බුද්ධි අංශවලට සියලු බලතල ලබා දෙන්න | සිළුමිණ

බුද්ධි අංශවලට සියලු බලතල ලබා දෙන්න

ඔබ ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳ ව අවධියෙන් සිටින, ඒ පිළිබඳ ව නිරන්තර අධ්‍යයනයක නිරතව සිටින කෙනෙක් විදියට අයි එස් සංවිධානය පිළිබඳ ව කිසියම් පැහැදිලි කිරීමක් කළොත්?

මේ අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයේ මුල් නම වුණේ ‘ස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා’යි. 2014 වසරේ ඔවුන් මේ නම වෙනස් කරා අයිඑස් (ස්ලාමික් ස්ටේට්ස්) කියලා. නමුත් මේ ත්‍රස්තවාදී සංවිධනය තුළ ඔවුන්ව හඳුන්වා ගන්නේ ‘දව්ලයි ස්ලාමියා’ කියලයි. බටහිර ලෝකය ඔවුන් හැඳින් වූයේ අයිසිස් කියලා. පසුගිය වසර 4-5ක පමණ කාලයක සිට මේ ‘දව්ලයි ස්ලාමියා’ සංවිධානය අසියාව පැත්තට සංක්‍රමණය වී තිබෙනවා. ඒ අනුව ලංකාව, මාලදිවයින, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය ආදී රටවල් රාශියක ඔවුන්ගේ ත්‍රස්ත ජාලයක් ස්ථාපිත කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. 2015 සිට අයිඑස් සංවිධානය විසින් ඔවුන්ගේ ‘දෘෂ්ටිවාදයට (Ideology)’ කැමති ලාංකිකයන් පිරිසක්; පුරුෂයන්, ස්ත්‍රීන්, දරුවන් සහ දෙමාපියන් ඇතුළු 41ක් දෙනෙක් තුර්කියට ගෙන ගොස් පසුව සිරියාවටත් රැගෙන විත් තිබෙනවා. ඔවුන්ට අයි එස් සංවිධානය විසින් ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදී තිබෙනවා. මේ අයගෙන් කොටසක් සිරියානු යුද්ධයේදී මිය ගියා. එහිදී ලංකාවෙන් ගිය පළවෙනි අයිඑස් නායකයාත් මිය ගියා. පස්සේ අනෙක් සියලු දෙනා ලංකාවට ආවා. මේ ආපු අයගෙන් මොහොමඩ් සහරාන් හසීම් ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ආගමික දේශකයා නැතිනම්, සංවිධානයේ මතවාදය පිළිබඳ ව දේශන පවත්වන්නා ලෙස ක්‍රියා කර තිබෙනවා. ඒ අනුව ජාතික තවුහිද් ජමාද් සංවිධානය තුළ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය මානසික පරිසරය ගොඩනැඟිම සඳහා අවශ්‍ය මතවාදී ම ය පරිසරය ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා. පසුව ඔහු මේ සංවිධානයේ නායකයන් සමඟ ප්‍රශ්නයක් ඇතිකර ගන්නවා. ඊට පස්සේ ඔහු ඉන් ඉවත් ව අල්ගුරබා සංවිධානය පිහිටුවා ගන්නවා. මේ අල් ගුරබා සංවිධානයේ නායකයා වෙන්නේ මොහොමඩ් සහරාන්. ඔහු විසින් මේ සාමාජිකයන් අයිඑස් සංවිධානය වෙත යොමු කරනවා. එහිදී අවි පුහුණුව, බෝම්බ සැකසීම, මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ආකාරය ආදී ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය මනා පුහුණුවක් ලබා දෙනවා. පසුව මේ අය ලංකාවට එනවා. ඒ අය තමයි පසුගිය දින කිහිපය තුළ ඇති වූ ත්‍රස්ත ක්‍රියා සිදු කළේ.

මේ ත්‍රස්ත ක්‍රියාවෙන් පසුව ඇති වී තිබෙන තත්ත්වයට විසඳුම් සෙවීමේදී අපි අවධානය යොමු කළ යුත්තේ කුමන කාරණා පිළිබඳ ව ද?

