
ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය 3 වැනිදා එස්. එස්. සී. පිටියේදී අවසන්වෙයි. සුලෝහිත සංග්‍රාමය ලෙස ප්‍රකට මෙකී තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 90 වැනි වරටය. මෙවර ආනන්ද කණ්ඩායම කමේෂ් නිර්මාල්ගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙන අතර, නාලන්දා කණ්ඩායම ලක්ෂිත රසාංජනගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි. පසුගිය වසරේ පැවැති මහා තරගයද ජය පරාජයෙන් තොරව අවසන් විය.
පළමු ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය 1924දී පවත්වා තිබෙන අතර එහිදී ආනන්ද කණ්ඩායම ආර්. එස්. රාජකරුණාගේ නායකත්වය යටතේ සහ නාලන්ද කණ්ඩායම බී. එස්. පෙරේරාගේ නායකත්වය යටතේ තරග කර තිබේ. එකී තරගයද ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.
මේ තරග ඉතිහාසයේ පළමු ජය හිමිකර ගෙන ඇත්තේ නාලන්ද කණ්ඩායමයි. ඒ 1925 පැවැති දෙවැනි තරගයේදීය. බී. එස්. පෙරේරා නාලන්ද කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන අතර, එන්. එම්. පෙරේරා ආනන්ද කණ්ඩායමේ නායකත්වය දරා තිබේ.
ආනන්ද කණ්ඩායම හාපුරා කියා මහා තරගයක් ජය ගෙන ඇත්තේ 1926 පැවැති තෙවැනි තරගයේදීය. ඒ අනුව එතෙක් මෙතෙක් පැවැති තරග 89 දී ආනන්ද කණ්ඩායම තරග 12 ක් ජය ගෙන තිබෙන අතර නාලන්ද කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග හයකි. නාලන්ද කණ්ඩායම 1953 දී අවසන් වරට ඩබ්. ඩබ්. සිල්වාගේ නායකත්වය යටතේ ජය ගෙන ඇති අතර ආනන්ද කණ්ඩායම අවසන්වරට 2003 දී ජය ගෙන ඇත්තේ ඩී. කරුණාරත්නගේ නායකත්වය යටතේය. දෙවැනි ලෝක යුද සමයේ 1942 - 44 සහ 48 දී මහා තරගය පවත්වා නැත.
ආනන්දයට 12 යි - නාලන්දට 6 යි
මෙකී තරග ඉතිහාසයේ හතරවතාවක් නාලන්ද කණ්ඩායම වෙනුවෙන් පිය පුතුන් මහා තරගයක නායකත්වය දරා තිබේ. 1929 දී නෙල්සන් කරුණාරත්න සහ 1978 දී සුරංජිත් කරුණාරත්න හාපුරා කියා මෙකී ඉතිහාසයට එක්ව ඇති අතර, 1971 දී බන්දුල වර්ණපුර, 2004 දී මධුර වර්ණපුර සහ 2008 දී මාධව වර්ණපුර අවසන් වරට මේ තරග ඉතිහාසයට එක්ව ඇති පිය පුතුන්ය. ඉන්පසු ඉතිහාසයට ආනන්ද පිය-පුතු යුගලක් හෝ ඇතුළත් නොවීමද විශේෂත්වයකි.
සහෝදරයන් මහා තරගයක නායකත්වය දැරූ අවස්ථා හතක් මෙකී තරග ඉතිහාසයේ හමු වේ. 1949 දී නෙල්සන් පෙරේරා, 1960 දී ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ 1962 දී අශෝක පෙරේරා නාලන්ද කණ්ඩායම වෙනුවෙන් හාපුරා කියා නායකත්වය දැරූ සහෝදරයන් ලෙස වාර්තා වේ. අවසන් වරට ද නාලන්ද කණ්ඩායමේ මධුර වර්ණපුර 2004 දී සහ මාධව වර්ණපුර 2008 දී නාලන්ද කණ්ඩායම වෙනුවෙන් නායකත්ය දරා තිබේ. ආනන්ද කණ්ඩායම වෙනුවෙන් 1968 සුනිල්, 1970 මිත්‍ර සහ 1975 දී සිදත් වෙත්තමුණි සහෝදරයන් නායකත්වය දරා තිබේ. 2007 දී දිනේෂ් චන්දිමාල් සහ මෙවර කමේෂ් නිර්මාල් ආනන්ද කණ්ඩායමේ නායකත්වය කරයි.
