතුන් මරා දැමූ දිනයකි.

සිය ගණනක් මිය ගිය සිය ගණනක් ආබාධිත වූ දිනයකි.

අප සැවොම එකම දේශයක් සේ හඬා වැටුණු දිනයකි.

ත්‍රස්තවාදයේ අමානුෂික බව යළි යළිත් සිහි කැඳවූ දිනයකි.

එසේ ම තම ජීවිතය බඳු ළබැඳියන් අහිමි වූ සහෝදර ජනතාව සමඟ එක පවුලක් සේ හදවතින් බැඳුණු දිනයකි.

එවන් විපතක් යළි නොවේවා යැයි එක සිතින් පැතිය යුතු බව එයින් පසක් විය.

ඒ කුරිරු ත්‍රස්තවාදීන් දෙවිඳුන්ගේ ශුද්ධ වූ අල්තාරය මත වැගිර වූයේ අහිංසකයන්ගේ රුධිරයයි.

එය ශ්‍රී ලාංකිකයින්ට කිසිදා අමතක නොවෙනු ඇත.

අපේ සිත් බියෙන් සලිත කර අප බෙදා වෙන් කිරීමට තවත් ඉඩ නොදෙන්නෙමු.

ලේ පිපාසිත අන්තවාදීන්ට මවුබිමේ අනාගතය තීරණය කිරීමට කිසි දා ඉඩ නොදෙන්නෙමු.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහි එක් සටනකින් අපි ජය ලැබුවෙමු.

එදා ත්‍රස්තවාදයට එරෙහිව, සුනාමි රළට එරෙහිව ලැබූ ජය යළිත් ලබන්නෙමු.

අපට එය කළ හැකියි‍. අප එය කළ යුතුයි.

කඩා විනාශ කිරීමට නොව සෙනෙහසින් ගොඩනැඟීමට එක් වන

එකම ජාතියක් ලෙස බැඳුණු ශක්තිමත් ශ්‍රී ලාංකිකයෝ වෙමු.

එකිනෙකාගේ අනන්‍යතාවන්ට, ඇදහිලිවලට සහ ප්‍රාර්ථනාවන්ට ගරු කරන,

එකිනෙකා විශ්වාස කරන ශ්‍රී ලාංකිකයෝ වෙමු.

අපෙන් එකෙකුට පහර දුන් විට අප සියලු දෙනාම වේදනාවට පත් වන බවත්,

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙසින් එකමුතුව එකිනෙකා වෙනුවෙන් නැඟී සිටින බවත් හඬ නඟා ලොවට කියමු.

අප ප්‍රාර්ථනා කරන උදාර දේශය බිහි කළ හැක්කේ එවිටයි.

 

ලේක්හවුස් ආයතනය විසින් මුළු මහත් ශ්‍රී ලංකාවාසීන් වෙත ගෙනෙන හෘදයාංගම පණිවිඩයයි.

Comments