මුලින්ම අප සතුව තිබෙන ශක්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. මොකද ලංකාව කියන්නේ වසර තිහක් ත්‍රස්තවාදයට මුහුණදී එය සාර්ථකව අවසන් කළ රටක්. අප ඊට මුහුණ දීමේදී පිහිටුවාගත් බොහෝම බලවත් ආරක්ෂක ජාලයක් අප සතුව තිබෙනවා. ඒවගේම අප මෙහිදී රැස් කර ගත් අත්දැකීම් සම්භාරය ඉතා ම වැදගත්. මේ කාර්යයේදී පොලීසියට විශාල වගකීමක් පැවරෙනවා. මොකද සිවිල් ජනතාව සමඟ ඍජු ව සම්බන්ධ වන්නේ ඔවුන්. ඊළඟට අප සතුව විවිධ බුද්ධි අංශ තිබෙනවා. ඔවුන්ටත් මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා. මේ ත්‍රස්ත ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කරන්න, තොරතුරු රැස් කරන්න ඔවුන්ට පුළුවන්. දැනටමත් ඔවුන් මේ කටයුත්තට ඉතා ම සාර්ථක ව අවතීර්ණ වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. මේ කටයුත්තේදී එය සාර්ථක ව කර ගැනීමට අවශ්‍ය වන අන්තර්ජාතික සහාය ඔවුන් වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ සිදු වීමත් සමඟ අන් කවරදාටත් වඩා සෙසු ලෝකය අපට සහාය දැක්වීමට උනන්දු වී තිබෙනවා. ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට අප කටයුතු කළ යුතුයි.

ඊළඟට ලංකාවේ තිබෙනවා හමුදාවක්. හමුදාව තුළ ත්‍රස්ත ක්‍රියා පිටුදැකීම සඳහා පිහිටුවා තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ තිබෙනවා, හමුදා බුද්ධි අංශය (DMI)ක්. අප සතුව ඇති මේ සංවිධාන තුනෙන් පොලීසිය විසින් ත්‍රස්තවාදී ක්‍රියා පිටුදැකීම සඳහා යොදා ගන්නේ ටී.අයි.ඩී සහ සී.අයි.ඩී එකයි. ඊළඟට ඔත්තු සේවා මඟින් ත්‍රස්තවාදය මර්ධනය කරන්නේ එස්.අයි.එස් එකයි. හමුදාවෙන් ත්‍රස්තවාදය මර්ධනය කරන්නේ ඩී.එම්.අයි එක යොදාගෙන. අපි දැන් මේ සංවිධාන තුන ම සක්‍රීය කරන්න ඕන. මොකද ලංකාවට තිබෙන බලපෑම හා අවධානම ඉතා ම විශාලයි. මේ සඳහා දේශපාලනඥයන් සියලුදෙනාගේ එකඟතාවෙන් නෛතික ආඥාවක් නිකුත් කර ඔවුන්ට ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන සියලු බලතල ලබාදිය යුතුයි. මේ ආයතන අතරින් ත්‍රස්ත ක්‍රියා පිටුදැකීමට ශක්‍යතාව ඇති දක්ෂතම ආයතනය හමුදා බුද්ධි අංශයයි. කාලයක සිට මානව හිමිකම් ආරක්ෂා කරමින් කටයුතු කරන්න කියල ලංකා රජයට බටහිර ලෝකයෙන් උපදෙස් දී තිබුණා. ඒ අනුව ක්‍රියා කිරීම නිසා මේ සංවිධාන කිසියම් ආකාරයකට අඩපණ වෙලා තියෙනවා. එනිසා එහි කිසියම් පසුබෑමක් තිබෙනවා. ඒ අඩුපාඩුකම් දුර්වලකම් මඟ හරවා‍ගෙන මේ තත්ත්වය මැඬ පැවැත්විය හැකි ලෙස උපරිම බලය නෛතික ව මේ ආයතන වෙත පැවරිය යුතුයි. ඒ වගේම මේ නිලධාරීන් තුළ විශ්වාසය ඇතිවන අන්දමින් ඔවුන් ශක්තිමත් කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. එහෙම වුණොත් විතරයි, මේ සංවිධානවලට ගැටලුවකින් තොරව මේ සඳහා මැදිහත් වී කඩිනමින් මේ තත්ත්වය පිටු දැකීමට හැකි වන්නේ.

මේ තත්ත්වයත් සමඟ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව තිබෙනවා. ආරක්ෂාවයි, ආර්ථික කඩාවැටීමයි අපි තුලනය කරගන්නේ කොහොමද?