කණ්ඩායම් දෙකටම සහෝදරයන් ක්‍රීඩා කළ අවස්ථා පහක්ද මෙකී තරග ඉතිහාසයේ හමුවෙයි. 1924 නාලන්ද කණ්ඩායමට එෆ්. අමරසූරිය ක්‍රීඩා කර තිබෙන අතර, බී. අමරසූරිය 1929 දී ආනන්ද කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ. අවසන් වරට මෙසේ දෙපිලටම ක්‍රීඩා කළ සහෝදරයන් වන්නේ මතීෂ පෙරේරා 2008 දී ආනන්ද කණ්ඩායමට සහ අෂාන් ප්‍රියංජන පෙරේරා 2007 - 08 දී නාලන්ද කණ්ඩායමටද ක්‍රීඩා කර තිබේ. මුල්ම ශතකලාභියා නාලන්ද කණ්ඩායමේ පී. එම්. ජයතිලකයි. ජයතිලක 1929 දී ලකුණු 111 ක් රැස් කර තිබේ. අවසන් ශතකලාභියා කමේෂ් නිර්මාල්ය. ආනන්ද පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 1999 දී තිළිණ කණ්ඩම්බි රැස් කළ ලකුණු 144 යි. නාලන්ද පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 1997 දී ශාන්ත කලවිටිගොඩ නොදැවී රැස් කළ ලකුණු 149 යි.
හොඳ සටනක් දෙනවා

- කමේෂ් නිර්මාල්
ආනන්ද නායක
මුල් තරගවල දී අපිට එතරම් දක්ෂතා අතරට එන්න ලැබුණේ නෑ. ඒත් අපි පළමු අදියරේ පසු බැස්සේ නෑ. පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරලා දක්ෂතා අතරට ආවා. අවසන් තරගවලදි අපට උපරිමයට එන්න පුළුවන් වුණා.
මේ අවුරුද්දේ නවකයන් වැඩියෙන් කණ්ඩායමට එකතු වුණා. පළපුරුදු ක්‍රීඩකයන් විදියට ගිය අවුරුද්දේ මහා තරගවලට ක්‍රීඩා කළ හතර දෙනයි හිටියේ. එක පාරම නවකයන් කණ්ඩායමට එකතු වුණාම කණ්ඩායම හදාගෙන දක්ෂතා අතරට එන්න ටිකක් කල් යනවා. ඒ නිසා තමයි පසු බෑමකින් මේ වසර අපට පටන් ගන්න සිද්ධ වුණේ.
මමයි, කණිෂ්ක, චාමික සහ කවිඳු තමයි පළපුරුදු අය විදියට කණ්ඩායමේ ඉන්නේ. පළමු අදියරේ අපිට දක්ෂතා අතරට එන්න බැරි වුණත්, නවකයන් සහ ජ්‍යෙෂ්ඨයන් තමන්ගේ තියෙන දක්ෂතා උපරිමයෙන් දක්වලා අවසන් තරග හත විතර වෙන කොට අපි කණ්ඩායමක් විදියට ඉදිරියට එන්න පුළුවන් වුණා.
අපි මේ තරගවාරයේ තරග 18 කට ඉදිරිපත් වුණා. මේ තරග 18 දී අපි කණ්ඩායමක් විදියට දක්ෂතා දැක්වුවා. අපේ කණ්ඩායමේ මම තමයි වැඩිම ලකුණු ලාභියා වුණේ. පන්දු යවන්නන්ගෙන් ජනිඳු ජයවර්ධන වැඩිම කඩුලු ලාභියා වෙනවා.
