
මේ අය–වැයෙන් ජනතාවට දුන් දෙයක් නැහැ කියා ආණ්ඩුවට චෝදනා එල්ල වනවා...
මේ අය–වැය නිසා එක එක පක්ෂවල ආර්ථික මූලධර්ම පැහැදිලිව පෙන්න පටන් අරන් තිබෙනවා. එජාපයේ මූලධර්මය ධනවාදයයි කියලා බොහෝ අය කිව්වා. ඒත් අප සමාජ වෙළෙඳපොළ ආර්ථිකය හරියට අනුගමනය කරනවා කියලා මේ අය–වැයෙන් පැහැදිලිව ඔප්පු වී තිබෙනවා. මෙතෙක් කල් ජනතාව රවට්ටලා, ඔවුන්ගේ කර මතින් බලයට ආ අය ජනතාවට කළේ මොනවද? සාදුකින් පෙළෙන අය අදත් එහෙමමයි. හැබැයි නැඟිටපු කට්ටියකුත් හිටියා. ඒ තමයි තමන්ගේ පවුල් පරම්පරාවයි, තෝරාගත් කිසියම් පිරිසකුයි. දැන් පේනවා සාදුකින් පෙළෙන ජනතාව ඉලක්ක කරගෙන යමක් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කවුරුද කියලා.
අද පැවැත්වෙන ජාතික උත්සවය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළොත්...
‘හදවත් යා කරන රන් මාවත්’ සංකල්පය යටතේ දිවයින පුරා ඉදි කළ මාර්ග සහ පාලම් 200ක් ජනතා අයිතියට පත් වනවා. මෙහිදී මාවනැල්ල, හෙම්මාතගම, රඹුක්කන, අරණායක හොරේවෙල මාර්ග සහ මීගමුව කොච්චිකඩේ පාලම සංකේතාත්මකව අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරෙනවා. ඒ අතර නව ව්‍යාපෘති 250ක් ආරම්භ කිරීමට මුල්ගල් තැබීමේ කාර්යත් අද සිදු වනවා.
‘හදවත් යා කරන රන් මාවත්’ කියන සංකල්පය මඟින් සිදුව තිබෙන කාර්ය පිළිබඳව පැහැදිලි කළොත්...
මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය පොදු ජනතාව සලකන්නේ කොන්ක්‍රීට්, යකඩ සහ සිමෙන්ති එක්ක වැඩ කරන අමාත්‍යාංශ විදියටයි. මෙහිදී අප විශාල අධිවේගි පාරවල් සහ පාලම් ඉදි කරනවා වගේම සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කරවන ව්‍යාපෘති මොනවාද කියා සොයා බැලුවා. එතනදී අප දුටුවා ඉතා දුෂ්කර ගම්මානවල ජනතාව ඉතා අසීරුවෙන් ගමනාගමනයේ යෙදෙන ආකාරය. අපේ අමාත්‍යාංශයට පළාත් සභා සහ ප්‍රාදේශීය සභා පාරවල් අයිති නැහැ. ඒත් අප ඒවාටත් ප්‍රතිපාදන ලබාදීලා ක්ෂණිකව දියුණු කරන්න කටයුතු කළා. මේ නිසා පළාත් දෙකක් කොට්ඨාස දෙකක් යා වෙනවා.