මෙවැනි දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණාම අවුරුදු දහයකින් විතර රට ආපස්සට ගමන් කරනවා. ලංකාවේ ප්‍රධාන ධනෝපායන මාර්ගයක් වෙන්නේ සංචාරක ව්‍යාපාරයයි. ලෝන්ලි ප්ලැනට් (Lonely Planet | Travel Guides & Travel Information) කියන සංචාරක මාර්ගෝපදේශ සහ තොරතුරු ලබාදෙන ජාත්‍යන්තර ආයතනය; මීට මාස තුනකට ඉහත දී සංචාරකයකු විසින් සංචාරය කළ යුතු ලෝකයේ ඇති ලස්සන ම රට ලෙස ලංකාව හඳුන්වා දී තිබුණා. එහෙම කියල මාස තුනක් යන්න ලැබුණේ නැහැ. මේ මිලේච්ඡ ප්‍රහාරය එල්ල වුණා. ඉන් විදේශිකයන් 40කට ආසන්න පිරිසක් මිය ගියා. ඒවගේම තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ නිසා අපේ සංචාරක ව්‍යාපාරය ඉතා ම නරක ආකාරයට කඩා වැටුණා. ලෝකයේ ඕනෑ ම රටකට ආර්ථික සෞභාග්‍ය (economic prosperity) ළඟා කරගන්න පුළුවන් වෙන්නේ දේශපාලන හා සාමාජීය ස්ථාවර භාවයක් පැවතුණොත් පමණයි. ඒ තත්ත්වය ඇති කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ රටක පවතින ආරක්ෂාකාරී වාතාවරණයි. රටේ ආරක්ෂාවත් එක්ක මිනිස්සු සෙල්ලම් කළොත්, ඒ රටේ ආර්ථික සෞභාග්‍යය හෝ සමාජීය සෞභාග්‍යය ඇති වන්නෙත් නැහැ; දේශපාලන සෞභාග්‍යය ඇති වන්නෙත් නැහැ. එනිසා රටක ආරක්ෂක තත්ත්වය එක්ක දේශපාලඥයන් විහිළු කරන්න හොඳ නැහැ. මොකද තවුහීද් ජමාද් සංවිධානය පිළිබඳ හොඳ ම බුද්ධි තොරතුරු තිබුණේ හමුදා බුද්ධි අංශය සතුවයි. මේකෙන් කියැවෙන්නේ නැහැ, අනෙක් බුද්ධි අංශ මේ තොරතුරු නොදැන සිටි බව. නමුත් හොඳ ම තොරතුරු තිබුණේ හමුදා බුද්ධි අංශයේ. ඔවුන් අඩපණ නොකළා නම් මේ තත්ත්වය ඇති වන්නේ නැහැ.

මින් ඉදිරියට මොනවගේ පියවරවල්වලට ද අප යා යුතු වන්නේ?

දැන් රජය වහා කළ යුත්තේ මෙන්න මේ කරුණු පහ ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගැනීමයි.

පළවෙනි එක තමයි, බුද්ධි තොරතුරු ලබාදෙන සංවිධාන හා ආරක්ෂක ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම. එනම්; එස්.අයි.එස් (SIS), එස්.ටී.එෆ් (STF),ටී.අයි.ඩී (TID), සී.අයි.ඩී (CID) සහ එම්.අයි (MI) කියන ආයතනවලට අවශ්‍ය බලය ලබාදීමට කටයුතු කිරීම. ඒ වගේම ඊට සම්බන්ධ අනෙකුත් අායතන ශක්තිමත් කිරීමට පියවර ගැනීම. මේ ආයතනවලට බලය පැවරූ පමණින් අයිඑස් ත්‍රස්තවාදීන් නැතිවන්නේ නැහැ. නමුත් ඔවුන්ගෙන් රටට තිබෙන තර්ජනය අඩු වෙනවා. ඒ සඳහා මේ සංවිධානය මුළුමනින් ම කඩාකප්පල් කළ යුතු වෙනවා. දෙවැනි කාරණය, සංහිඳියාව ඇති කිරීම සඳහා වූ පනතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීම. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, බර්ගර්, මැලේ මේ ඔක්කෝට ම එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කිරීම මින් අපේක්ෂා කෙරෙනවා. මේ අයගෙන් කවුරු හරි මේ එකට ජීවත් වීමට නැතිනම් මිත්‍රත්වය බිඳ දමනව නම් ඒ අයට විරුද්ධ ව නඩුපවරා දැඩි දඩුවම් ලබාදිය හැකි පරිදි මේ පනත සකස් කළ යුතු වෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (prevention of terrorism act) මේ සඳහා පාවිච්චි කරන්න බැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙනව නම් පමණයි. ප්‍රහාර එල්ල කරන්න ඉස්සෙල්ලා මේ සංවිධාන හුඟක් දුරට කරන්නේ අන්තවාදී අදහස් මඟින් මිනිස්සුන්ගේ මනස විකෘති කර තම අදහස්වලට නම්මා ගැනීමයි. ඒක වලක්වන්න නම් දැඩි දඩුවම් ලබාදිය හැකි පනතක් ඇති කළ යුතුයි. කවුරු හරි තවකකුගේ ආගමක් සම්බන්ධයෙන් අන්තවාදී අදහස් පතුරවමින් ද්වේෂ සහගතව අගෞරව කළොත් වසර විස්සක පමණ කාලයකට සිරදඩුවම් නියම කළ යුතුයි. ඉන් නොනැවතී ඔවුන්ගේ සියලු දේපල රාජසන්තක කළ යුතුයි.

