ළිප ගිනි මෙළවෙන අතරතුරේ ඇසෙන ඝාතකයන්ගේ නන් දෙඩවිලි! | සිළුමිණ

ළිප ගිනි මෙළවෙන අතරතුරේ ඇසෙන ඝාතකයන්ගේ නන් දෙඩවිලි!

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායක, සුපිරි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට හේතුව පැයට කිමී 175ක වේගයෙන් රිය පදවාගෙන පැමිණ අනතුරට ලක් වීමයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීම හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් ලෙස ඇතැමුන් දුටුවද අපගේ අදහස වන්නේ තම පාලන සමයේ සිදු වූ මේ කුප්‍රකට ඝාතනයේ වින්දිත පාර්ශ්වයට මෙයින් ඊටත් වඩා අපහසුතාවයක් සිදු වන බවයි.

හිටපු ජනපතිවරයා මේ තොරතුරු ප්‍රකාශ කළේ වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ දුරකතන වාර්තා විශ්ලේෂණයක් මඟින් තවත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පැවති අවස්ථාවකදීය. මීට වසර තුනකට පෙර මේ මරණය ඝාතනයක් බව උසාවියෙන් පවා තීන්දුවක් දී තිබියදී හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැලියකදී මේ පදනමක් නැති චෝදනාව සිදු කළේය.

ඝාතනයට ලක් වූ ක්‍රීඩකයාගේ සොහොයුරිය වන අයේෂා තාජුඩීන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කරමින් සිටියාය. තම සහෝදරයාට යුක්තිය ඉටු කිරීමේ උත්සාහයේදී තමන්ගේ පවුලේ අය ගෙවුණු වසර හත ඇතුළත බොහෝ දුක්-ගැහැටවලට මුහුණ දුන් බව ඇය කීවාය.

එහෙත් මේ සුපිරි ක්‍රීඩකයාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ මේ ප්‍රශ්නයට මැදි වූ පවුලේ අය වශයෙන්, අයේෂා සිය දිගු නිහැඬියාව බිඳිමින් අප සහෝදර 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පත වෙත සිය අදහස් පළ කළාය.

“මගේ සහෝදරයාගේ මරණය ඝාතනයක් බව උසාවියෙන් හා විද්‍යාත්මකව පැහැදිලිවම ඔප්පු වී තිබියදී එය රිය අනතුරකින් සිදු වූ බව තවමත් ප්‍රකාශ කිරීම විශාල අපහාසයක්.”

කොළඹ 05, පාර්ක් වීදියේ පැයට කිමී 175ක වේගයෙන් ගමන් කර අනතුරට ලක් නොවී ජීවත් විය හැක්කේ නයිට් රයිඩර් කෙනකුට පමණක් යැයි හිටපු ජනාධිපතිවරයා කුරුණෑගලදී කීවේය.

2012 මැයි 7 වැනිදා මියයන විට වයස අවුරුදු 28ක් වූ තාජුඩීන් ශාලිකා පිට්ටනිය අසල දැවී විනාශ වී ගිය සිය රථයේ රියදුරු අසුනේ නොව වම් පස මඟී ආසනයේ සිටියදී සොයාගනු ලැබිණි.

මේ මරණය රිය අනතුරකින් සිදු වූ බව පොලීසිය තීරණය කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරගේ වාර්තාව මේ තීරණයට උදවු කරගැනිණි. ක්‍රීඩකයාගේ රුධිරයේ ඇල්කොහොල් තිබූ බවත්, අනතුර නිසා ඇති වූ කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් මරණය සිදු වූ බවත් ඔහුගේ වාර්තාවට ඇතුළත් කෙරිණි. මෙසේ ක්‍රීඩකයාගේ පෙට්ටියට අන්තිම ඇණයත් ගසා දෑත් පිසදාගත් ඔවුන්ට වතුර උණු වන විට කකුළුවන්ට විඳීමට නියමිත අත්දැකීම ළඟා වන බව කල්පනා වූයේ නැත.

එවකට රටේ පළමු දරුවන් සහ තාජුඩීන් ක්‍රීඩකයා ප්‍රතිවාදී රග්බි කණ්ඩායම් ලෙස ක්‍රීඩාවේ නිරත වූ බැවින් එවකට පුවත්පත්වල ශීර්ෂ පාඨ මැවූ කටකතාවලට බඳුන් වූහ. දක්ෂ ක්‍රීඩකයකුට නිසගයෙන් හිමි අභිමානයෙන් පිරිපුන් මේ ක්‍රීඩකයා මෙලොවෙන් තුරන් කර-දැමීමට තරම් ඊර්ශ්‍යාපරවශ හැඟීම් හේතු වීදැයි නොදන්නෙමු.