ඒ වගේම ආර්ථික වශයෙන් ගත්තොත් තේදලු නෙළන අයට, රබර්කිරි කපන අයට, කිරි ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන කර්මාන්තශාලවලට ගෙනයන්න හරිහමන් පාරක් නැති ප්‍රදේශවල මාර්ග පද්ධති දියුණු කර, ඒ අයගේ කටයුතු පහසු කළා. නගරබදව ප්‍රධාන පාසල් කිහිපයකම ළමයි මාර්ග තදබදය නිසා හන්දිවල හිරවෙලා පාසලට නියමිත වේලාවට යාගන්න බැහැ. ඒ හන්දිවල අලුත් ට්රැෆික් ලයිට් සවි කර තාක්ෂණය යොදාගෙන ඒ කටයුතු පහසු කරන්නත්, අවශ්‍ය තැන්වල පාරවල් පළල් කරන්නත් පියවර ගත්තා. මාර්ගය අවහිර වන විදියට තැන තැන නවතා තිබෙන වාහන විශේෂ රථගාල් ඉදි කර ගාල් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. මේ දේවලින් තප්පර ගණනක් හරි අපි ඉතිරි කරගත්තාම එක තත්පරේට කෝටි ගානක් මුදල් අපට ඉතිරි කරගන්න පුළුවන්. මේ කරන දේවල ප්‍රතිලාභ දවසින් දෙකෙන් ලැබෙන්නේ නැහැ. මේ ප්‍රතිලාභ ජනතාවගේ ඇඟට දැනෙන්න මාස ගණනක්, අවුරුද්දක් යාවි. පැය දෙකක්-දෙකහමාරක් මඟතොටේ ගත කරන අම්මකුටයි දරුවකුටයි ඒ පැය දෙක ඉතිරි කරගෙන එකට ඉන්න වැඩි කාලයක් ලැබෙනවා. ‘හදවත් යා කරන රන් මාවත්’ කියන තේමාව මේ සඳහා උචිතයි කියා අප සිතුවේ ඒ නිසයි.
ඒත් තමන් බලයේ හිටියා නම් මධ්‍යම අධිවේගි මාර්ගය මේ වෙද්දී හදලා ඉවර කරනවා කියලයි මහින්ද මහත්තයා නම් කියන්නේ...
2001 වසරේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි කොළඹ දක්ෂිණ අධිවේගි මාර්ගයට මුල්ගල තිබ්බේ. 2005 මහින්ද මහත්තයා බලයට ඇවිත් 2007-8 කාලයේ තමයි ඒක ඉදි කරන්නේ. ඔහු 2015 වනකල්ම මේ රටේ ඉදි කර තිබුණේ කිමී 183යි. ඒත් 2015 අපි බලයට ඇවිත් වසර 3ක් ගත වන විට කිමී 185ක් ඉදි කළා. දක්ෂිණ අධිවේගි මාර්ගය මත්තල දක්වා කිමී 96යි. මධ්‍යම අධිවේගයේ සීපී 1, සීපී 2 මාර්ග 2 කිමී 123යි. ඊළඟට
සීපී 3, සීපී 4 හෙට–අනිද්දා පටන් ගන්නවා. පිටත වටරවුම් පාර කිමී 9.2ක් සම්පූර්ණ කළා. රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු කොටසේ වැඩ ආරම්භ කිරීමට අය-වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. කුලුනු මත ඉදි කරන අධිවේගි මාර්ග දෙකක්: එකක් ඔරුගොඩවත්තේ සිට කොළඹ වරාය හරහා. අනෙක කැලණියේ සිට රාජගිරිය දක්වා ආරම්භ කිරීමට කටයුතු සූදානම්. කැලණියේ අලුත් පාලමේ කටයුතු සම්පූර්ණ වෙමින් තිබෙනවා. නුවර සහ කිරුළපන ගුවන් පාලම් දෙකක් පටන් ගන්නවා. බදුලු-චෙන්කලඩි පාර කාපට් කරමින් පවතිනවා. උතුරු–නැඟෙනහිර දෙපළාත් යා කෙරෙන කෝකිලායි පාලම ඉදි කෙරෙනවා. මේ ඔක්කොම අවුරුදු 3ක කාලය තුළ තමයි අප කළේ. ඊට අමතරව ඒකාබද්ධ ග්‍රාමීය ආයෝජන වැඩසටහන යටතේ පළාත්සභා සහ පළාත්පාලන මාර්ග මේ වන විට ඉදි කරමින් තිබෙනවා. දකුණු, මධ්‍යම, උතුරුමැද, වයඹ, සබරගමුව, කළුතර දිස්ත්‍රික් 6ක කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් ග්‍රාමීය පාරවල් 741 සම්පූර්ණ කරා. මේ වෙද්දි ග්‍රාමීය මාර්ග කිමී 3130ක් අවසන් කර තිබෙනවා. ඉතිරි පළාත් වන ඌව, නැඟෙනහිර, උතුර, බස්නාහිර කිමී 3,404ක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර තියෙනවා. එහෙම බැලුවාම මහින්ද මහත්තයා අවුරුදු 10ක් බලයේ සිට කළ වැඩවලට වඩා වැඩි ප්‍රමාණයක් අප මේ වසර 3ක කාලය තුළ සිදු කර තිබෙනවා. හැබැයි අප ඔහු වගේ අඬබෙර ගහන්න ගියේ නැහැ!