ලංකාව වගේ බහු ආගමික බහු වාර්ගික රටක මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න දෙන්න බැහැ. මේ අය හැමෝම එකට ජීවත් වෙන්න ඕන. ඒ සඳහා සංහිඳියාව සම්බන්ධයෙන් පනතක් (harmony act) හදන්න ඕන. ආගම හෝ ජාතිය මුල් කරගෙන සිදු කරනු ලබන වෛරී සහගත ප්‍රකාශ, ලේඛන (ප්‍රකාශන, සමාජ ජාල වෙබ් අඩවි) හා විවිධ ක්‍රියාකරකම් මැඬලීම සඳහා ඒවාට නඩු පවරමින් රජයට මැදිහත් විය හැකි අවකාශයක් මේ හරහා ඇති කර ගත යුතුයි. උදාහරණයකට ෆේස්බුක්වල කිසියම් කෙනෙක් එවැනි වෛරී සහගත ප්‍රකාශයක් හෝ ලේඛනයක් මුදා හැර ඇත්නම් පැය විසිහතරක් ඇතුළත ඒවා ඉවත් කිරීමට අදාළ ආයතනය සමඟ කටයුතු කිරීම වගේම අදාළ පුද්ගලයා හෝ සංවිධනය අත්අඩංගුවට ගත හැකි පරිදි මේ පනත සකස් කළ යුතුය. මොකද අද ජනතාව ජීවත් වන්නේ ලෝක දෙකක. එකක් සාමාන්‍ය ලෝකය; අනෙක අන්තර්ජාලය හරහා බිහිවී තිබෙන සයිබර් ලෝකය. අද තරුණ තරුණියන් බොහෝ දෙනා ඉන්නේ සයිබර් අවකාශයේ. ඔවුන් බොහෝ අදහස් උදහස් හුමාරු කරගන්නේ ඒ ඔස්සේයි. ඒ නිසා මේ සඳහා නව නීති අවශ්‍යයයි. තුන්වෙනි කාරණාව, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් (national education system) සකස් කිරීමට පියවර ගැනීමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, බර්ගර්, මැලේ මේ හැමෝට ම එක ම පාසලේ එකට අධ්‍යාපනය හදාරමින් වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කිරීමට පියවර ගත යුතුයි. මේ සියලු දෙනා තමන් ලාංකිකයන් කියන ආකල්පය ඇතිවයි ගොඩනැඟිය යුතු වන්නේ. වෙනම බෞද්ධ, හින්දු, ඉස්ලාම් විශ්වවිද්‍යාල ඇති කරන්න ඉඩදෙන්න බැහැ. එමෙන්ම විශ්වවිද්‍යාල තියෙනව නම් ඒවට ඉඩදෙනව නම් අනෙක් අයටත් ඒවට යන්න පුළුවන් පරිසරය ඇති කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කරන්න ඕන.