කෙසේ වෙතත් 2015 මැතිවරණ වේදිකාවේ පොදු විපක්ෂයේ ප්‍රමුඛ පොරොන්දුවක් වූ තාජුඩීන් ඝාතන අභිරහස අනාවරණ කිරීමට නැවත පරීක්ෂණ ආරම්භ කෙරිණි. දීර්ඝ කාලයක් ඇදුණු පරීක්ෂණ නිමා කරමින් සිද්ධියේ සුල-මුල අනාවරණය වීමට පටන්ගැනීම පවුලේ අයගේ සැනසුමට හේතු වුවත් හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලයේ සිදු වූ මේ ඝාතනය ගැන මෙවැනි ප්‍රකාශයක් කිරීම තම පවුලේ තුවාලය මත ලුණු තැවරීමකට සමානයැයි අයේෂා තාජුඩීන් කීවාය.

“යුක්තිය සම්බන්ධව දැන් අපගේ එකම බලාපොරොත්තුව දෙවියන් පමණයි,” ඇය කියයි. “මෙවැනි ප්‍රකාශ සිදු කිරීම මඟින් මහින්ද රාජපක්ෂ තමන්ම මෝඩයාට ඇන්දෙනවා. මෙය ඝාතනයක් බව උසාවිය පැහැදිලි තීන්දුවක් දී තිබියදී ඔහු අනවශ්‍ය කතා ඇති කිරීමට උත්සාහ දරනවා,” ඇය වැඩිදුරටත් කීවාය.

අධිකරණය මෙය මිනීමැරුමක් බව තීන්දු කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරිණි. තාජුඩීන්ගේ මරණයට පෙර කලවා ඇට, ශ්‍රෝණි ඇට සහ දත් කැඩී ඇති බව සිරුරු කොටස් පරීක්ෂාවට ලක් කළ තිදෙනකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් තීණ්දු කළහ.

තාජුඩීන්ගේ මරණය වූ අවස්ථාවේ ඔහුගේ රථය හඹා යෑමට සුදු පැහැති ඩිෆෙන්ඩරයක් සම්බන්ධ බවත්, එය මෙරට හිටපු පළමු කාන්තාව වන ශිරන්ති රාජපක්ෂගේ පුණ්‍යායතනක් වන සිරිලිය සවියට අයත් එකක් බවට විශ්වාසදායක තොරතුරු ඇති බවත් නීතිපතිවරයා උසාවියට වාර්තා කළේය.

මරණය සිදු වූ රාත්‍රියේ නාරාහේන්පිට ප්‍රදේශයේ හුවමාරු වූ දුරකතන පණිවිඩ ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නාරාහේන්පිට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ ජනාධිපති ආරක්ෂක අංශයට අනුබද්ධව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අතර සිදු වූ සංවාද අවධානයට ලක් වූ අතර, සිද්ධිය වූ ස්ථානයට නුදුරින් තවත් එක් ජනාධිපති ආරක්ෂක අංශ නිලධරයකු සිට ඇති බවද අනාවරණය විය.

තාජුඩීන්ගේ ජංගම දුරකතන දත්ත මඟින් අනාවරණය වී ඇති පරිදි ඔහු අවසාන ඇමතුම ගෙන ඇත්තේ තම මිතුරකු වන සහ්රීන් රීෆ්ටය. ඒ මරණයට විනාඩි 30කට පමණ පෙර බවය. තමන්ගේ පිටුපස පහරදීම සඳහා පිරිසක් ලුහුබැඳ එන බව තාජුඩීන් දැනගෙන සිටි බව එයින් හෙළි විය.

නීතිවිරෝධි ආකාරයෙන් මරණයේ තොරතුරු සැඟවීම ගැන කොළඹ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට ගැනිණි. මරණයට පැයකට පෙර රාජගිරියේ පිහිටි ඔහුගේ නිවෙසේ සිට කොලොන්නාවේ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ.

2017 අගෝස්තු මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශිරන්ති රාජපක්ෂගෙන් සිරිලිය සවිය පුණ්‍යායතනයට සම්බන්ධ සුදු පැහැති ඩිෆෙන්ඩරය ගැන ප්‍රශ්න කරනු ලැබිණි. එදිනම මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිතගෙන්ද තාජුඩීන්ගේ මරණය සම්බන්ධ පැය පහක් තිස්සේ ප්‍රශ්න කෙරිණි. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා වූ වසීම් තාජුඩීන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකයාද විය. එවකට නාමල් සහ යෝෂිත ප්‍රතිවාදි නාවික හමුදා කණ්ඩායමට ක්‍රීඩා කළහ. රටේ හිටපු පළමු පවුලේ ක්‍රීඩකයන් සහ වසීම් තාජුඩීන් අතර ප්‍රතිවාදී හැඟීම් සහ ගැටුම් පැවැති බව කතාබහ වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වසීම් හඳුන්වන්නේ තමන්ගේ හිතවත් සහෝදර ක්‍රීඩකයකු ලෙසයි. දේශපාලන ප්‍රතිවාදීන් මේ මරණය දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරන්නේ යැයි ඔහු චෝදනා නඟයි.