මේ ඉදිකිරීම්වලට ඉඩම් පවරාගැනීමේදී අදාළ ගෙවීම් නිවැරදිව සිදු කරනවාද?
රාජපක්ෂ ආණ්ඩුව තියෙද්දී පොලීසියටයි හමුදාවටයි අමතරව මැරයො දම්මලා මිනිසුන් එළවලා බලෙන් තමයි ඉඩම් පවරාගත්තේ. 2012-13 වසරවල නගර 53ක මිනිසුන්ගේ ගෙවල් කැඩුවා; ඉඩම් ගත්තා. ඒ අයගෙන් කොටසකට විතරයි වන්දි ගෙව්වේ. ඒත් නගර 26ක මිනිස්සුන්ට තඹ සතයක් ගෙවුවේ නැහැ; පැය 24ක් ඇතුළත අමානුෂික විදියට ගෙවල්වලින් එළියට ඇදලා දැම්මා. මගේ අමාත්‍යාංශයට 2015දී ගෑනු ළමයෙක් ඇවිත් එයාලට වන්දි ගෙව්වේ නැහැ කියලා පැමිණිලි කළා. බදුල්ලේ තැනක පාර පළල් කරද්දී ඒ ළමයාගේ ගෙයි ඉදිරිපස බලෙන් කඩලා. එතකොට ඇය ගැබිනි මවක්. ඇය ටවුමට ගිහින් ගෙදර එද්දී ගෙයි ඉදිරිපස කඩලා දාලා. ඒ කැඩුණු කොටසකින් එළියට ආපු කරන්ට් වයර්–එකක ඇගේ අත වැදිලා, ලැබෙන්න හිටපු දරුවා මිය ගිහින් තිබුණා. මේ පරම්පරාවට විතරක් නොවෙයි; නූපන් පරම්පරාවටත් ම්ලේච්ඡ තුච්ඡ වැඩ කරපු ආණ්ඩුවක් ඒක. ඒවාට අණ දුන්නේ කවුරුද කියලත් මේ රටේ ජනතාව දන්නවා. ඒ දවස්වල බයට කවුරුවත් කට ඇරියේ නැහැ. අද අපේ පොඩි දේත් ලොකු කර කෑගහන මාධ්‍ය එදා පණ බයේ හිටියේ. ඒවගේ සිත්-පිත් නැති අමානුෂික දේවල් අප කරලා නැහැ. අප අධිවේගි මාර්ග හදද්දී ඉඩම් කට්ටි 7,100ක් පවරාගත්තා. ඒ හැමෝටම වන්දි ගෙවන්න අප කටයුතු කළා. 2015 සිට මේ වන තෙක් රු. කෝටි 5,500ක පමණ මුදලක් අප ඒ අයට ගෙවා තිබෙනවා. ඒ මුදලින් රු. කෝටි 3,500කට වැඩි මුදලක් අප ගෙව්වේ රාජපක්ෂලා බලෙන් පවරාගත් ඉඩම්වලට. ඔවුන්ගේ පරණ පව් අපියි ගෙව්වේ. ඒ විදියට අප මිනිසුන් සමඟ ඉතා සමීපවයි කටයුතු කරන්නේ. මේ මාහාමාර්ග ව්‍යාපෘතියට ‘හදවත් යා කරන රන් මාවත්’ කියා නම දැම්මේ ඒ නිසා.
ඔබ ඔහොම කිව්වත් රටේ ජනතාව අහන්නෙත්; විපක්ෂය අහනවා වගේ ‘මේ ආණ්ඩුව මොනවාද මෙච්චර කල් කළේ?’ කියලා...
