
රටක දියුණුව මනින ප්‍රධාන මිනුම් දණ්ඩක් වන්නේ එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති දියුණුවයි. අපේ රටේ ප්‍රවාහන සේවාව අර්බුදකාරීය. දුම්රිය හා බස් රථ එකම ස්ථානයක හෝ ආසන්න ස්ථානයක ස්ථාපිත කරනවා වෙනුවට ඒවා තැන් තැන්වල ස්ථාපිත කිරීමට කාලයක් තිස්සේ අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලධාරීහු කටයුතු කළහ. කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල තිබුණු බස් නැවතුම්පොළ ගුණසිංහපුරයට හා බැස්ටියන් මාවත දක්වා ගෙන ගියේය.
බදුල්ල දුම්රිය ස්ථානය අසල තිබුණු බස් නැවතුම් පොළ කිලෝමීටර් 2ක් පමණ දුරකට ගෙන ගියේය.
ඒ අපේ ප්‍රවාහන විශේෂඥයන්ගේ අමන වැඩය.
මාතර දුම්රිය පොළ පිහිටියේ නගරයෙන් බොහෝ ඇතුළට වන්නටය. අනුරාධපුර දුම්රිය ස්ථානය එක් තැනකය. බස් නැවතුම්පොළ තව තැනකය. එම ස්ථානය දුර වැඩි බව සලකා නව බස් නැවතුම් පොළක් ඉදි කෙළේය. ඒ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2ක පමණ දුරකිනි. මේ අපේ රටේ පමණක් ක්‍රියාත්මක කරනු ලබන විසඳුම්ය.
එහෙත් කුමන හෝ හේතුවක් නිසා මේ ක්‍රමවිරෝධී ප්‍රවාහන අර්බුදයට තිත වැටී ඇත. දැන් ඒ ලෙසින් බස් නැවතුම් එක් ස්ථානයක් දුම්රිය පොළ තවත් තැනකත් ඉදි කරන්නේ නැත.
ජාතික ප්‍රවාහන ක්‍රමවේදයක් හරහා දැන් සිදු කරමින් පවතින්නේ බස් රථ පර්යන්ත දුම්රිය නැවතුම්පොළ මෙන්ම අනෙකුත් කුලී රථ පවා එක් ස්ථාකයක ස්ථාපිත කිරීමය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගෙන කොළඹ කොටුය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත්තේ ඒ අයුරින්ය. එවිට කොළඹ පිහිටි මැනිං වෙළෙඳ සංකීර්ණය හා අවට පිහිටි වෙළෙඳ සල් පවා ඉවත් කර මල්වත්ත පාර දක්වාම මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙනු ඇත.
මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉඳි කිරීමේ පළමු පියවර පසුගිය කාලයේදී මුහුදුබඩ මාර්ගයේ හබරාදූවෙන් අත්හදා බලන ලදී. ඒ අනුව හබරාදූව දුම්රිය ස්ථානය හා බස් රථ සේවාව එකම ස්ථානයකට ගෙනගොස් අනෙකුත් කුලී රථ සේවාද එහි ස්ථාපිත කරන ලදී. එසේම හබරාදූවේ නොනවත්වා ධාවනය කළ රුහුණු කුමාරි දුම්රිය ඇතුළු සියලුම දුම්රිය එහි නැවැත්වීමට කටයුතු කරන ලදී. මේ ආරම්භය අනුව පිටකොටුව, මහනුවර, බත්තරමුල්ල නගරයන් කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කොට ඇති අතර, එහි මූලික අදියර ලෙසින් කොට්ටාව - මාකුඹුරේ ඉඳි කළ බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය අද (මාර්තු 31) ජනතා අයිතියට පත්කෙරේ.
ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයත් සමඟම ප්‍රවාහන පර්යන්තයේ ස්ථාපිත මාකුඹුර දුම්රිය ස්ථානයද විවෘත කෙරේ. දුම්රිය ස්ථානය විවෘත කිරීමත් සමඟ කොළඹ කොටුව සිට හෝමාගම දක්වා සහ හෝමාගම සිට කොළඹ කොටුව දක්වා නව දුම්රිය සේවා දෙකක්ද ධාවනය අරඹනු ඇත.
මේ බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇත්තෙන්ම දුම්රිය බස් රිය අනෙක්තු වාහන පමණක් නොව සමස්ත ප්‍රවාහනයම එක් තැන් කරමින් බැංකු සේවා පහසුකම් ඇතුළු එදිනෙදා කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විතය.
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය නංවාලීම සඳහා නවීන ක්‍රමවේදයන් භාවිත කරමින් ඉදි වූ මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය ශ්‍රී ලාකේය සුහුරු ප්‍රවාහනයේ (ස්මාට්කරණය) නව යුගය ආරම්භ කෙරෙනු ඇත.
කුඩා මෝටර් රථ වැඩිපුර මාර්ගයට එක්කිරීම හෝ එකම දිසාවට අධික වාහන එක් කිරීම වැනි විසඳුම් ප්‍රායෝගිකව සාර්ථක වී නොමැති හෙයින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්මට අනුව එක් ප්‍රධාන අංශයක් වනුයේ සුහුරු නාගරික පද්ධතියට ගැලපෙන තිරසර ලෙස ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීම මේ අනුව අරඹන ලදී.
