පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය යළි අර්බුදයක | සිළුමිණ

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය යළි අර්බුදයක

මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නට රාජපක්ෂ පවුල තීරණය කළ බවට ප්‍රචාරය වුවද ඒ පිළිබඳ රාජපක්ෂ පවුල තුළ හෝ ඒකාබද්ධ විපක්ෂය තුළ ස්ථිර එකඟතාවක් නැති වීම හේතුවෙන් ජනපති අපේක්ෂකත්වය පිළිබඳ යළිත් අලුත් මත ඉදිරිපත් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

‘වියත් මඟ‘ සංවිධානය ඇතුළු ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් පාර්ශ්ව ගණනාවක් ඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් පසුගිය දිනවල සංවිධානාත්මකව ඒ සඳහා සූදානම් වුවද, කිසිදු පාර්ශ්වයක ස්ථීර එකඟතාවක් නොවීම හේතුවෙන් යළිත් චමල් රාජපක්ෂ මහතාගේ නමද කරළියට පැමිණ තිබේ. මේ තත්ත්වයට එක් හේතුවක් ලෙස ඒ ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු නොකිරීම බවයි.

පසුගිය 15 වන සිකුරාදා චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිවෙසේදී මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, සමීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සාදයකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබුණද ඒ තීරණය ප්‍රකාශ වීමත් සමඟ විවිධ පාර්ශ්ව විපක්ෂ නායකවරයා හමුවේ විවිධ අදහස් ප්‍රකාශ කිරීම මේ තත්ත්වයට හේතු වී ඇති බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසයි. මෙලෙස පවුලේ අය පමණක් එක් වී පක්ෂ නායකත්වය පිළිබඳ තීරණ ගැනීම ගැන මහින්ද හිතවාදි පො.ජ.එ.පෙ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේද දැඩි දෝෂදර්ශනයට ලක් වී තිබෙන බවද ඒ ආරංචි මාර්ග අනාවරණය කරයි.

Comments