මං ඒක පිළිගන්නවා. පොදුජනයාගේ හදවත් තුළ ආණ්ඩුව ගැන තිබෙන අනවබෝධයට එක පැත්තකින් අප වගකියන්න ඕන. ඒත් අප මේ වැඩ කොටස කරද්දී ඒ වැඩේට මුල්තැන දුන්නා මිස අඬබෙර ගහන්න ගියේ නැහැ. අනෙක අප අසීමිත මාධ්‍ය නිදහසක් දුන්නා. මේ රටේ මොනවාද වන්නේ කියා හොයා බලන්න ඒ අයටත් යුතුකමක් තිබෙනවා. අද කරන්නේ තමන්ගේ කටවල් වහපු, සුදුවෑන් එවපු, තමන්ව බිය වද්දපු උදවිය උඩ දමමින් මාධ්‍යවේදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස දිනා දුන් ආණ්ඩුවට උඩ පැන පැන ගහන එක! අපේ වැරදි තිබෙනවා නම් ඒවා පෙන්වන්න. ඒක තමයි මාධ්‍ය නිදහස කියන්නේ. ඒ වගේම අප කරන හොඳ දෙවල් ගැනත් කියන්න ඕනෑ. අප කරන දේවල් මිනිසුන්ට දැනෙනවා වගේම පේන්නත් ඕන. ඒත් ජනතාව අවබෝධයෙන් ඉන්නවා නම් තමන්ගේ ගම්වලට මොනවාද පසුගිය ටිකේ වුණේ? දැන් මොනවාද වන්නේ? කියලා, අපට අනවශ්‍ය ප්‍රචාරණයක් අවශ්‍ය නැහැ. සීමිත පිරිසක් ඉන්නවා මේ දීපු නිදහස වැරදි විදියට පාවිච්චි කරන. විපක්ෂයේ කෙනකු ආණ්ඩුවට මඩගැහැව්වොත් ඒක පොල්ගෙඩි අකුරින් මුල් පිටුවේ පළ වනවා. ඇමැතිවරුන් දෙන්නකු ගහගත්තාම ඒකත් මුල් පිටුවට එනවා. හැබැයි ළමයි 4,500,000කට රක්ෂණාවරණයක් දුන්නා කිව්වාම ඒක පළ වන්නේ ඇතුළු පිටුවල! ඒකෙන් පේන්නේ ඒ මාධ්‍ය තමන්ගේ යුතු කමයි වගකීමයි හරියට ඉටු කරන්නේ නෑ කියන-එකයි. ඒ නිසා අප මාධ්‍යයෙන් ඉල්ලන්නේ අප කරන නරක දේ වාර්තා කරනවා වගේම හොඳ දේත් වර්තා කරන්න කියලයි.
ඉදිරියේ එන මැතිවරණ ආණ්ඩුවට අභියෝගයක් වී තිබෙන බව පේනවා...
අපට එහෙම කිසිම අභියෝගයක් නැහැ. රාජපක්ෂ උන්නැහෙට බලයක් තිබෙනවා නම් ඔක්තෝබර් මාසේ 26 වැනිදා පස්සෙ දොරින් හොරෙන් ඇවිල්ලා, මිරිස්කුඩු ගහලා බලය අල්ලන්න යන්නේ නැහැ; මහත්මයකු වගේ ඇවිත් එයාගේ බහුතරය පාර්ලිමේන්තුවේදී පෙන්වන්න තිබුණා. අවුරුදු ගණනාවක් තිස්සේ අපව ගෙදර යවනවා කිය-කියා ඉන්නවා. අන්තිමට අය-වැයෙන් ගෙදර යවනවා කිවුවා. ඊට පස්සේ වැය ශීර්ෂ ගැන කියලා ජනාධිපතිවයි ආණ්ඩුවයි කොටවන්න බැලුවා. දැන් ජීනිවා ගැන එක එක බිල්ලන් මවනවා. ඒකත් ඉදිරියේදී පුස්සක් වේවි.