දිනෙන් දින වැඩිවන ජනගහනයට සාපේක්‍ෂව නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් නවවිද්‍යාත්මක ක්‍රමවේදයන් තුළින් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එය ඇරැඹුණු අතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අපට නවමු අත්දැකීමක් වනු ඇත.
මහානගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අන්තර්ජාතික ප්‍රමිතියට මෙරට ඉදි වූ ප්‍රථම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය වේ.
මෙහිදී බස්රිය, දුම්රිය සේවා සහ අනෙකුත් ප්‍රවාහන සේවාද එකම ස්ථානයකින් ලබාගත හැකි අතර තම වාහන නැවතීමේ පහසුකම්ද එහිදීම සිදු කර ගත හැකිය.
විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටවන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා දුම්රිය හෝ බස්රිය භාවිත කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට හැකිය. මෙම මධ්‍යස්ථානය දුම්රිය හා බස්රථ පර්යන්ත දෙකකින් සමන්විතය.
පරිසර හිතකාමී මෙන්ම සුහුරු සංකල්ප මත ඉදි කර ඇති මෙහි විධිමත් නඩත්තු හා කළමනාකරණ ක්‍රමවේදයක් ද ස්ථාපිත කර ඇත. සූර්ය බලශක්තිය මගින් සියලු බල ශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීම ද විශේෂත්වයකි. ප්‍රවාහන මධ්‍යස්ථානයේ වහලය මත ස්ථාපිත සූර්ය කෝෂ මගින් කිලෝවොට් 180 ක විදුලිය උත්පාදනය කෙරෙනු ඇත.
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ මූල්‍ය දායකත්වය මත රුපියල් බිලියන 2000 ක ආයෝජනයක් මේ සඳහා ලැබුණි.
විමසීම් කවුන්ටර කරා ගොස් තොරතුරු විමසනවාට වඩා තමන්ට ඉතා පහසුවෙන් බලා ගත හැකි ලෙසින් විද්‍යුත් පුවරු හරහා නිරන්තරයෙන් ප්‍රවාහන සේවා පිළිබඳ මඟී ජනතාව දැනුවත් කෙරෙනු ඇත.
එමගින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය ගැන විස්තර දැනගත හැකිවාක් මෙන්ම එම දුම්රිය හෝ බස් රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනීමටද හැකි වේ.
නව තාක්ෂණය අනුව සියලු කටයුතු මේ මධ්‍යස්ථානය හරහා සිදු කර ගත හැකි අතර අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් වෙන් කිරීම, දුම්රිය සහ බස්රියට එකම ප්‍රවේශ පතකින් ගමන් කළ හැකිවීම. ස්වයං ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුව, විධිමත් ලෙස ගමන් මලු ප්‍රවාහනය කිරීමේ පහසුකම්, විවේකාගාර, සනීපාරක්‍ෂක පහසුකම් මෙන්ම බැංකු පහසුකම්, ආපන ශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන, ආදී පහසුකම් රැසක් ලබා ගත හැකිය. අතිශය කාර්ය බහුල ජනතාවට මහ මගට ගතවන කාලය, කලට වෙලාවට තම ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම අනෙකුත් පහසුකම් නවීන තාක්‍ෂණය තුළින් සපුරා ගැනීමට හැකිවීම ජනතා ප්‍රතිලාභයන්ය.
මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට වසර 2025 පමණ වන විට සැහැල්ලු දුම්රිය සේවා පද්ධතියද හිමි වනු ඇත.
බහුවිධ මධ්‍යස්ථානය අපට ආදර්ශයක් වන අතරම රටකට විධිමත් නාගරික පද්ධතියක් ඇති කරන්නා සේම ඉදිරියේදී නිවාසේ සිටම තමන්ට අවශ්‍ය දුම්රිය බස් රිය වේලාවන් පිළිබඳව දැනගෙන නියමිත වේලාවට දුම්රිය ස්ථානය බස් රථ නැවතුම හෝ බහුවිධ ප්‍රවාහන ස්ථානය වෙත පැමිණිය හැකිය.
මඟී පැමිණිලි පවා පහසුවෙන් සොයා බලා කටයුතු කරන්නට මේ නව තාක්ෂණයද උපකාරී වනු ඇත.මේ වන විට මහරගමින් ගමන් ආරම්භ කරනු ලබන අධිවේගී මාර්ගයෙ බස් රථ රැසක් හා වෙනත් දුර සේවා බස් රථ සේවා රැසක් කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කිරීමටද නියමිතය.
අපි බස්රියෙන් දුම්රියෙන් හෝ ගමන යන්නේ කාලයට පුමුඛතාව ලබා දී නිසා මේ මධ්‍යස්ථානය වඩාත්ම අපට වැදගත් වන්නේ තම දෛනික කටයුතු පවා එහිදී සිදු කර ගත හැකි හෙයිනි.
එහෙත් බලධාරීන් කල්පනා කළ යුතු එක් කරුණක් ඇත. ඒ ප්‍රවාහන කටයුතු සම්බන්ධව මින් ඉදිරියේදී හෝ නිසි ජාතික ප්‍රතිපත්තියක් අනුව වැඩ කටයුතු කළ යුතු වීමයි. එසේ නොවුණහොත් දුම්රියෙන් හෝ බස්රියෙන් හෝ නොව පයින් යාමට සිදු වනු ඇත.