එහෙම වුණොත් මේ අය අතර හොඳ අනෙනෝන්‍ය සබඳතාවක් ගොඩනැඟෙනවා; සුහදත්වය ඇති වෙනවා. එවිට අවිශ්වාසය සහ වෛරය ඇති වන්නේ නැහැ. ඒවගේම ලංකාවේ අය විදේශගත ව අධ්‍යාපනය ලබනවා නම් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසරය ගන්න ඕන. මොකද සවුදි අරාබිය, පකිස්ථානය, යේමනය... ආදී රටවල්වල ත්‍රස්තවාදී අදහස් ඇති කරන පාසල් තිබෙනවා. ඒ අය මේ පසල්වලට යන එක නතර කරන්න ඕන. ඒවගේම ඒ වගේ රටින් ගිය අය ලංකාවට එද්දි ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරන්න ඕන. ඒ පරික්ෂණයේදී ඔවුන් අන්තවාදී මත දරණ බව සනාථ වුණොත් ඔවුන් පුණුරුත්ථාපනය කළ යුතුයි.

හතරවන කාරණය අන්තවාදී ආකාරයට කටයුතු කරන මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගන්න ඕන; ඔවුන්ව පුණරුත්ථාපනය කරන්න ඕන. මෙහි වගකීම ගන්න ඕන මුස්ලිම් නායකයන්. ඔවුන් රජය සමඟ එක් වී මේ අය පුණරුත්ථාපනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන. අපිට එල්.ටී.ටී.ඊ යේ 12000ක් පුණරුත්ථාපනය කර නිදහස් කරන්න පුළුවන් වුණා නම් මේකත් අමාරු නැහැ. මේ රටේ ඉන්නේ හරිම ලස්සන හොඳ ඉස්ලාම් භක්තිකයන් පිරිසක්. ඔවුන් තුළ අන්තවාදී අදහස් තිබුණෙ නැහැ. ඔවුන් සෙසු ජාතීන් එක්ක සාමකාමීව ජීවත් වුණා. නමුත් මැදපෙරදිග ඇති වී තිබෙන තත්ත්වය අපට පිළිගන්න පුළුවන් කමක් නැහැ. අද ලෝකය පුරා මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ ඔවුන් නිසා. මේ තත්ත්වය තෙරුම් ගෙන ලංකාවට කිසියම් මවුලවි කෙනෙක් එනවා නම් රජයේ ඔත්තු සේවය ඒ පිළිබඳ ව අවධානයෙන් ඉන්න ඕන. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මුස්ලිම් කවුන්සලයක් හදන්න ඕන. හිතන්න පුළුවන් මුස්ලිම් නායකයො මැදිහත් වෙලා කියන්න ඕන. මේ මවුලවි අල්කයිඩා එකට විරුද්ධ ව ප්‍රකාශයක් කරල තියෙනවා, මේ මවුලවි අයිඑස් එකට විරුද්ධව ප්‍රකාශයක් කරල තියෙනවා, ඔහු අනෙක් ආගම් ජාතීන් විවේචනය කරන්නේ නැහැ, මේ රටේ බහුවාර්ගික සංහිඳියාවට ඔහුගේ දේශනයෙන් බලපෑමක් වන්නේ නැහැ අාදී වශයෙන් සඳහන් කර ඔහු පිළිබඳ ව ලිඛිත වාර්තාවක් ඒ මුස්ලිම් කවුන්සලයෙන් ලබාදිය යුතුයි.

ඒවගේම මේ රටට එන්න කලින් ඔහු කරන්න බලාපොරොත්තු වන දේශනයේ පිටපතක් ගෙන්වා ගන්න ඕන.‍ කෙනෙක් ආගමික දේශනයක් සඳහා සහභාගි වෙනවා නම් ඔහු කරන දේශනය තුළ මෙය සිංහල, දෙමළ, ඉස්ලාම්, කතෝලික මිනිසුන් ජීවත්වන බහු වාර්ගික බහු සංස්කෘතික රටක් බවත්, ඒතුළ සහජීවනයෙන් ජීවත් වෙන්න ඕන කියන අදහස ගැබ්වෙන්න ඕන. එවැනි දේශකයන් සිය දේශනයන්වල පිටපතක් ලබාදීමට කටයුතු කරන්න ඕන. ඒ වගේම ඔහු කරන්නේ ඒ දේශනය ම ද කියල ඔත්තු සේවය විසින් සොයා බලන්න ඕන.

ඒවගේම මේ දේශකයන් වසර පහෙන් පහට තමන් කරන කාර්ය පිළිබඳව (දේශන) දැනුවත් කිරීමක් කරන්න ඕන. මේ විදියට මේ අවකාශය පාලනය කරමින් සංහිඳියාව පවත්වාගෙන යෑමට රජය පියවර ගන්න ඕන. ඔවුනුත් අගමික කටයුතුවලට ලබාදී තිබෙන ඉඩප්‍රස්තාව බොහෝම වගකීම් සහගතව හසුරුවන්න ඕන.

