අන්තවාදී අවි තිප්පොළ සමන්තුරෙන් අල්ලයි | Page 5 | සිළුමිණ

අන්තවාදී අවි තිප්පොළ සමන්තුරෙන් අල්ලයි

අන්තවාදී තව්හිත් ජමාත් සංවිධානයට අයත් පුපුරන ද්‍රව්‍ය ඇතුළු ත්‍රස්ත කටයුතු සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය රැසක් සඟවා තබා ඇති ගබඩා දෙකක් සමන්තුරේ ප්‍රදේශයේ නිවාස දෙකකින් සොයා ගැනීමට ආරක්ෂක අංශ පසුගිය (26) සිකුරාදා සවස සමත් විය. මෙම පුපුරණ ද්‍රව්‍ය කටුවපිටියේ බෝම්බ ප්‍රහාරකයා නැවතී සිටි බව කියන කටානේ නිවසේ සිට පසුගිය 11 වැනිදා ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර හඳුනා නොගත් පුපුරන ද්‍රව්‍ය. රසායන ද්‍රව්‍ය, ජෙල් වර්ග යකඩ බෝල විශාල ප්‍රමාණවයක් සහ එම බෝම්බ ප්‍රහාරයෙන් පසු නිකුත් කරන ලද වීඩියෝ පටයේ සහරාන් ඇතුළු කණ්ඩායම හැඳි සිටි ආකාරයේ ඇඳුම් ද , එම වීඩියෝවේ සටහන්ව තිබූ බැනරය ඇතුළු ද්‍රව්‍ය විශාල තොගයක් එහි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සිළුමිණට අනාවරණය කළේය.

මෙම ත්‍රස්තවාදීන් දෙවන ප්‍රහාරයක් සඳහා සූදානමින් මෙම ද්‍රව්‍ය සමන්තුරේ ප්‍රදේශයට ගෙනවිත් සඟවා තබන්නට ඇති බවට දැනට විශ්වාස කෙරෙන අතර මෙම ප්‍රහාරකයන් ඇතැම් ප්‍රහාර සැලසුම් කරන ලද බවට සැක කෙරෙන වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ නිවසක්ද මේ වනවිට අනාවරණය කරගෙන ඇත. එය ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරියකට අයත් වන අතර මෙම ප්‍රහාරකයින් ඔවුන්ගෙන් කුලී පදනම මත ලබා ගෙන ඇති බවද අනාවරණය වී ඇත.

මෙම නිවසේදී මිගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන ප්‍රහාරය සැලසුම් කරන ලද බවට තොරතුරු ලැබී ඇති අතර මේ සඳහා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සහ වනාතවිල්ලුව පුහුණු කඳවුර සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සාදීක් නම් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුද මූලිකත්වය ගෙන ඇති බව සඳහන් වේ. ඔහු මෙම නිවස කුලියට ගෙන ඇති අතර ඔහුගේ බිරිඳද සමඟ මෙම නිවසේ ගත කර ඇත. මීට අමතරව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන්ද කිහිප විටක්ම මෙම නිවසට පැමිණ ඇති බව හෙළිදරව් වී ඇත.

මෙහිදී හමුවූ පුපුරණ ද්‍රව්‍ය සහ වනාතවිල්ලුවේ දී හමු වූ පුපුරන ද්‍රව්‍ය අතර සමානකම් පවතින බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

පිපුරුම් මාලාවත් සමග කෙරුණු විමර්ශනවලින් මෙම අන්තවාදී සංවිධානයේ ක්‍රියාකාරී මට්ටමේ සාමාජිකයින් 200කට වැඩි පිරිසකගේ තොරතුරු හෙළිවී තිබිණි. ඒ අයගෙන් 100කට වැඩි පිරිසක් වනාතවිල්ලුව ඇතුළු රහස් කදවුරු කිහිපයක සටන් පුහුණුව ලබා ඇති බවත් ඔවුන්ගෙන් 10දෙනෙකුට ආසන්න පිරිසක් තුර්කිය හරහා සිරියාවට ගොස් පුහුණුව ලබා ඇති බවත් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

Comments