ප්‍රතික්‍රියා දැක්වීමෙන් සිදු වන්නේ තවත් විනාශයක් පමණයි | සිළුමිණ

ප්‍රතික්‍රියා දැක්වීමෙන් සිදු වන්නේ තවත් විනාශයක් පමණයි

පසුගිය 21 වැනිදා තම ආගම ඇදහීම පිණිස දේවස්ථාන කරා ගොස් සිටි ජනතාවට එල්ල කළ බියගුලු ප්‍රහාරය ගැන අප ඇත්තෙන්ම කනගාටු වනවා. අල්පෙනෙත්තක් තරම් වූ ආයුධයක් නොමැතිව සිටි ජනතාව එසේ ඝාතනය කරන්න කටයුතු කර ඇත්තේ ඇත්තෙන්ම කිසිදු ආකාරයත මානුෂීය ආකාරයෙන් නොවේ. මෙරට ප්‍රධාන දේවස්ථාන 3ක් හා ප්‍රධාන පෙළේ හෝටල් 3ක් ඇතුළු ස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් සිදු කළ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් සිදු වූ විනාශය ඉතා දරුණුයි.

සිය ගණනක් ජනතාව මෙහිදී මිය ගියා. තවත් විශාල පිරිසක් තුවාල ලබා තවමත් රෝහල්වල ප්‍රතිකාර ගන්නවා. මේ ප්‍රහාරයෙන් ආර්ථිකයට සිදු වුණු හානිය අතිවිශාලයි. මේ සංවේගජනක අවස්ථාවේ අප කටයුතු කළ යුත්තේ කෙසේද?

මේ ප්‍රහාරය සම්බන්ධව අපට කල් ඇතිව දැනගන්නට ලැබී ඇතත් ඒ සම්බන්ධව වගකිව යුත්තන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. රටටම ලජ්ජාවට කරුණක්. පසුගිය යුද සමයේ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වලදී යුද්ධයට ගිය පිරිස් මිය ගියා. යුද්ධයකදී මිය යෑම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. එසේ යුද වැදී වුවත් අවසානයේ මොනවද ලැබුණේ? මේ අවබෝධයටයි අප පැමිණිය යුත්තේ. අශෝක රජු ඉන්දියාවේ අධිරාජ්‍යයක් ගොඩනංවාගැනීම පිණිස සටන් වැදුණා. කාලිංග යුද්ධයෙන් පසු ඔහුට මොනවාද ලැබුණේ? මිනිසුන්ගෙන් තොර භූමියක් පමණයි.

අප මේ අවස්ථාවේ බෞද්ධාගමික ක්‍රමවේදවලට අනුව කටයුතු කළ යුතුයි. මේ පිරිස් වියෝ වී හත් දවසක් ගත වීම සමරා අද (28) ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව පළමුව දැනුම් දිය යුතු වෙනවා.

එසේම ආගම්-ජාති භේදයකින් තොරව අප එක්ව මේ අවස්ථාවේ හැමට ආදරය කරුණාව දක්වන මනසක් ඇති කරගත යුතුයි.

බුදු රජාණන් වහන්සේගේ දේශනාව වූයේ ‘අත්තානං උපමං කත්වා - නහනෙයිය නඝාතයේ‘ (තමන් උපමා කරගෙන අනුන්ට උදෙසා කටයුතු කරන්න) යන්නයි. තමන්ට පහර දෙනවාට අකැමැති නම් ඒ ක්‍රියාව අනෙක් අයටත් කරන්න එපා.

සිදු වූ විනාශයේ තරම අප දන්නවා. ඒ තත්ත්වය දැක අප කටයුතු කළ යුත්තේ ඒ සඳහා ක්‍රියාවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නොවෙයි. ඒ මඟින් සිදු වන්නේ තවත් විනාශයක් පමණයි.

අප නිවෙසකට යන විට, එසේත් නැත් නම් මාර්ගයේ ගමන් කරන විට සුනඛයකු අපේ පාදයක් හපා කනවා. අපි පෙරළා සුනඛයාගේ පාදය හපා කන්නේ නැහැ. අපට සිදු වූ තුවාලයට බෙහෙත් දමාගන්නවා. අප දැන් කළ යුත්තේ එයයි.

එසේ නැතිව වෛර කිරීමෙන් කිසි දිනක මේ ගැටලුව විසඳාගන්න බැහැ. මේ රට බෞද්ධාගමික රටක්. බෞද්ධයන් ලෙස අප නිරතුරුවම කල්පනා කළ යුත්තේ ‘නහි වේරේන වේරාණී - සම්මන්තීච කුදාචනං‘ යන්න ගැනයි ‘වෛරයෙන් වෛරය කිසිදා සංසිඳෙන්නේ නැති බව අප දන්නවා. එය දුරු කළ හැක්කේ අවෛරයෙන්ම පමණයි. ඒ නිසා වැරදි කළ අයට දඬුවම් දීම ආරක්ෂක අංශවලට පවරා, අප අපේ දෛනික කාර්යයන් සිදු කරමින් රටේ සංවර්ධනය ගැන කටයුතු කළ යුතුයි. අප මේ අවස්ථාවේ විමසිලිමත්ව කටයුතු කිරීමත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වනවා. ආරක්ෂක අංශවලට සහාය දීම එහිදී ප්‍රධානයි. ඔවුන්ගේ පරීක්ෂා කිරීම්වලට සහාය දීම මෙන්ම යම් හදිසි අවස්ථාවල ඒ ස්ථානයට එක්රොක්ව ආරක්ෂක අංශවලට බාධා කිරීමෙන් වැළකීමත් එහිදී වැදගත්. මේ රටට යහපත් ආර්ථිකයක් ඇති කර ඉදිරියට ගෙන යෑමට නම් අප සියලු දෙනා එක්ව සහෝදරත්වයෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා.

හැම අවස්ථාවකම අප කල්පනා කළ යුත්තේ යම් ක්‍රියාවක් සිදු කළ හොත් එයින් මතු වන ප්‍රතිඵලය රටට මෙන්ම තමාට හා අනෙක් ජනතාවට ප්‍රයෝජනයක් ඇති වන්නේද යන්න පමණයි. එයින් යම් ගැටලුවක් හෝ අනෙක් අයට සිත් රිදවීමක් හෝ වන්නේ නම් එවන් ක්‍රියාවලින් වළකින ලෙස මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමයි.

Comments