අපි මහා තරගය සැලසුම් කරන්නේ එදා දවසේ වැරැදි අඩුවෙන් ම කරලා තරගය ජය ගන්න තමයි උත්සාහ කරන්නේ. අපි වැරැදි අඩුවෙන් කරන තරමට මේ මහා තරගයේ ජයග්‍රාහි මාවතට යන්න ලෙහෙසි වෙයි කියලා විශ්වාස කරනවා.
මහා තරගයේදී ජ්‍යෙෂ්ඨයන් ගැන ලොකු බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා. මේ ජ්‍යෙෂ්ඨයන්ට තමයි මහා තරගය ගැන පළපුරුද්ද තියෙන්නේ. මහා තරගයක් කියන්නේම විශාල පීඩනයක්. මේ පීඩනයට මුහුණ දෙන්න ඕන විදියට ඔවුන් දන්නවා. නවක ක්‍රීඩකයන්ට මහා තරගයක් කිව්වාම ලොකු පීඩනයක් වැටෙනවා. මේ පීඩනය මගේ පළමු වැනි අවුරුද්දේ මටත් තිබුණා. මොනවා වුණත් අපි ලොකු විශ්වාසයක් තියාගෙන මේ තරගයට යන්නේ. අපි හොඳ සටනක් දෙනවා.
මගේ අත්දැකීම් එක්ක මේ තරගය හොඳට කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මගේ හතරවැනි මහා තරගය. මගේ පළමු මහා තරගය මට බයක් තිබුණ. වටේ කී දෙනෙක් හිටියත් අපි ග්‍රවුන්ඩ් එක මැදට ගියාම තනි වෙනවා.
ඊට පස්සේ අවුරුදුවලදී මට එතරම් වෙනසක් දැනුණේ නෑ. මට ලොකු බලපෑමක් නෑ. මම තවත් තරගයක් විදියට හිතලා එදා දවසේ ක්‍රීඩා කරනවා. පළමු අවුරුද්දේ ක්‍රීඩා කරන කොට මට වයස අවුරුදු දහසයයි.
මම ඉස්සෙල්ලාම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් ආරම්භ කරන්නේ. අට වසරේ දී තමයි ආනන්ද විද්‍යාලයට එන්නේ. ඒ ඇවිත් අවුරුදු 15න් පහළ බී කණ්ඩායමට ක්‍රීඩා කළා. එතැනින් තමයි ඉදිරියට ආවේ.
ධර්මාශෝකයෙන් ආනන්ද විද්‍යාලයට ආවේ. ක්‍රිකට් නිසා තමයි අයියා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළෙත් ආනන්ද විද්‍යාලයට. අයියාගේ ආභාෂයත් එක්ක තමයි ක්‍රිකට්වලින් ඉදිරියට ආවේ.
මහා තරගයේ විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ගිය අවුරුදු දෙකේදීම අපි එක්දින තරග දෙකම පරාද වුණා. මේ පාර මගේ නායකත්වය යටතේ එක්දින තරගාවලි ජයග්‍රහණය අරගෙන දෙන්න. අවසන් වරට අපි ආනන්ද විද්‍යාලය මහා තරගයක් දිනලා තිෙබන්නේ 2003 දී.
අපිත් අත්හරින්නේ නෑ

- ලක්ෂිත රසාංජන
නාලන්ද නායක
අපි මේ තරගාවලිය හොඳටම අවසන් කරලා තමයි මහා තරගයට එන්නේ. ලිග් පාසල් ක්‍රිකට් තරගාවලියේ අපි ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙනවා. තරග 16 යි. ජයග්‍රහණ හයයි. පළමු ඉනිමේ ජයග්‍රහණ හයයි.