අවසාන කාරණය ලංකා රජය මුස්ලිම් නායකයන් සහ මුස්ලිම් සංවිධාන සමඟ ළඟින් කටයුතු කරන්න ඕන. මොකද හිතන්නෙ මතන්නේ නැතිව කටයුතු කරන සමහර සිංහල පිරිස් ඉන්නවා. ඒ අය මුස්ලිම් ජනතාව එක්ක තියෙන සුහදතාව පලුදු කිරීමට විවිධ කටකතා පතුරවමින් ඔවුන්ට පහරදීමට උත්සාහ කරාවි. එවිට මුස්ලිම් ජනතාව ප්‍රකෝපකාරී නොවී කටයුතු කිරීම සඳහා මුස්ලිම් නායකයන්ගේ සහය ලබාගත යුතුයි. ඒ වගේම ඒ පිරිසට පෙර සඳහන් කළ පනත හරහා දඩුවම් කළ හැකියි. මේ ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ මේ රටේ අපිත් එක්ක ජීවත් වුණු සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව නොව මැදපෙරදිග රටවලින් අන්තවාදී අදහස් රැගෙන ආපු මුස්ලිම් අය බව සෙසු ජනතාවට තේරුම් කර දිය යුතුයි. නියම ලාංකිකයෙක් මේ විදියේ ත්‍රස්ත ක්‍රියා සිදු කරන්නේ නැහැ. අහිංසක මනුෂ්‍යයකු මැරුවොත් මුළු ජාතියම මැරුවා හා සමානයි කියල ඉස්ලාම් ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා නියම ඉස්ලාම් ආගම අදහන කෙනෙක් මෙවැනි දේ කරන්නේ නැහැ. මෙන්න මේ අවබෝධය අප ජනතාවට ලබාදිය යුතුයි.

මෙහිදී ලංකාවේ දේශපාලනඥයන්ට පැවරී තිබෙන්නේ මොන වගේ කාර්යයක්ද?

මෙවැනි ජාතික ව්‍යසනයක් සිදු වූ අවස්ථාවකදී දේශපාලඥයන් සියලුදෙනා ලැජ්ජාසහගත ලෙස එකිනෙකාට දෝෂාරොපණය නොකර වගකීම් සහගතව කටයුතු කළ යුතු වෙනවා. මං කලින් කිව්ව විදියේ අනපනත් ගෙන ඒමට මේ අවස්ථාවේ ඔවුන් එකාවන්ව ක්‍රියා කළ යුතුයි. ලෝකයේ සෙසු රටවල මේ පනත් ගෙනැවිත් තිබෙනවා. ඇයි අපිටත් ඒවා හදාගන්න බැරි. මේක ජාතික ව්‍යසනයක්; මේ රට තුළ සිදුවන ක්‍රියාදාමයකින් ඔබ්බට ගිය ගෝලීය ත්‍රස්තවාදයක්. මෙවැනි අවස්ථාවක එක එක්කෙනාට ඇඟිල්ල දික්කිරීමෙන් ඵලක් වන්නේ නැහැ.

මේ ත්‍රස්ත ක්‍රියාව ජාතික ඛේදවාචකයක්. ඒ වගේම අපේ රටට කරපු අපහාසයක්. අපි වසර තිහක් තිස්සේ පැවති ත්‍රස්තවාදී යුද්ධයකට සාර්ථක ව මුහුණ දීපු රටක්. ඒවගේ රටකට මේ විදියේ ප්‍රහාරයක් එල්ල වෙනවා කියන්නේ ලොකු අපහාසයක්. ත්‍රස්තවාදය පිළිබඳ ව අනෙක් රටවල්වලට උපදෙස් දෙන්න පුළුවන් තත්ත්වයකයි අපි හිටියේ. ඒ නිසා දේශපාලඥයන් සියලු දෙනා මේ පිළිබඳ ව ඉතා වගකීම් සහගත ව බැරෑරුම් ව කල්පනා කර බලා කටයුතු කළ යුතුයි. මේ මිය ගිය ජනතාවට දක්වන්න පුළුවන් ලොකුම ගෞරවය එයයි.

රසික කොටුදුරගේ

Comments