මරණයෙන් පළමු වසර තුන ගත වන තෙක් පොලීසිය පවත්වාගෙන ආ මතය වූයේ තාජුඩීන් සාදයකට සහභාගි වීමෙන් අනතුරුව ගුවන්තොටුපළ දෙසට රිය පදවාගෙන යමින් සිටියදී රිය පාලනය කරගත නොහැකිව ශාලිකා ක්‍රීඩාංගණය අසල තාප්පයක ගැටීමෙන් රිය අනතුරකට ලක්ව මරණයට පත් වූ බවයි.

කෙසේ වෙතත් පාර්ක් රෝඩ් ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිව සිටින අය පවසන්නේ 2012 මේ සිද්ධිය වන්නට බොහෝ කලකට පෙරත් මේ කියන ස්ථානයේ තාප්පය කඩාවැටී තිබූ බවයි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී එස්ජීඒ හේවගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වය ඇතිව 2015දී අලුතෙන් මරණ පරීක්ෂණයක් ආරම්භ කෙරිණි. මෙහිදී අලුතින්ම අනාවරණය කරගත් කරුණු වූයේ තාජුඩීන් මරණයට පත් වීමට ප්‍රථම ඉතා කුරිරු ලෙස පහර දීමට ලක්ව ඇති බවයි. රග්බී ක්‍රීඩකයාගේ පාදවල, පපුව ප්‍රදේශයේ සහ බෙල්ල ප්‍රදේශයේ බහුවිධ තුවාල හමු විය. කලින් වාර්තාවේ කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් ඔහුගේ මරණය සිදු වූ බවට මහාචාර්ය සමරසිංහ සිදු කළ නිගමනය මේ නිසා පරස්පරවිරෝධ තත්ත්වයට ලක් විය. ඔහුගේ සිරුරේ තිබූ කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතයෙන් සැබැවින්ම අනාවරණය වූයේ ඝාතනය ඇත්ත වශයෙන්ම සිදු වී ඇත්තේ වාහනය ගිනි ගැනීමට මොහොතකට කලින් බවයි. 2012 වාර්තාව ඉදිරිපත් කළ මහාචාර්ය සමරසිංහ වැටුණේ හොඳම අමාරුවකය.

තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව පෙනෙන බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. මේ අනුව නාරාහේන්පිට හිටපු අපරාධ ස්ථානාධිපති සුමිත් පෙරේරා, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර යන අය ඝාතන ක්‍රියාවක් සැඟවීමේ චෝදනාව යටතේ සැකකරුවන් ලෙස නම් කළත් අපරාධයට සම්බන්ධ වූ බවට චෝදනාවට ලක් වූයේ නැත.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක ප්‍රකාශ කළේ තාජුඩීන්ගේ මරණය සිදු වූ අවස්ථාවේ නාරාහේන්පිට හිටපු ස්ථානාධිපතිවරයා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුරකතන ඇමතුම් රැසක්ම පැමිණ ඇති වග දුරකතන වාර්තාවලින් පෙන්නුම් කරන බවයි.

පරීක්ෂණවල ප්‍රධානතම තුරුම්පුව වූයේ WP KA 0642 දරන ඩිෆෙන්ඩර් රථයයි. ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයෙන් සිරිලිය සවියට පිරිනමා තිබූ මෙය මුලින්ම සුදු පැහැයෙන් පැවති අතර, ඉන් පසු වාර දෙකකදී නිල් සහ කළු පැහැයෙන් පාට මාරු කර ඇතැයි අනාවරණය විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙද්දී මූලික මානව අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය සමරසේකර තමන් අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමට තීන්දුවක් ගත්තේය. බිහිසුණු අපරාධ දේශපාලන වැල්ලෙන් වැසී-යන මෙවැනි අවස්ථාවල, සැබෑ අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමට අවශ්‍ය කරුණු අනාවරණ කරගැනීම අපහසු වෙමින් පවතියි. ඒත් හෘදයසාක්ෂියෙන් නැඟෙන චෝදනාවෙන් ගැලවීමට කාට වත් නොහැකිය. නොදැනීම වචනයෙන් පිට වන්නේ එවැනි අඳෝනා විය නොහැකිද?

ද ඹබ්සර්වර් පුවත්පතින් උපුටා ගැනුණකි.

Comments