කණ්ඩායමක් විදියට අපි සියලුම දෙනා මේ තරග වාරය ඉතාමත් හොඳට කරගෙන යනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ හත්දෙනෙක් ඉන්නවා. මේ හත් දෙනාගෙන් වර්ණලාභීන් පස් දෙනෙක් ක්‍රීඩා කරනවා. අපි ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ ජ්‍යෙෂ්ඨයෝ - නවකයෝ කියලා හිතන්නේ නෑ. ටීම් එකක් විදියට එක වගේ ක්‍රීඩා කරනවා. ත්‍රිත්ව සහ ශාන්ත අන්තෝනි විද්‍යාල අතර තරග දෙක තමයි තියුණු මුහුණුවරක් ගත්තේ.
මම තමයි මේ තරග වාරයේ අපේ කණ්ඩායමේ වැඩිම ලකුණු සහ කඩුලු ලබා ගෙන තියෙන්නේ. ඊළඟට වැඩියෙන් ම විකට් අරගෙන තියෙන්නේ කවිෂ්. අවිශ්ක පෙරේරා අපේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා. මගේ හොඳම ඉනිම ශාන්ත සෙබස්තියන් තරගයේදී ලකුණු 157 යි.
වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරන්න තමයි මම නාලන්දා විද්‍යාලයට ආවේ. මේ මම ක්‍රීඩා කරන පස්වැනි අවුරුද්ද. මේ අවුරුදු පහේදී සෑම මහා තරගයක් ම ක්‍රීඩා කළා.
මගේ ගම ගම්පහ, ගම්පහ සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්න කොට තමයි පුහුණු තරග වගයකට කතා කළේ. ඒ තරගවලට ඉදිරිපත් වෙලා තමයි නාලන්දා විද්‍යාලයට ආවේ. ගම්පහ ඉන්න කොට 13න් පහළ ක්‍රීඩා කරන කොට එක දිගට ශතක පහක් රැස් කළා. ඊට පස්සේ තමයි මේ පුහුණු සැසියකට ආවේ.
පළමු මහ තරගයේ ලකුණු 23යි. කඩුලු 2ක් ගත්තා. විශේෂයෙන් කියලා පීඩනයක් දැනුණේ නෑ. සාමාන්‍ය තරගයක් කියලා ක්‍රීඩා කළා. අපි තරගයෙන් තරගය සැලසුම් කරන්නේ. මහා තරගය කියලා අනවශ්‍ය පීඩනයක් ඔලුවට දා ගන්න කැමැති නෑ. තවත් සාමාන්‍ය තරගයක් කියලා හිතලා ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දෙනවා.
මහා තරගයේ දී විශේෂයෙන් කියලා නම් කරන්න බෑ. හැම ක්‍රීඩකයෙක් ගැනම ලොකු බලාපොරොත්තු තියා ගෙන මහා තරගයට යන්නේ. එදා දවසේ අවම විදියට අඩු කරගෙන මහා තරගයෙන් ඉදිරියට එන්න බලනවා.
මම ක්‍රිකට්වලට ආසා හින්දා තමයි යොමු වුණේ. ගෙදරින් ලොකු සහයෝගයක් අදටත් ක්‍රිකට්වලට තියෙනවා. පවුලේ අයියා කෙනෙක් ඉන්නේ. එයා මුලින් ක්‍රීඩා කරලා පස්සේ ඉගෙනීම පැත්තෙන් ඉදිරියට ගියා. තාත්තා ක්‍රීඩා අමාත්‍යාංශයේ රියදුරෙක් විදියට වැඩ කරනවා.
මේ මහා තරගය හොඳට අවසන් කරන්න බලාගෙන ඉන්නේ. අපි සෑහෙන කාලයකින් මහා තරගයක් දිනලා නෑ. අපි අවසන් වරට පනහේ දශකයේ මුල තමයි අවසන් වරට ජය ගෙන තියෙන්නේ. මේ පරාජිත ඉතිහාසය අවසන් කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.











